පාදෙණිය රජ මහා විහාරය ගැන දැනගමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුරුණෑගල පුරවරය යනු ඓතිහාසික මෙන්ම ආගමික අතින් ඉතා වැදගත් පුරවරයකි. කුරුණෑගල නගරයේ ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මක ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු ආගමික ස්ථාන රැසකි. ඒවා අතරින් අද අපගේ කතාබහට ලක්වන්නේ කුරුණෑගල වාරියපොල ප්‍රදේශයට නුදුරින් වන .පාදෙණිය රජ මහා විහාරය. යි. ජනප්‍රවාදයේ විශ්වාසයන්ට අනුව පාදෙණිය රජ මහා විහාරයේ ආරම්භක ඉතිහාසය අනුරාධපුර යුගය දක්වාම දිවයයි.

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන තවත් එක් ටැම්පිට විහාරයක් වන මෙම විහාරය මල්වතු පාර්ශ්වයට අයත් මහා විහාරවංශික ශ්‍යමෝපාලී මහා නිකායට අයත් වේ. කුරුණෑගලින් පැමිණ වාරියපොල හරහා අනුරාධපුර වන්දනා කිරීමට යන ඔබට අතරමගදී මෙම පාදෙණිය රජ මහා විහාරය වැඳ පුදා ගත හැක. වාරියපොල සිට පුත්තලම පාරේ කිලෝ මීටර් 4.3ක් පමණ යන විට පාදෙණියේදී මෙම විහාරය දැක ගත හැක. ස් සංචාරකයින්ගේද නොමද වන්දනාමානයට පාදෙණිය රජ මහා විහාරය භික්ෂු පරපුර වර්තමානයේදීත් මෙම විහ

පාදෙණිය රජ මහා විහාරයේ ඉතිහාසය පිළිබඳව සඳහන් කරන විට ලංකා රාජවංශයේ ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස සඳහන් වන දුටුගැමුණු රජුගේ යුද සේනාවේ දස මහා යෝධයන් අතර සිටි ථේරපුත්තාභය යෝධයාගේ නමද ඈඳේ. ථේරපුත්තාභය යෝධයා මෙම පාදෙණිය විහාරය හා සම්බන්ධ වන ඉතිහාස කතාව මෙසේය. රෝහණ නම් ගෘහපතියාට දාව ඉපදුණු ගෝඨාභය දරුවා දොළොස් හැවිරිදි වියට පිවිසෙන විට, අසීමිත ශක්තියකින් යුතු විය. ශක්තිමත් මිනිසුන් සිව්දෙනෙකුට වුව තනිවම එසවිය නොහැකි ගස්, ගල් තනියෙන් ඔසවා විසි කිරීමට ඔහු ශක්තිවන්ත විය. කෙසේවෙතත් ගෝඨාභය යෞවන වියට පිවිසෙන විට ඔහු ථේරපුත්තාභය නමින් සසුන්ගත විය. නමුත් දුටුගැමුණු රජු එළාර පරාජය කිරීමේ යුද්ධයට සේනාව සංවිධානය කරන විට ථේරපුත්තාභය හිමිටද යුද්ධය වෙනුවෙන් දායක වීමට ආරධනාවක් ලැබිණ. අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බව පුරාවෘත්තවල සඳහන් වේ. නමුත් අවසානයේදී විජිතපුර සටන සඳහා ථේරපුත්තාභය හිමි සිවුරු හැර පැමිණ සම්බන්ධ වේ. ථේරපුත්තාභය යෝධයා විජිතපුර සටනේදී විශාල යගධාවකින් සතුරන්ට පහර දුන් බවද සඳහන් වේ. මෙම සටනේදී ථේරපුත්තාභය යෝධයා විශාල මෙහෙයක් ඉටු කර තිබෙන බව ඉතිහාසය පවසයි. කෙසේ වෙතත් යුද්ධය අවසාන වූ විට ථේරපුත්තාභය යෝධයා දුටුගැමුණු රජු හමුවේ පවසා ඇත්තේ තමන්ට තවත් සතුරන් සිටින බවයි. ඒ නම් කෙළෙස් නැමති සතුරන් බවත්, එම සතුරන්වද දමනය කිරීමට අවැසි බව සඳහන් කරමින් ථේරපුත්තාභය යෝධයා දුටුගැමුණු රජුගෙන් අවසර ගෙන නැවත පැවිදි දිවියට පිවිස තිබේ. උන්වහන්සේ දෙවැනි වර පැවිදි වී වැඩ වාසය කළ විහාරය මෙම පාදෙණිය රජ මහා විහාරය බව ජනප්‍රවාදය පවසයි.

ථේරපුත්තාභය හිමියන් නැවත පැවිදි වුණු පසුව මාර්ගඵල ලැබූ බවද බෞද්ධ ඉතිහාසයේ තැන් කිහිපයක සඳහන් වේ. එහි සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත්, අපගේ මාතෘකාව වන පාදෙණිය රජ මහා විහාරයේ ථේරපුත්තාභය හිමිගෙන් පසුව වැඩ විසූ ප්‍රසිද්ධ හිමිවරුන්ගේ නම් සඳහන් නොවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම විහාරය විවිධ පාලන කාලවලදී විවිධාකාරයට සංවර්ධනය වී ඇත.

එමෙන්ම පාදෙණිය රජ මහා විහාරය විවිධ කාලවලදී විවිධ ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට ලක් වූ බව සඳහන් වේ. පෘතුගීසි අවදියේදී පෘතුගීසීන් විසින් මෙම විහාරය කොල්ල කා එහි වූ වටිනා පුරාවස්තූන් රැසක් පැහැරගත් බව සඳහන් වේ. එකල මෙම විහාරස්ථානයේ කඳවුරු බැඳ පෘතුගිසීන් මෙම ප්‍රදේශයේ විසූ ජනතාවගේ වස්තුවද කොල්ල කෑ බවද පැවසෙයි. එමෙන්ම මහනුවර යුගයේදීද නැවත පාදෙණිය රජ මහා විහාරය සතුරු ආක්‍රමණවලට ලක් වී ඇත. කෙසේ වෙතත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය තුළදී නැවතත් පාදෙණිය රජ මහා විහාරයට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇති අතර, මීගස්තැන්නේ මහා අධිකාරම්ගේ මූලිකත්වයද එහිදී ලැබී ඇති. ඔහුගේ මූලිකත්වයෙන් මෙම විහාරයට පොත්ගුල් විහාරයක් සහ ධර්ම ශාලාවක්ද ගොඩනගා ඇත.

තවද සියම් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිසක් මෙම විහාරස්ථානය දැක ඉතා වටිනා පූජා භාණ්ඩද ප්‍රදානය කර ඇති බව සඳහන් වේ. එමෙන්ම මහනුවර යුගයේදී මෙම විහාරස්ථානයේදී හතමුණේ දේවමිත්ත නම් හිමියන්ගෙන් ආරම්භ වුණු භික්ෂු පරපුර වර්තමානයේදී මෙම විහාරයේ වැඩ වාසය කරයි.

පාදෙණිය විහාරයේ දුටු දුටු තැන්වල දක්නට ඇත්තේ පුරාවිද්‍යාත්මක මෙන්ම ආගමික වශයෙන්ද ඉතා වටිනා නැරඹුම් ස්ථානයන්ය. මෙම විහාරයේ ප්‍රධාන මන්දිරය දැව කුලුනු තිහකින් නිර්මාණය වී ඇති අතර, එය ආකර්ෂණීය පැරණි ලී කැටයම් සහිත විශාල දොරකින්ද සමන්විත වේ. එමෙන්ම මෙම රජ මහා විහාරයේ පැරණි පුස්තකාලයක්ද පවතින අතර, ලී කැටයම් සහිත විශාල දේශන ශාලාවක්ද ඇත. ලී කැටයම්වලට අමතරව ශෛලමය කැටයම්ද මෙම විහාරස්ථානයේදී දක්නට ලැබේ. විහාර ගෙය තුළ දැකිය හැකි ලී කැටයම් සහ ශෛලමය කැටයම් තුළින් එකල සිටි ලාංකේය කැටයම් කලාකරුවන්ගේ හැකියාව මනාව පෙන්නුම් කරයි.

පෙර අතීත යුගවල විහාරස්ථානයන්හි දක්නට ලැබෙන ආකෘතියටම මෙම විහාරයද ගොඩනගා ඇති අතර, වර්තමානයේදීත් එම විහාර ආකෘතිය සහ ඒවායෙහි වටිනාකමට හානියක් නොවන අයුරින් සංවර්ධනය කර ඇති බවද පැවසිය යුතුමය.

මෙම පුදබිමේ සෑම තැනක්ම ඉතාමත් පෞරාණික බවක් පෙන්නුම් කරයි. මේ වන විට මෙම විහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දෑ විහාරස්ථානාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ. එමෙන්ම බෞද්ධ ජනයාගෙන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගෙන්ද පාදෙණිය රජ මහා විහාරය නොමඳ වන්දනාමානයට පාත්‍ර වේ.

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග