සිංහරාජය ලස්සන කරන පාට පාට කුරුල්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ පුංචි රට සොබාදහමේ විශිෂ්ටතම නිර්මාණයකැයි කීම අතිශයෝක්තියක් නොවේ. එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්ව ඇත්තේ ඒ නිසාය. එසේම විවිධ සුන්දර සතුන්ටම වෙන්වූ ස්ථාන, වනපෙත් මෙරට බහුලය. කඳුකර ගෝනාට හෝර්ටන්තැන්න, අලින්ට උඩවලවේ, දිවියන්ට විල්පත්තුව සහ යාල, සියක්කාරයන්ට බූන්දල ආදී වශයෙනි. එවැනි සුන්දර ස්ථාන ගැන ඉකුත් සතිවලදී අපේ ට්‍රැවල් සංචාරක විශේෂාංගයෙන් කීවෙමු. අද කියන්නට යන්නේ තවත් අපූරු කුරුල්ලෙක් සහ උගේ වන රජදහන පිළිබඳවය.

කුරුල්ලා ගේ නම කැහිබෙල්ලාය. ඌ කපුටු පවුලේ වර්ණවත්ම සාමාජිකයාය. සත්ව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව උගේ ගෝත්‍රය රිටිලගුය. යුරෝසිස්සා ඔර්නාටා විද්‍යාත්මක නාමයයි.

කුලය කපුටු වුවද කැහිබෙල්ලා ශරීර ප්‍රමාණයෙන් කපුටාට වඩා තරමක් කුඩාය.

උගේ සිරුර විචිත්‍ර වර්ණ සංකලනයකි. හිස ගෙල සහ ලය පෙදෙස දුඹුරු පාටය. හොටත් කකුල් දෙකත් රතු පැහැයෙන් දිලිසේ. අත්තටු නිල් සහ රතුවන් දුඹුරු පැහැයෙන් විචිත්‍රවත්ය. පෙඳය නිල්පාටය. හැබැයි පෙඳයේ කෙළවරට සුදු පාටක් මුසුවී තිබේ. පෙඳයේ පිහාටුවල යටිපැත්ත සුදුපාටය. සිරුරේ යටිපැත්ත නිල් පාටය. මැවුම්කාර දෙවියන් කැහිබෙල්ලාට පාට තවරද්දී පාට මදිවුනාදැයි සිතෙන තරම්ය, උගේ ඇසි පිය තද රතු පාටින් යුක්තය.

අතීතයේ පටන්ම ලංකාවේ පහතරට වැසි වනාන්තරවලත් කඳුකර වනාන්තරවලත් ජීවත් වූ කැහිබෙල්ලා අද දකින්නට ලැබෙන ප්‍රධානම ස්ථානය සිංහරාජ වනාන්තරයයි. එදා නකල්ස් වැනි වනගහනවලදීත් හෝටර්න් තැන්නේදීත් දකින්නට ලැබුණත් අද ඒ වනගහනවල මේ විචිත්‍රවත් කුරුල්ලා දැකගන්නට ලැබෙන්නේ නැත.

 එනිසා කැහිබෙල්ලා දකින්නට නම් යා යුත්තේ සිංහරාජයටය.

මා සිංහරාජයට ඇතුළු වූයේ කුඩව පිවිසුමෙනි. කලවාන පැත්තෙන් ඇති කුඩව පිවිසුම හරහා සිංහරාජයට ඇතුළු වූ විට සිංහරාජ පර් යේෂණ මධ්‍යස්ථානය මුලාවැල්ල කඳු ශිඛරය සහ සිංහගල වෙත ගමන්කිරීම පහසුය.

මේ පර් යේෂණ මධ්‍යස්ථානය අවට පෙදෙස තරමක් එළිපෙහෙලි වී තිබේ. හේතුව සිංහගලට වැටුණ අඩිපාරත් පර් යේෂණ මධ්‍යස්ථානයත් නිසාවෙනි. මෙන්න මේ එළිමහන් ඉසව්වේදී නොවැරදීම කැහිබෙල්ලකු දැකගැනීමට පුළුවන.

මට ඇසුණේ ගොරහැඩි හඬකි. මම ඒ ඔස්සේ අවට බැලීමි. කොහේදෝ සිට ඉගිල ආ දුඹුරු, නිල් මුසු කැහිබෙල්ලා මගේ කිට්ටුවම වූ ගසක අත්තක වැසුවේය.

ඊට මිනිත්තු කිහිපයකට පසු තවත් කැහිබෙල්ලෙක් අර ගොරහැඩි හඬම නගාගෙන පැමිණ කලින් කුරුල්ලා සිටි අත්තෙහිම වැසුවේය. මට සිතුනේම මේ කුරුල්ලා සහ කිරිල්ලිය කියාය. ඉනික්බිති උන්දෙන්නා මොකක්දෝ ඕපදූපයක් කියන හැටි මට ඇසිණි. අවාසනාවකට මෙන් මට උන්ගේ භාෂාව වැටහෙන්නේ නැත.

තුරු අතු පතරින් හිරු රැස් වැටෙන්නට පටන්ගත් මොහොතේ සිටම දෛනික ආහාර සොයා යෑම ආරම්භ කරන කුරුල්ලන් අතරට කැහිබෙල්ලන්ද එකතු වේ. දළඹුවන්, පනුවන්, පලාපෙත්තන්, ගස් ගෙම්බන් මෙන්ම පුංචි කටුස්සන්ද සිය කුස පුරවන්නට ගොදුරු කර ගන්නා බැවින්, කැහිබෙල්ලා වැඩිපුරම ගැවසෙන්නේ බිම් මට්ටමේය. උස් තුරු මුදුන් ඌට අකැපය. අනෙකුත් කුරුලු රංචු සමඟම ආහාර සොයා ඉගිලෙන කැහිබෙල්ලා බොහෝවිට උන්ට වඩා කඩිසරය. එනිසාම අනෙක් කුරුල්ලන්ට කලින් තම ගොදුර ඩැහැගැනීමේ සුවිශේෂ දක්ෂකමක් මේ කුරුල්ලා සතුය.

මගේ නෙත් මානයේ සිටි කැහිබෙල්ලන් ජෝඩුවම වහා වෙනතකට ඉගිලුනි. ඒ යන ගමනුත් ඉගිලෙමින් සිටි කිසියම් කෘමියකු තම හොට තුළ රුවාගන්නට එකෙක් සමත් විය.

කැහිබෙල්ලා ඇතැම්විටක අතුපතර එල්ලෙන්නේ හිස බිමට හරවාගෙනය. එය ඌටම විශේෂිත වූ පුරුද්දක් දැයි මට සිතේ.

සාමාන්‍යයෙන් සිරුරේ සමබරතාවය රැකගනු පිණිස කුරුල්ලකුට අත්තක එල්ලී හිස පහතට යොමුකරගෙන සිටීම අසීරු කාර්යයකි. කැහිබෙල්ලා නැරඹිය යුතු විශේෂිත පක්ෂියෙකැයි මට සිතුනේම ඔය නිසාය.

කැහිබෙල්ලන් ඉගිල ගිය ඉසව්වටම මා ද පියවර තැබීමි. අඩි පාර දිගේ ඉදිරියට ගියත් තවමත් මගේ නෙත් සොයන්නේ කැහිබෙල්ලා මය.

මේ කුරුල්ලාගේ සුවැදි සමය එළඹෙන්නේ ජනවාරියේදීය. එතැන් පටන් මාර්තු මාසය දක්වා කාලය කූඩු තනා බිත්තර දමා පැටවුන් බිහිකිරීමට වෙන්කෙරේ.

කැහිබෙල්ලාගේ කැදැල්ල උස් ගසක අතුපතරේය. උගේ කූඩුවද කපුටු පවුලේ කූඩුවක්මය. එහෙන් මෙහෙන් සොයාගන්නා කෝටු කැබලි පිළිවෙළකින් තොරව තබා සාදාගන්නා කූඩුවකි. මේ කූඩුවේ කිරිල්ලිය බිත්තර හතරක් පමණ දමයි. දුඹුරු පාට පැල්ලම් සහිත ලා නිල් පාට බිත්තරය.

කිරිල්ලියට තුන් තිස් පැයම බිත්තර රකින්නට සිදුවේ. ඌ කැදැල්ලෙන් ගියොත් කැදැල්ලට සොරෙකු පැමිණිය හැකි නිසාය. ඒ හොරා එන්නේ බිත්තර ගිල දමන්නට නොවේ. ඊටත් වඩා තක්කඩි වැඩක් කරන්නටය.

මේ හොරාගේ නම කොහාය. සාමාන්‍යයෙන් කොහා කැදැලි හදන කුරුල්ලෙක් නොවේ. අවුරුදු උත්සව කාලයට මිහිරි ගීතයක් ගැයුවත් ඌ බිත්තර දාන්නේ අනුන්ගේ කැදැල්ලකය. කොටින්ම කිව්වොත් කපුටාගේ කැදැල්ලකය. එතැන්පටන් කොහා බිත්තරය රකින්නෙත් ඉන් බිහිවෙන පැටියාට කවා පොවා රැකබලාගන්නේත් කපුටාය. හැබැයි මේ පැටියා කොහෝ යැයි කියන තෙක් පමණය. ඌ කට වහගෙන සිටිනතාක් කල් කපුටු දෙමහල්ලන් සිතන්නේ මේ තමන්ගේ බිත්තරයක් බිඳගෙන එළියට ආ කපුටු පැටවකු කියාය. ඌ කොහෝ කිව් දවසට සිදුවන්නේ කපුටු දෙමහල්ලන්ගෙන් ටොකු කන්නටය. උන්ගේ දඬුවම කෙළවර වන්නේ කොහා පැටියා කැදැල්ලෙන් බිමට ඇද දැමීමෙනි.

කපුටු කොහෝ වෛරය ඒ තරම්ම දරුණුය.

කොහා කැහිබෙල්ලාගේ කූඩුවේ බිත්තර දාන්නේ නම් ඒ කූඩුවද කපුටු කැදැල්ලක් කියා සිතාගෙන විය යුතුය. මන්ද කපුටාත් කොහා මෙන් කළුපාට කුරුල්ලෙක් කියා සිතාගෙනය. කැහිබෙලි දෙමහල්ලන් කොහෝ පැටියා පුංචි කාලයේදීම අඳුනා ගනු ඇත.
ඉන් එහාට සිදුවන්නේ කුමක්දැයි මම නොදනිමි. කැහිබෙලි දෙමහල්ලන් කොහා පැටියාව කොටා කූඩුවෙන් බිමට ඇද දමනවාද? නැත්නම් රැකබලා ගන්නවාද?
සමාවන්න, ඒ ගැන ඇසිය යුත්තේ පක්ෂි නිරීක්ෂකයන්ගෙනි.

කැහිබෙල්ලා වරකට බිත්තර හතරක් දැමුවත් බොහෝවිට මේ දෙමහල්ලන් ඇසුරේ සිටින්නේ පැටවකු නැත්නම් දෙදෙනෙකු බව ඇතැම් පක්ෂි ලෝලීන්ගේ නිරීක්ෂණයයි. ඒ නිසාමදෝ අද කැහිබෙල්ලා යනු රතු දත්ත පොතේ නම ලියැවුණු කුරුල්ලෙකි. ඒ තර්ජනයට ලක්වුණු කුරුල්ලකු වශයෙනි.

එනිසාම ඔබද කැහිබෙල්ලා දැකබලාගත යුතු කුරුල්ලෙකැයි යන්න මගේ විශ්වාසයයි. මේ ගමනේදීම ඔබට සිංහරාජයේ සුපිරිසුදු අම්ලකර වායුවෙන් පෙනහැලි පුරවා ගන්නටත් හරිත වනපෙතක චමත්කාරයෙන් දෙනෙත සනහාගන්නටත් ලැබීම අමතර වාසියකි. ඒ විතරක් නොවේ, මුලාවැල්ල කන්දට හෝ සිංහගලට හෝ නැත්නම් ඒ දෙකටම හෝ නගින්නටත් ඔබට වරම් ලැබේ.