සුළං සුවය මැද පිටවල පතනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිංහල රජ සමයේදි ජනතා විරෝධී වැඩ කරන මිනිසුන්ට දුන් එක් දඬුවමක් වූයේ රාජ්‍යයෙන් නෙරපා හැරීමය. සමහර විට ඊට කලින් කස පහර සීයකින් පමණ සංග්‍රහයක්ද ලැබේ. කෙසේ වෙතත් ඒ වරදකරුවන් නෙරපා හරින්නේ රාජධානියෙන් පිටත වූ මහා වනගහනයකටය. ඒ වනගහනයේදී වැද්දකු ලෙසින් යමෙක් ජීවත්වුණානම් ලොකු හයියක් හිතටත් ගතටත් තිබුණු අයෙකු පමණි. නැතිනම් දිවියෙකුට ගොදුරුව හෝ අලියකුගේ පහරකට ලක්ව ඔහු මියැදෙනවා සිකුරුය. එහෙමත් නැත්නම් නයෙකුගේ පොළගෙකුගේ දෂ්ඨනයකට ලක්වනු නියතය. 

එදා මේ අයුරින් වැරැදිකරුවන් පිටුවහල් කෙරුණ එක් ඉසව්වක් නම් කෙරුණේ පිට කැලේ යනුවෙනි. රාජධානියෙන් පිටත පිහිටි එවැනි වනගහනයක් අදත් පිටවල නමින් හැඳින්වේ. එබැවින් අද පිටවල ප්‍රසිද්ධ කැලයක් ලෙස නොවේ. පතනක් ලෙසිනි. ඒ පිටවල පතනට. හිරු රැස් දෝරක් පතිතව තිබෙන හැටි බලන්නට අපූරුයි. රෑ තිස්සේ වැටුණු සුවහසක් පිනිබිදු අතුරුදන්ව කොළ පාටට පෙනෙන පතන දෙස මා බලාසිටියේ තාර පාරේ සිටමය. 

පතන කෙමෙන් විහිදෙන්නේ කඳු හිසක් තෙක්ය. ඒ කඳු හිසේ ගස් සමූහයක් සුළග සමඟ පොර බඳනු පෙනේ. ඒ සුළඟ පතන පුරා විහිද යන්නේ මගේ ගතද සිපගනිමිනි. 

පසෙක ප්‍රවේශ පත්‍ර කාර්යාලයයි. ඉන් ප්‍රවේශ පත්‍රයක් ලබාගත් පසුව පතනේ අපූරුව පමණක් නොව පතන කෙලවර පිහිටි පුංචි ලෝකාන්තයේ විසිතුරු දැකගන්නටද පුළුවන. 

මේ පතන බැලූ බැල්මටම තෘණ තලාවකි. රාත්‍රියේ පැමිණි මී ගවයෙකුට ගෝන නාම්බෙකුට උලාකන්නට තණකෙළ සැපයූ තණබිමකි. 
නැත: - එසේ නොවේ. 

මේ පිටවල පතන වූ කලී සුවිශේෂි පරිසර පද්ධතියකි. මෙහි තණ කොළ අතර ඇති ඇසට නොපෙනෙන තරම් පුංචි පුංචි පැළ විශේෂ කිහිපයක්ම වෙයි. ඒවා ඇතැම්  විට නකල්ස් වන රක්ෂිතයටම ආවේණික වූ පැලෑටිය. නැත්නම් පිටවල පතනටම සුවිශේෂ වූ පැලෑටිය. 
පතන් අල, නිල් මොනරැස්ස, කඳුලැස්ස ආදී නම්වලින් ඒ ශාක විශේෂ හැඳින්වෙයි. අඟලකට දෙකකට වඩා උස නැති මේ පුංචි පැලෑටි පතනට නගින ඔබේත් මගේත් පයට පෑගෙනවා මිස අපේ ඇස් වලට නම් ලක්වන්නේම නැත. එනිසාම පතනට නැමී මේ පුංචි පැළයක් සොයා ගැනීමට අප වෙහෙසිය යුතුමය. 

එසේ බිමට නැමුණු විට පුංචිම පුංචි නිල් පාට මලක් ඔබටද පෙනෙනු ඇත. ඒ මල ඔබ අතැර දමනවාද නොඑසේ නම් එහි වගතුග සොයා බලනවාද? ඇත්තටම කළ යුත්තේ ඒ මලේ සියලු වංහුං සොයා බැල්මය. 

එවිට මේ පුංචි මල් කුමරියගේ නම නිල් මොනරැස්ස බව ඔබට දැනගත හැකිවනු ඇත. 

පතනේ තවත් තැනක තවත් පුංචි මලකි. ඒ කඳුලැස්ස මලකි. මේ මලේ විශේෂත්වය වන්නේ රොන් උරන්නට එන ඕනෑම කෘමියෙක් වහා මල තුළට ගනිමින් පෙති වසාගැනීමය. යළි ඒ පෙති විවර නොවේ. 

පතන් අල යනුද පිටවල පතන සහිත නකල්ස් ප්‍රදේශයටම ආවේණික වූ පැලෑටියකි. අඟල් දෙකකට වඩා උස නැති පතන් අල පැළයේ හීන් දිගැටි පත්‍ර කිහිපයක් තිබේ. වියළි සමයට මේ පැළය මැරී ගියත් පස තුළ ඇති පතන් අලයට කිසිවක් සිදු නොවේ. එනිසාම වැහි කාලය පැමිණි විට යළි පතන් අලයේ පැළය වැඩේ. 

මේ සියළු ශාක විශ්මිතය. ඒ විශ්මිත බව නිසාම පිටවල පතනටද විශ්මය එකතු වේ. 

ඒ විශ්මිත සිතින් යුතුව පතන දිගේ කඳු මුදුන තෙක් ඇවිදයාම දැන් ඇරඹීය යුතුය. තැනක මී හරකකු ලැඟ සිටිය හැකිය. එසේ නම් අප යායුත්තේ ඌ කලබලයට පත් නොකරීමය. එවිට ඌ පාඩුවේ ගිලින ලද තණ පත් වමාරා කනු ඇත. එසේම ඌ කලබල වුණොත් ඇතැම් විට ඔබට, මට පහර දෙන්නට වුවද බැරිකමක් නැත. 

පතන මුදුනේ වන පෙතක් ඇති බව මුලින්ද කීවෙමු. ඒ වන පෙතේ විවිධ ගස් විශේෂ තිබේ. ලංකාවේ වෙනත් ඉසව්වක අඩි තිස් හතළිස් ගණන් උස යන මේ වර්ග පතන මුදුනේ තිබෙන්නේ අඩි පහකට හයකට වඩා නූස්වය. 

පතන මුදුනේ ගස් බොන්සායි කළේ කවුදැයි දැන් ඔබට විමතියකි. ඇත්තම කිව්වොත් මේ බොන්සයි වනපෙත නිරන්තරේ හමායන සුළගේ නිර්මාණයකි. 

මම මොහොතකට සුළඟ සමඟ හාද වෙමි. ලංකාවේ වෙන කොහේවත් නැති තරමටම පතනේ සුළඟ වේගවත්ය. බිම වාඩිනොවුණහොත් මාවද මේ සුළඟට රැගෙන යා හැකි තරමටම ඒ සුළඟ වේගවත්ය. 

එහෙත් හිතට දැනෙන්නේ අත්තටු ලැබුණු කලෙක දැනෙන සැහැල්ලුවකි. මේ පතන මුදුනේ සිට සුළඟට මට පියාඹන්නට හැකිනම්....
එහෙත් තව අඩි කිහිපයක් දුරින් පුංචි ලෝකාන්තය පිහිටා තිබේ. පතනේ ඇති සුවිශේෂිම නිර්මාණය වන්නේ එයයි. 

ඉතින් මම ලෝකනාත්ය දෙසට යමි. ගස් කඳන් අතුරින් එහාට මෙහාට පනිමින් පුංචි ලෝකාන්තය අද්දරටම ගිය පසුව ගල් ශිඛරය මත පහසුවට වාඩි විය යුතුය. එය ආරක්ෂාවට වඩා හොඳය. පුංචි හරි අතපසුවීමක් සිදුවුණොත් අපේ පංචස්කන්ද ලෝකාන්තයෙන් පහළට වැටීමට  පුළුවන. 

මෙතන අපූරුය. දුරින් පෙනෙන්නේ නකල්ස් වන රජ දහනේ සැඟවුණු කැලෑ ගම්මානයකි, දෙකකි. 

මට ලංකාවේ ලෝකාන්ත ගණනාවක්ම මතක් වෙයි. පළමුවැන්න හෝටර්න්තැන්නේ හමුවන ලෝකාන්තය සහ පුංචි ලෝකාන්තයයි. ඊළඟට ඩීන්ස්ටන් ලෝකාන්තය මගේ මතකයේ අලුත් වෙයි. ලෝකාන්තයක් යනු විසල් කඳු ශිඛරයකින් සෘජු බෑවුමක් නිර්මාණය වීමකි. එවිට කඳු මුදුනට පෙනෙන පාතාලය ලෝකයක කෙළවරක් ලෙස හැඟෙයි. මම පතනේ ලෝකාන්තය දෙස ඔහේ බලා ඉමි. සිහින් මීදුම් රොටුවක් නිම්නයෙන් මතුවනු පෙනෙයි. ඒ මීදුම් රොටුව කෙමෙන් ඉහළට ඉහළට නැගී. හාත්පස වසාගනී. එවිට ලෝකාන්තය යනු සුදු පාට මීදුමක් පමණකි. 

බොහෝ වේලාවකට පසු මම ලෝකාන්තයෙන් නික්මෙමි. යළිත් බොන්සායි වන පෙතට ගොස් අවට බලමි. දුරින් පෙනෙන්නේ කඳු වළල්ලකි. ඒ කඳුහිස් අතරින් සමහරක් හඳුනාගත හැකිය. දුම්බානා කන්ද, ගොන්බානීය කන්ද, තුන් හිස් ගල ඒ අතරින් කැපී පෙනේ. එහෙත් දවසේ වැඩි කාලයක් ඒ කඳු හිස් අතර මීදුම පිරී තිබේ. ඒ නිසාම ඒ ඉසව්ව පෙනෙන්නේ සුදෝ සුදුවටය. ඉඳහිට මොහොතක මීදුම් සළු තිර ඉවතට පහව ගිය මොහොතක ඒ කඳු හිසකට හිරු එළිය සමඟ උකුලු මුකුලු පාන්නට පුළුවන. 
එපමණකි. රාත්‍රියට සඳ එළියට පෙම් බඳින්නට නොව සඳ එළියේ නැහැවෙන්නට හෝ මේ කඳුශිඛරවලටවත් පිටවල පතනටවත් ඉඩක් නොලැබේ. හේතුව සුදෝ සුදු මිහිදුමෙන් රාත්‍රියට මේ හරිත පැහැය මුළුමනින්ම වැසීයාමයි.

ශාන්ත කුමාර විතාන