අර්ජුන් මලයිකා පෙම් කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර ගණනාවක් පැවති අර්ජුන් කපූර් සහ මලයිකා අරෝරාගේ පෙම් දම මේ වන නොබිඳෙන තරමට ශක්තිමත් වී අවසානය. ඔවුහු කිසි විටෙකත් තමන් පෙම්වතුන් බැව් මාධ්‍යයෙන් නොසඟවති. 
තමා සිය සහකාරියගේ පෞද්ගලිකත්වයට ගරු කරන බවත් එම නිසාම සිය ජීවිතයේ සියල්ලම සීමාවක් නොමැතිව හෙළි කරන්නට අකැමැති බවත් අර්ජුන් කපූර් කියා තිබේ. 
“අපිට අතීතයක් තියෙනවා.. ඒ හින්දා ඕනෑවට වඩා විවෘත වීම තුළින් දරුවන්ට බලපෑමක් ඇති වෙන්න පුළුවන්..”
ඔහු කියන්නේය. 
ඇය අවුරුදු දොළහකින් තමාට වඩා වැඩිමහලු වීම හෝ ඇයට අවුරුදු දහ නමයක පුතෙකු සිටීම ඔවුන්ගේ සම්බන්ධයට බාධාවක් වී නැත.  
නිරූපිකාවක, නිළියක, නර්තන ශිල්පිනියක වන මලයිකා අරෝරා විවාහ වී සිටියේ සල්මන් ඛාන් ගේ සොහොයුරා වන අර්බාස් ඛාන් සමඟය.  නළුවෙකු, නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂවරයෙකු වූ ඔහුට මලයිකා හමු වී තිබුණේ කෝපි දැන්වීමක් රූගත කරන අතරතුරය. ඔවුහු 1998 දී විවාහ වූහ. 2002 දී ඔවුන්ට පුතෙක් ද ලැබිණි. එහෙත්  ඔවුන් ගේ විවාහයට වැඩි ආයුෂ තිබුණේ නැත. ඔවුහු 2016 එකිනෙකාගෙන් වෙන් වී 2017 දී නිල වශයෙන් දික්කසාද වූහ. පුතුගේ භාරය පැවරුණේ මලයිකාටය. වරින්වර ගොස් ඔහු දකින්නට අර්බාස්ට අවසර ලැබිණි. 
ඇය සහ අර්ජුන් අතර සම්බන්ධය ඇරඹුණේත් 2016දීමය. 
බොනී කපූර්ගේ පළමු විවාහයේ පුතෙකු වන අර්ජුන් කපූර් උපත ලද්දේ 1985 දීය. ඔහු ක්ෂේත්‍රයට එන්නට බොහෝ කලකට පෙරම සල්මන් ගේ හදා ගත් නැගණිය අර්පිතා ඛාන්ට පෙම් කළේය. ඔහු නිතර නිතර සල්මන් ගේ නිවසට එද්දී සිය සිතේ ඔහු ගැන හැඟීමක් ඇති වූ බැව් පසු කලෙක මලයිකා සඳහන් කර තිබිණි.  කෙසේ වුවත් බොහෝ දෙනෙක් කියන්නේ ඇගේ දික්කසාදයට හේතුව අර්ජුන් බවය.