රජිනිකාන්ත් ගේ නවතම චිත්‍රපටියට වහ වැටුණ රසිකයෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වයස අවුරුදු 70 ඉක්මවා තිබුණත් තරුණ කල තිබූ රසික ආකර්ෂණය එලෙසින්ම පවත්වාගෙන යන්නට හැකි තරම් වාසනාවක් හිමි නළුවන් සිටින්නේ කිහිප දෙනෙකු පමණකි. දකුණු ඉන්දියානු සිනමාවේ ජයකෙහෙළි නැංවූ රජිනිකාන්ත් මේ අතර ඉදිරි පෙළේම සිටින නළුවෙකි. ඔහුගේ ජනප්‍රියත්වය මොන තරම් ද යත් සිනමා රසිකයන් ඔහු අදහන්නේ දේවත්වයෙනි. ඔහු රඟ පාන චිත්‍රපටියක් තිරගත වෙන බැව් දැන ගත් විට ඔවුහු උද් යෝගයෙන් උමතු වෙති.

දීවාලි උත්සවය වෙනුවෙන් නොවැම්බර් 4 දා තිරගත කරන ලද අන්නාත්තේ චිත්‍රපටියේ ප්‍රචාරක පටය පමණක් කෝටි ගණනක් රසිකයන් විසින් නරඹනු ලැබ තිබුණේ එම නිසාය. චිත්‍රපටිය තිරගත වූ සිනමා ශාලාවල පිටත රසිකයන් පොදි කමින් සිටි අතර ඔවුහු රතිඤ්ඤ පත්තු කරමින් ඔල්වරසන් දෙමින් සිය සතුට පළ කළහ. 

ක්‍රියාදාම චිත්‍රපටියක් වන මෙහි රඟ පාන්නේ රජිනිකාන්ත් නයන්තාරා, කීර්ති සුරේෂ් ඇතුළු පිරිසකි. මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ සිරුතායි ශිවා විසිනි. දෙමව්පියන් අහිමි වූ පසුව අයියා කෙනෙකු සිය නැගණිය බලා හදා ගන්නා ආකාරය සහ ඇගේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කතාවක් මෙම චිත්‍රපටියට ඇතුළත්ය. කීර්ති සුරේෂ් රජිනිකාන්ත් ගේ නැගණිය ලෙස රඟ පාන්නීය. 

අන්නාත්තේ චිත්‍රපටියේ නිෂ්පාදන වියදම රුපියල් කෝටි 180 කි. එහෙත් ඒ වියදම ආවරණය කර ගන්නට දින කිහිපයකට වඩා ගත නොවනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති. මක් නිසා ද යත් චිත්‍රපටිය තිරගත කර දෙදිනක් ගත වෙද්දීම කෝටි 100 ආදායම් කඩඉම පසු කරන්නට එය සමත්ව තිබූ බැවිනි. ප්‍රථම දිනයේ ආදායම කෝටි 70 ඉක්මවා තිබිණ දෙවන දිනය වන විට එය කෝටි 112. 85 දක්වා ඉහළ නැංගේය. පස් වන දිනය වන විට කෝටි 150 අබිබවා ගියේය. 

සිය චිත්‍රපටියට රජිනිකාන්ත් තෝරා ගත් අයෙකු කවදාවත් පසුතැවිලි නොවන්නේ ඔහු ජනතා අකර්ෂණය නොමඳව ලබන නළුවෙකු බැවිනි. කොරෝනා වසංගත තත්වය සහ මේ දිනවල චෙන්නායි නගරයට ඇද හැළෙන තද වැසි නොතකා සිනමා ශාලාවල රසිකයෝ පොදි කමින් සිටියහ. ලෝකය පුරා සිනමා ශාලා 1100 ක  මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය වන්නේය. එහෙත් එය විචාරකයන්ගේ ප්‍රසාදයට පාත්‍ර නොවනු ඇතැයි බොහෝ දෙනෙක් කියති.