ඩොනල්ඩ් ජයන්ත කියන කලා ලොවේ රස කතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා පට 50කට වඩා සහය අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවේ වාර්තා පොතට එක්වූ ඩොනල්ඩ් ජයන්ත සිනමාව ගැන රසකතා ගොන්නකට හිමිකම් කියන්නෙක්. ප්‍රවේගය සහ මායා කියන චිත්‍රපට යුගල අධ්‍යක්ෂණය කළෙත් ඩොනල්ඩ්. කලා ලෝකේ රසකතා කියන්න මෙවර එක්වෙන්නෙත් ඩොනල්ඩ්.

පුබුදු අපායට ගිහින් ඇවිත්

උදය කාන්ත වර්ණසූරිය චැලේන්ජස් කියලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන සහය අධ්‍යක්ෂවරයා ලෙස මම කටයුතු කළා. එහි එක රූපගත කිරීමක් අපි දන්න කියන සුඛෝපභෝගී නිවසක සිදුවුණා. ඒ නිවසේ මැද පූල් එකක් තියෙනවා. ඒක නිල් පාටයි. ඒ වගේම ගෙට අල්ලලා තිබුණෙත් නිල්පාට ටයිල් කැට. ඒ නිසා දෙකම එක පාර අඳුර ගන්න අමාරුයි.

 අපි රූපගත කිරීමට ගිහින් ඉද්දී පුබුදු චතුරංගත් දර්ශන තලයට ටික වෙලාවකින් ආවා. ඔහු නිවස ඇතුළට කට්ටියට හායි කියාගෙන ආවා. ඒ එනකොටම ඔහු එක පාරටම පූල් එකට වැටුණා. වටේ ඉඳපු හැමෝම හිනා වුණා. පස්සේ කොහොම හරි පුබුදු උඩට ඇවිත් කියපු අපේ සිනාව දෙගුණ තෙගුණ වුණා. පුබුදු කවදාවත් හිතුවේ නැතිලු නිවස ඇතුළේ පූල් එකක් තියෙයි කියලා. ඔහුට දැනුනේ අපායට ගිහින් උඩට ආවා වගේ හැඟීමක්ලු.

කලංට මැරෙන්න බය හිතිලා

ධර්මසිරි ගමගේ ගේ ‘පූජා’ චිත්‍රපටයේ අමරසිරි කලංසූරියව එල්ලා මරන දර්ශනයක් තිබුණා. දැන් ඒකට හැමෝම සූදානම් වෙලා ඉන්නවා. ඒ අතරේ මට පේනවා අමරසිරි කලංසූරිය පැත්තකට වෙලා ඉකි ගහ ගහ අඬනවා. මං ගිහින් ඇහුවා ඇයි අඬන්නේ කියලා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ. මං මෙහෙම මැරුණාම ඒ දෙන්නා බලා ගන්නේ කවුද කියලා. ඉතින් මං කිවුවා මේක මේ රූපගත කිරීමක් නේ. ඇත්ත ජීවිතේ නෙවිනේ කියලා. කොහොම හරි ඒ වෙලාවේ රංගනයට එහා ගිහින් කලංසූරිය සංවේදී වෙලා කියලා මට තේරුණා.

ඩමියකට රැවටිලා කට්ටියක් බයවෙලා

මේක ප්‍රියන්ත කොළඹගේගේ විමුක්ති චිත්‍රපටිය තිරගත වෙච්ච කාලේ සිද්ධ වුණු දෙයක්. අපි හඟුරන්කෙත රූපගත කිරීම් සිදුකළ අවස්ථාවේ ගැහැනු ඩමියක් දර්ශන තලයට ගෙනවිත් තිබුණා. අපි රූපගත කිරීම් නැති අවස්ථාවක ඩමියක් තියෙන එකේ පුංචි විහිළුවක් කරන්න හැදුවා. අපේ සහය කලා අධ්‍යක්ෂවරයෙක් අර ඩමිය කැළේ පැත්තට ගෙනිහින් ඩමිය බිම දාගෙන පොරකන්න පටන් ගත්තා. එතනින් ආපු බස් එකක් අපි දැක්කා ටිකක් දුර ගිහිල්ලා නවත්තලා ඒකේ ඉඳපු මිනිස්සු ඔක්කොම බැහැලා දුවගෙන ආවා. ඒ අය හිතුවේ කට්ටියක් එකතුවෙලා ඇත්තටම ගෑනු කෙනෙක් රේප් කරනවා කියලා. කොහොම හරි කට්ටිය ආවට පස්සේ තේරුණා මේක අපි කරපු විහිළුවක් කියල. පස්සේ ඉතින් අපි චිත්‍රපටි කණ්ඩායමක් කියලා දැනගෙන අපිට බැන බැන ආයේ ගිහින් බස් එකට නැග්ගා.

මුහුදෙන් මතුවූ යක්ෂනියක්

මම අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය චිත්‍රපටියක් තමයි මායා කියන්නේ. එහි එක්තරා රූපගත කිරීමක් පානදුර මුහුදු තීරයේ තිබුණා. රෑ 1ට විතර අපි දකිනවා හොඳට ඇඳ පැළඳ ගත් ඔෆීස් බෑගයක් අතින් ගත්තු මනුස්සයෙක් මුහුදු වෙරළට ඇවිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්නවා. රූපගත කිරීම් නවත්තලා තරමක් ඈතින් ඉඳපු අපි ඒක දුටුවා.

රන්ජන් ඔය වගේ දේවල්වල දී පැනලා පෙරමුණ ගන්නවා. රන්ජන් කිවුවා මම ගිහිල්ලා මිනිහව පොඩ්ඩක් බය කරන්නද කියලා. මං කිවුවා පවු අහිංසක මනුස්සයෙක් එහෙම කරන්න එපා කියලා. රන්ජන් ඒත් මං කියන දේ ඇහුවේ නෑ. රන්ජන් මායා චිත්‍රපටියට ගෑනියෙක් විදියට ඇඳගෙන මූණේ ලේ ගාගෙන මේකප් කරගෙන හිටියේ. රන්ජන් කාටත් නොපෙනෙන්න ගිහින් මුහුද මැද ඉඳන් දත් විලිස්සාගෙන අර මනුස්සයා ඉන්න ඉදිරියට මුහුද මැද ඉඳන් මතු වුණා. එක පාරටම ඒ මනුස්සයා බුදු අම්මෝ මම ඉවරෝ ගාගෙන බෑග් එකත් දාලා දිව්වා. රන්ජනුත් ඔහු පිටිපස්සේ එළවන්න ගත්තා. කොහොම හරි ඔහු දුවගෙන ගමකට ගිහිල්ලා ගමේ මිනිස්සුත් එකතු කරගෙන අපි රූපගත කරපු ස්ථානයට ආවා. මිනිස්සු එනකොට රංජන් හැංගුණු නිසා මං ඒ අය ඉස්සරහට ගියා. මෙතන ගෑණියෙක් ලේ පෙරාගෙන මේ මනුස්සයා පස්සේ එළවලා කියලා එතන ඉඳපු කෙනෙක් මට කිව්වා. මං කිවුවා එහෙම නම් දන්නේ නැහැ. මෙතන සිද්ධ වෙන්නේ චිත්‍රපට රූපගත කිරීමක් බව. එතකොට අර බයවුණු මනුස්සයා ඉස්සරට ඇවිත් කිවුවා නැහැ මං දැක්කා ලේ පෙරාගත්ත ගෑනියෙක් මුහුද මැදින් මතුවෙනවා. මොකද මහත්තයා මෙතන සුනාමියෙන් ගෑනු 10ක් මැරුණු තැනක්. මං හිතන්නේ අනිවාර්යයෙන්ම යක්ෂණියක් තමයි එන්න ඇත්තේ කියලා. මං ඉතින් ඒවාට මුකුත් නොකියා ඒ ආපු අය නැවත පිටත් කර හැරියා.

අමිල චින්තක ගමගේ / සිතුවම්: සමන් කළුබෝවිල