මට තේරෙන කාලෙ ඉඳන් මම කළේ පුළුවන් විදියට නැති බැරි කෙනෙක්ට පිහිටවෙන එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර සුබ උපන්දිනක් විශේෂාංගයෙන් සඳැල්ල හා එකතුවන්නේ කලා ක්ෂේත්‍රයේ ගායන අංශයෙන් නොමැකෙන සටහනක් තබන්නට සමත් වූ දක්ෂ ආදරණීය කලාකාරිණියක්. ඇයගේ දක්ෂ බව සහ ආදරණීය බව නිසාම සම්මාන උළෙල කිහිපයකදීම ජනතාවගේ සම්මානයටද පාත්‍ර වන්නට හැකිවුණා. අද වන විට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වන ඇය ශෂිකා නිසංසලා.

අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා උපන් දිනයක් ලබද්දී ඒ වයසට යාම පිළිබඳ මොකද හිතෙන්නෙ?

දැන් මම විවාහවෙලා දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්නෙ. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා මම වයසට යනවා කියන්නෙ දරුවන්ගේ වයසත් වැඩිවෙනවා කියන දේ. දැන් ලොකු පුතාට අවුරුදු 11 ක් ඒ වගේම පොඩි පුතාට අවුරුදු 7 ක්. ඒ දේවල් බලාගෙන ඉද්දි අම්මා කෙනෙක් විදියට හරිම සතුටුයි. ඉතින් ඕනෑම දෙමව්පියෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව වෙන්නෙ දරුවන්ගෙ අනාගතය යහපත් කරන එකනෙ. ඒ දේට තමයි වැඩ කරන්නෙ. ඉතින් මේ දේවල් එක්ක වයස ගෙවෙනවා තමයි. අපේ වයස කාලයත් එක්කම ගෙවිලා යනවා. නමුත් දරුවන්ගේ දේවල් බලාගෙන ඉද්දි දැනෙන්නෙ ලොකු සතුටක් වගේම තෘප්තියක්.

වයසට යාම ගැන දුකක් නැද්ද?

වයසට යාම ගැන දුක්වෙලා වැඩක් නැහැනෙ. ඒක තේරුමක් නැති වැඩක්. මොකද ඒ ලෝක ස්වභාවය. වයස කියන දේ කොහොමත් ගෙවිලා යනවා. අපේ ජීවිතෙත් දැන් ලොකු කාලයක් ගෙවිලා තියෙන්නෙ. වර්තමානයේ තියෙන මේ තත්ත්වයත් එක්ක අපේ ජීවිතේ කියන දේත් නිශ්චිත නැහැනෙ. ඉතින් මේ හැමදේමත් එක්ක බලද්දි වයස යාම ගැනත් දුකක් නැහැ. 

ශෂිකාගේ උපත ගැන අම්මා තාත්තා මොකද කියලා තියෙන්නෙ?

මගේ උපත සිදුවෙන්නෙ සැප්තැම්බර් 28 දිනක. ඒ අවිස්සාවේල්ල රෝහලේදී. පවුලේ පළමු දරුවා තමයි මම. මට ඉන්නෙ එක් සහෝදරයෙක්. මාව ලැබෙන්න ඉද්දිත් තාත්තාගේ නම් කැමැත්ත තිබිලා තියෙන්නෙ දුවෙකුට තමයි. අම්මා නම් පළවෙනි දරුවා කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ කියන තැන ඉඳලා තියෙන්නෙ. ඉතින් මාව ලැබුණම තාත්තා ඒ ආරංචිය දැනගත්ත ගමන් ඉක්මනින් මාව බලන්න ඇවිල්ලා තියෙනවා. තාත්තා වැඩ කළේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ. ඉතින් මම ලැබෙන්න ඉද්දි තාත්තා වැඩ කරලා තියෙන්නෙ කුරුණෑගල. ඉතින් ඒ අපේ ගමට ටිකක් දුර පළාතක්නෙ. ඒත් මේ ආරංචිය ලැබුණු ගමන් ඉක්මණින්ම තාත්තා ඇවිල්ලා තියෙනවා.

ඔබේ පුංචි කාලෙදි උපන් දින සැමරීම් සිදුකරලා තියෙනවද?

පුංචි කාලෙ ඉඳලම උපන් දිනයට කියලා සාද පවත්වලා නැහැ. මගේ පුංචිම කාලෙ අවුරුදු 7, 8 ක් යනතුරු අපි ඉඳලා තියෙන්නෙ දැරණියගල, උඩපොළ අපේ ගමේ තමයි. අපේ ගම ඒ කාලෙ ගොඩක් දුෂ්කරයි. අද කාලෙ වගේ එදා විදුලිය තිබුණෙත් නැහැ. ගෑස් තිබුණෙත් නැහැ. හැමදේම ළඟට අතට පයට තිබුණෙ නැහැ. වතුර ගත්තෙත් පුංචි දුරකට ගිහින් ළිඳකින්. මොකද ටැප් වතුර තිබුණෙත් නැහැනෙ. ඉතින් මේ දුෂ්කරතාත් එක්ක අම්මලා ගෙදරදොරේ වැඩත් තනියම කරගත්තා. ඉතින් ඒ කාලෙ උපන් දින ගැන ලොකුවට හිතුවෙ නැහැ. නමුත් අම්මා ඒ දවසට අනිවාර්යයෙන්ම කිරිබත් හදනවා. මේ දක්වාම ඒ දේ නම් කරනවා. නමුත් අපේ තාත්තාගේ කාර්යාලයේ සේවය කරපු අපිට හිතවත් ඇන්ටි කෙනෙක් හිටියා හේමා කියලා. ඇය සහ ඇගේ දියණිය නිලූ නිතරම ගෙදර කේක් හදනවා. ඉතින් ඒ දෙන්නා අනිවාර්යයෙන්ම කේක් එකක් හදලා දුන්නා.

පාසල් කාලෙ මතකයන් නැද්ද?

මම පාසල් හතරකට ගියා. පුංචිම කාලෙ 3 වසර දක්වා ගමේ පාසලට ගියේ. ඒ උඩපොළ කනිෂ්ඨ විද්‍යාලයට. එතැනින් පසුව හතර පහ වසර දෙකේ අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයට ගියේ. ශිෂ්‍යත්වයෙන් පසුව 6 වසරේ සිට 11 වසර දක්වා හිටියෙ ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලයේ. එතැනින් පසුව උසස් පෙළ හදාරන්න ගියේ අනුලා විද්‍යාලයට. ඉතින් ඒ පාසල් සියල්ලෙම මගෙ යාළුවො අදටත් ඉන්නවා. ඒ හරිම සුන්දර කාලයක්. ඉතින් ඒ කාලයේදි උපන් දිනය කියලා ඒ යාළුවො දැනගත්තම එක එක දේවල් ඉල්ලනවා. පුංචිම කාලෙ නම් කේක් ගෙනියන ඒවා නැහැ. නමුත් අම්මා ඒ දවසට කිරිබත්වලට අමතරව මොනවාහරි රස කෑමක් හදනවා. කිරි ටොෆි, අල ටොෆි වගේ. ඉතින් ඒ වගේ දේවල් බෙදාහදාගෙන කාලා හරිම සතුටින් ඒ කාලෙදි ඒ දවස ගෙව්වෙ. හරිම අහිංසක විදියට පුංචියට කරපු දේවල්. උපන් දිනය දවසට විතරක්ම නෙමෙයි අපි ගොඩක් වෙලාවට පාසලට ගෙනියන කෑම එක පවා බෙදාහදාගෙන කෑවෙ. අපේ අම්මාගේ බත් එකේ රසට මගෙ ගොඩක් යාළුවො කැමතියි. 

ඉතින් මම සමහර වෙලාවට ලොකු කෑම එකක් හදාගෙන යනවා. ගිහින් යාළුවො එක්ක බෙදාහදාගෙන කන්නෙ. විශේෂයෙන්ම මගේ හොඳම යාළුවා ඉනෝකා. ඇයව ආදරෙන් මතක් කරන්න ඕනෑ. ඒ වගේම මගේ පන්තියේ නොවන ඒ වුණත් හොඳම යාළුවො හිටියා. ඉතින් අදටත් අපි කතාබහ කරනවා. ඇත්තටම පාසල් කාලයේ නම් සුන්දර මතක තවමත් හිතේ තියෙනවා.

එතැනින් පසුව ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ දවසට එහි ගෙවුණු සුන්දර මතක ඇති?

ඔව්. අනිවාර්යයෙන්ම ඒ කාලෙදිත් යාළුවො එක්ක මොනවාහරි බෙදාහදාගෙන කනවා. ඒ දවස්වල නම් කඩෙන් හරි කේක් අරගෙන ගිහින් උපන් දින සැමරුවා. පුංචි පුංචි තෑගි එහෙමත් ලැබුණා.

ඔබේ සැමියා මුණගැහෙන්නෙත් විශ්වවිද්‍යාලයෙන් නේද?

ඔව්. විශේෂයෙන්ම මතකයට එන ජීවිතේ සොඳුරුම දවසක් තියෙනවා. මගේ සැමියා පෙම්වතා වෙන්න පෙර අපි හොඳ යාළුවො විදියට තමයි හිටියෙ. පසුව අපි දෙන්නාගේ ආදරේ ප්‍රකාශ කරගෙන පෙම්වතුන් වෙලා ඉද්දි මගේ පළවෙනි උපන් දිනය යෙදුණම පුංචි සර්ප්‍රයිස් වීමක් වගේ දෙයක් සිදුවුණා. ඇත්තටම මම නොහිතපු විදියෙ බලාපොරොත්තු නොවුණු විදියෙ දෙයක්. ඔහුත් මගෙ යාළුවොත් එකතුවෙලා පුංචි සාදයක් සැලසුම් කරලා තිබුණා. ඉතින් එදා ඔහුගෙන් මට ඉතා ලස්සන හුරුබුහුටි තෑග්ගකුත් ලැබුණා. ඒ පුංචි පෙන්ඩන්ට් එකක්. ඉතින් ඒ තෑග්ග මට ගොඩක් වටිනවා. ඇත්තටම ඒ මොහොතේ දැනුණ සතුට දරාගන්න බැරි තරම්. ඒ තෑග්ග තවමත් මගේ ළඟ සුරැකිව තියෙනවා. මම තවමත් පළඳිනවා. 

ඒ පළවෙනිම තෑග්ග වගේම අද වනතුරු ඔහුගෙන් ලැබෙන හැම තෑග්ගක්ම සුරක්ෂිතව මගේ ළඟ තියාගන්නවා. හැම උපන් දින තෑග්ගක් එක්කම ඔහු මට පුංචි කාඩ් එකක් සහ මලක් දෙනවා. ඉතින් තෑග්ග ඔතලා තියෙන රිබන් එක පවා මගේ ළඟ පරිස්සම් කරලා තියාගෙන ඉන්නෙ. සමහර වෙලාවට මම ඒ දේවල් අරන් බලද්දි ඒ මතකයන්වලට යනවා හරිම ආදරණීය, සුන්දර මතකයන් ජීවිතේ ගෙවුණු.

සාමාන්‍යයෙන් දැන් උපන් දිනයක් දවසට මොකද කරන්නෙ?

දැන් වුණත් සාද පවත්වන්නෙ නැහැ. මට තේරෙන කාලෙ ඉඳන් මම කළේ පුළුවන් විදියට නැති බැරි කෙනෙක්ට පිහිටවෙන එක. ළමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට පුංචියට හෝ උදව්වක් කළා. ඒත් ඒ කිසිදෙයක් ප්‍රසිද්ධ කරන්න මම කැමති නැහැ. මොකද එහෙම වුණාම ඒ කරන දෙයින් වැඩකුත් නැහැනෙ. පුංචි දෙයක් හෝ අසරණ කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නෙ. ඒ වගේම මම බෞද්ධ කාන්තාවක් විදියට උපන් දිනය දවසට හෝ ඊට පසු දිනයෙදි පන්සල් ගිහින් දානමය පිංකමක් කරලා ඒ ආශිර්වාදය ලබාගන්නවා. මෙවර මගෙ සැලසුම තියෙන්නෙ කොරෝනා වලින් අසරණ වෙලා ඉන්න කෙනෙකුට පුංචි හෝ උදව්වක් කරන්න. ඒ වගේම ගෙදර අය එක්ක එකතුවෙලා විශේෂ කෑමක් හදලා ඒවගේත් රස බලලා ඒ දවස සතුටින් ගෙවන්න.

ඒ දවසට ශෂිකාට ආදරය කරන පිරිසගෙන් ලැබෙන සුබ පැතුම් ගැනත් අනිවාර්යයෙන්ම කතා කරමු?

ඇත්තටම ඒ ගැන නම් තියෙන්නෙ ලොකු සතුටක්. මම ගායිකාවක් විදියට හඳුනාගත්තට පසුව මට ලැබෙන රසික රසිකාවියන්ගේ ආදරේ ඉතා ඉහළයි. සැප්තැම්බර් 28 දවස උදාවෙද්දිම සුබපැතුම් හතර අතින් ගලාගෙන එනවා. මගේ ජංගම දුරකතනයටත්, ගෙදර දුරකතනයටත්, ඇත්තටම මේ වගේ ආදරයක්, ආශිර්වාදයක් ලබන්න මම කොයිතරම් වාසනාවන්තද කියලා හිතෙනවා. සමහරු උපන් දිනයට පෙරත් පසුත් තෑගි භෝග එවනවා. සුබ පැතුම්පත් එවනවා. ඉතින් ඒ තෑගි භෝග එවන සමහරු මම දන්නා හඳුනන කතාබහ කරලා තියෙන අයත් නෙමෙයි. නමුත් කේක්, මල් පොකුරු, තෑගි ගොඩක් එකතුවෙනවා. සමහර රසිකයො ඉන්නවා මගේ උපන් දිනයට විතරක් නෙමෙයි මගේ පවුලෙ අයගේ උපන් දිනවලටත් සුබ පැතුම් එකතු කරන සහ තෑගි එවන විශේෂයෙන්ම කියන්න ඕනෑ ගම්පහ ප්‍රදේශයේ සමන් කියලා සහෝදරයෙක් ඉන්නවා. ඔහු අපේ ගෙදර හැමෝගෙම උපන් දිනයට සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම මගේ උපන් දිනය දවසට මට නොකියම ගෙදරට කේක් අරගෙන ඇවිල්ලා මාව සර්ප්‍රයිස් කරන මගේ හිත මිතුරන් ඉන්නවා. ඒ වගේ ලෙන්ගතුකමක් ආදරයක් තියෙන ලොකු පිරිසක් මගෙ වටා ඉන්නවා. ඒ ආදරේ, ආශිර්වාදයන් තමයි මගේ ගමන ශක්තිමත් කරන්නෙ. අපි නිර්මාණයක් කළත් ඒ දේට ප්‍රතිචාර දක්වන්නෙ ඒ ආදරණීයයන්. ඉතින් ඒ ලැබෙන ආදරය, ආශිර්වාදය මට ලොකු වටිනාකමක් වගේම ශක්තියක්. ඒ හැමදෙනාටම ගොඩක් ආදරෙයි.

ධනු විජේරත්න