මම කවදාවත් සතුටු වෙන්නේ නෑ සිංහල කතා කරන්න බෑ කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදිත්‍යා වැලිවත්ත කියලා කියන්නේ සිරස Voice Teen හරහා රටම හදුනාගත්ත දක්ෂ තරගකාරියක්. ඇයගේ ඇති හැකියාව නිසාම මුළු රටක්ම ආදිත්‍යාට ආදරය කරනවා. ඉතින් ඇයට ඇති ජනප්‍රියත්වය නිසාම ඇයගේ ජීවිතයට විවිධ ප්‍රශ්න විවේචන එල්ල වුණු කාලයක්ද තිබුණා. ඒ නිසාම ආදිත්‍යා වැලිවත්ත සමාජ මාධ්‍යජාලා ඔස්සේ කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් බවට පත් වුණා. ආදිත්‍යා කියන මේ දක්ෂ ගායිකාව පසුගිය දිනයක මාධ්‍ය සාකච්ඡාවට එකතුවී මේ විදියට තමයි කතාබහේ යෙදිලා තිබුණේ.

ආදිත්‍යා ඔබට වැඩිපුරම තියෙන්නේ මොන වගේ මතකද?

මට වඩිපුරම තියෙන්නේ බැනුම් අහපු මතක තමයි. මට ගොඩාක් නරක මතක ආවේ සිරස Voice Teen එකට සහභාගී වෙන කාලේ තමයි. ඒ මතක කොච්චර නරක වුණත් මම ඒවයින් දෙයක් ඉගෙන ගත්තා. මම ඒ දේවල් වලින් මගේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවානම් ඒ දේ අරගත්තා. ඒ දවස්වල මට ආපු සයිබර් බුලින් නිසා මට ලොකූ පීඩනයක් දැනුනා. ගොඩාක් දුක හිතුනා. මට දැනුනේ මට මාව නැති වුණා කියලා. මොකද මට ඒ දේවල් අලුත්. නමුත් මට ඒ දේවල් දැන් මතක් වෙනකොට හරිම සතුටුයි මොකද ඒ විවේචන මට අද මතක් වෙනකොට මට දැනෙනවා මම කලින් හිටියට වඩා දැන් ගොඩාක් ශක්තිමත් කියලා.

ඔබට මතකද Voice Teen වේදිකාවෙන් ඉවත් වෙන්නට සිදු වුණු දවස?

මට ඒ දිනයනම් මතක නෑ. නමුත් ඇත්තටම ඒක නම් නරකම මතකයක් තමයි මගේ ජීවිතේ. ගොඩාක් දුක හිතුනා මට. මම සාමාන්‍යයෙන් මගේ ජීවිතේ නරක දවස්, මට දුක හිතුන දවස්, මම කාත් එක්ක හරි රණ්ඩු වුණු දවස් මතක තියාගෙන ඒ දේවල් වලට වෛර කර කර කුහක කම් කර කර ඉන්න කෙනෙක් නෙවෙයි. මම ඒ දේවල් ඉක්මනටම අමතක කරලා දානවා.

ඔබ Voice Teen ගිහින් ඇවිත් මම ආයේ සින්දු කියන්න යන්නේ නෑ කියලා අම්මත් එක්ක කියපු දවස් තිබුණා නේද?

ඔව් මාව බුලින් කරපු දවස්වල මම අම්මත් එක්ක එහෙම කියලා තියෙනවා ගෙදර ඇවිත්. මම එහෙම කියද්දී අම්මා මට බැන්නේ නෑ. මගෙන් ඒ දේවල් ආයේ ආයේ හාර අවුස්සලා එකම දේම ඇහුවේ නෑ. මගේ අම්මා ඒ වෙලාවේ මට කිව්වේ මිනිස්සු කියන දේවල් නිසා ඔයා ඔයාගේ ගමන නවත්තන්න එපා කියන එක.

ආදිත්‍යාට අම්මා ගැන මොකද හිතෙන්නේ?

මගේ අම්මා නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මගේ හැමදේකටම මගේ අම්මා මට ශක්තියක් වෙලා මගේ පිටිපස්සෙන්ම හිටියා. මම සමහරක් වෙලාවට අම්මා කියන දේ අහන්නේ නෑ. නමුත් මට වැරදුනාම මට මතක් වෙනවා අම්මා මේක කිව්වා නේද කියලා මට. අනිත් ළමයි වගේම මම ටිකක් මුරණ්ඩුයි. නමුත් මම මොන දේ කිව්වත් මොන දේ වුණත් අම්මා මාත් එක්කම ඉන්නවා.

ඔබ Voice Teen එකේ ගායනා කරපු පළමු ගීතයට ලැබුණු ප්‍රතිචාර මොනවාද?

මම Voice Teen වේදිකාවේ මුළින්ම ගායනා කරපු ගීතය තමයි ‘නොමිලේ දුන් නිසා’ ගීතය. ඒක මම හිතුවේවත් නැති විදියට ජනප්‍රිය වුණා. මම ඊට කලින් ඒ වගේ දැවැන්ත වේදිකාවක තනියෙම ගීතයක් ඉදිරිපත් කරලා තිබුණේ නෑ. ඒක මට අලුත්ම අත්දැකීමක් වුණා. ඉතින් එහෙම පළවෙනියටම මම ගායනා කරපු ගීතය ඒ තරම් සාර්ථක වෙයි කියලා මම හිතුවෙ නෑ කවදාවත්. එදා ඒ ලැබුණු ප්‍රතිචාර එක්ක මට ගොඩාක්ම සතුටු හිතුනා. නමුත් මම හිතුවෙ නෑ. එතන ඉන්න හොදම කෙනා මම කියලා. නමුත් මට මම ගැන ලොකූ ආඩම්බරයක් දැනුනා.

නමුත් මම Voice Teen එකට දිනන්නම බලාගෙන නෙවෙයි ගියේ. ඇත්තටම මට ඕනි වුණේ සහභාගි වෙන්න. මොකද දිනන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපේ අම්මා මට හැමදාම කියන්නේ ඔයා දෙයකට සහභාගී වෙන එක තමයි වැදගත් වෙන්නේ කියලා. Voice Teen එක විතරක් නෙවෙයි මම පාසලෙත් හැමදේටම වගේ සහභාගි වෙන චරිතයක්. මම ඉස්කෝලේ Band එකේ ඉන්නවා, මම sport කරනවා ඒ වගේ හැමදේම කරනවා. නමුත් ඒ දේවල් වලිනුත් මට දිනන්නම ඕනි කියලා දෙයක් නෑ මට. මම Voice Teen එකට ගියෙත් මගේ තියෙන ආසාවට මට තියෙන හැකියාවන් මොනවාද කියලා අදුන ගන්න තමයි.

සංගීත ක්ෂේත්‍රය තුළ මේ ගමන එන්න උදව් උපකාර කරපු අය ගැන ඔබට මතකද?

මට මගේ අම්මා තාත්තා අක්කා වගේම මල්ලිත් ගොඩාක් උදව් කරා. මගේ හැමදේකම එයාලා මාත් එක්ක හිටියා. ඒ වගේම අනිවාර්යයෙන්ම භාතිය සර්වයි, උමාරියා මිස් සහ උමාරා මිස්ව මතක් කරන්න ඕනි. සයිබර් බුලින් නිසා මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්න අවස්ථාවල මිස් උමාරා මට ගොඩාක්ම උදව් කරා. එයාලා මට ශක්තියක් වෙන විදියට මට කතා කරා. මම වැටිලා හිටපු මානසික මට්ටමෙන් ගොඩ ගන්න එයාලා ලොකු සහයෝගයක් දුන්නා මට. ඒ දේවල් වලට මම එයාලට ගොඩාක්ම ගෞරව කරනවා වගේම ස්තූතිවන්ත වෙනවා.