මම ඉන්දියාවෙ නැති නිසා ප්‍රතිචාර මොනවගේද කියලා කියන්න බැහැ.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගම්‍යා රඟපෑ තවත් බොලිවුඩ් චිත්‍රපටයක් 2009 දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා පසුව සිනමා රංගනයට පිවිසි ගම්‍යා විජයදාස බොලිවුඩ් සිනමාවේ රංගනයට අවස්ථා ලබා ගත් ශිල්පිනියකි. වෘත්තියෙන් ව්‍යවසායිකාවක වන ඇය අලෙවි හා කළමනාකරණ අංශයේ උපාධිධාරිනියකි. Aalaap 1970 ලව් ස්ටොරි සහ යූටර්න් (ශ්‍රී ලාංකිය) චිත්‍රපටයේ මේ දක්වා රඟපා ඇති ගම්‍යා රඟපෑ තවත් බොලිවුඩ් චිත්‍රපටයක් වන Wrongway චිත්‍රපටය මේ දිනවල මුදාහැර තිබෙන්නේ. Disney Hotstar (ඩිස්නි හොට්ස්ටාර්) ඇප් එක ඔස්සේය. ලෝකයේ වැඩිම දෙනෙක් වත්මනෙහි ෆිල්ම්ස් නරඹන්නේ නෙට් ෆ්ලික්ස් ඔස්සේය. නෙට්ෆ්ලික්ස් ඇප් එකට පමණක් දෙවැනි වූ ඩිස්නි හොට්ස්ටාර් ඔස්සේ වැරදි මග හෙවත්  Wrongway චිත්‍රපටය නිසා ලෝකයේ බොහෝ දෙනෙක් ‘ගම්‍යා’ කවුද කියා හොයන මොහොතක  Wrongway ගැන ඇයගෙන් අපි විස්තර දැනගනිමු.
 
ගම්‍යා කාලයකට පෙනෙන්නට ඉන්නවා. කාලයක දී නැහැ. ඒකට හේතුව ?

රංගනයේ දී බොහෝ දුරට ලංකාව ඇතුළේ කෙරෙන වැඩ අඩුයි. ඒත් මේ අවුරුද්දේ ඒක වෙනස් වේවි. ඒකට හේතුව මම කළ වැඩ කිපයක්ම මේ අවුරුද්දේ එළියට එන්න තියෙන නිසා.

මේ දිනවල ‘චණ්ඩි කුමාරිහාමි’ කියලා ගම්‍යාට කියන්නෙ ඇයි?

ඒකට හේතුව මේ දිනවල චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන ‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙන නිසා වෙන්න නැති. වෘතාන්ත ටෙලි නාට්‍යයක් ලෙස මම ටෙලි නිර්මාණයකට එක් වූ ප්‍රථම අවස්ථාව තමයි චන්ඩි කුමාරි හාමි. එහි ප්‍රධාන චරිත අතරින් එක් චරිතයක් වන ‘හින් මැණිකේ’ ගේ චරිතය රඟපාන්නෙ මම. ඊට පෙර මම මුලින්ම රඟපෑවෙත්, වෘතාන්ත නොවූ ටෙලි නාට්‍යයක. ඒක අධ්‍යක්ෂණය කළේ සහ මට අවස්ථාව ලබා දුන්නේ චරිත් අබේසිංහ.

ඒත් අද දවසේ බොලිවුඩ් සිනමාවට ලැදි ප්‍රේක්ෂකයන් සහ ලෝකයේ බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් ඔබ ගැන කතා වන්නේ  Wrongway ෆිල්ම් එක නිසයි. ඒ ගැන කියමු ? කොහොමද මේ ‘වැරදි මග’  Wrongway ගියේ ?

මේ චිත්‍රපටය රූගත කළේ 2015 දී විතර. වසර හය හතක පමණ කාලයක දී බොලිවුඩයේ නිර්මාණවලට දායක වෙමින් සිටිය දී. මේ චිත්‍රපටය තමයි මේ විදියට රිලිස් වුණේ. තව චිත්‍රපටයක් එන්න තියෙනවා. මේක මට ලැබුණෙත් අහම්බයකින් වගෙයි. මුලින්ම තිර පරීක්ෂණයට සහ බඳවා ගැනීමේ පුහුණු පරීක්ෂණයට පෙනී සිටීමට සිදු වුණා.

මේක බොලිවුඩ් චිත්‍රපටයක් වුණත්, නම  Wrongway කියලා යොදාගෙන තිබෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්?

ඒකට හේතුව මේ ෆිල්ම් එක පෙන්වන්නෙ Hotstar ඇප් එක ඔස්සේ නිසයි. ඒක ඩිස්නි, සමාගමට අනුබද්ධ එකක්.
ඊළඟ විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය වුණේ චිත්‍රපටයක් ලෙස වුණත් Hotshar ඇප් එක මෙය පෙන්වන්න සුදානම් කරලා තියෙන්නෙ කොටස් හතරකට.

Wrongway ගම්‍යාගෙ චරිතය මොන වගේද?

මෙහි ප්‍රධාන චරිත පහක් තියෙනවා. එයින් එකක් රඟපාන්නේ මම. මේක Horror film එකක්. (භීතිය රැගත් හොල්මන් වගේ) යාළුවො පස්දෙනෙක් එක්තරා ගමනක් යනවා. එහි දී මුහුණ දීමට සිදුවන සිදුවිම් දාමය රැගත් චිත්‍රපටයක්.

මේ ෆිල්ම් එක රූගත කිරීම් කළේ?

ප්‍රධාන වශයෙන් දිල්ලි නුවර.

කොහොමද මේ අත්දැකීම? 

ඒ කියන්නේ ලංකාවේ නිර්මාණයක රඟපාද් දී සහ බොලිවුඩයේ නිර්මාණයක රඟපාද්දී ඔබ අත්විඳි වෙනස?
දිල්ලිවල ෂූට් කළ විදිය සහ ඒ අත්දැකීම් හරි වෙනස්. මාස එකහමාරක් දෙකක් විතර ප්‍රධාන චරිත රඟපෑ අපි පස්දෙනාම එකට එකම ලොකේෂන් එකේ හිටියෙ. ඒක වෙනස්ම අත්දැකීමක්. අධ්‍යක්ෂවරයා ඒ විදියට කළේ හිතාමතාමයි. මොකද යාළුවෝ පස්දෙනෙකුගේ කතාවක්නෙ. ඉතින් ඇත්තටම අපි එකිනෙකා හොඳින් හඳුනා ගැනීම එක්ක. අපිට ඒ වැඩේ කරන්න පහසු වන විදියට තමයි සියලු දේ සම්පාදනය කරලා තිබුණේ. ඒ විදියට අපි එකට හමුවීමට පෙර කිප දෙනෙක් ගැන මම කලින් දැනගෙන හිටියත්, ඒ අය මොන වගේ අය ද කියලා දැනගෙන හිටියෙ නැහැ. ඇත්තටම අපි මාස එකහමාරක් එකම තැන සිටිය දී එකම සහෝදර පවුලක් වුණා. කොච්චරද කිව්වොත් ඒ යාළුකම් තමයි. ෆිල්ම් එකේ තාත්වික විදියට පෙනෙන්නේ.

මාස එකහමාරක් කොතැන ද හිටියෙ ?

මෙම චිත්‍රපටයේ නිෂ්පාදකට අයත් දිල්ලිවල විශාල බංගලාවක. එයාගෙ හොලිඩේ හෝම් එකක්. ප්‍රධාන නළු නිළියන් පිරිස හැර කණ්ඩායමේ තවත් කීප දෙනෙක්ටම නවාතැන් සපයා තිබුණේ ඒ බංගලාවේ. මේ චිත්‍රපටයේ අනෙක් විශේෂත්වය වුණේ, සම්පූර්ණයෙන්ම රාත්‍රී කාලයේ දී  රූගත කිරීම් සිදු කිරීමයි.

දිල්ලි බංගලාවේ සිටිය දී කෑම බීම එහෙම මොන වගේද ලැබුණේ?

අපිට ගැලපෙන විදියෙ කෑම හදලා දෙන්න වෙනම සුපවේදීන් හිටියා. මම ‘නිර්මාංශ’ නිසා මට වෙනම කෙනෙක් තමයි කෑම හදලා දුන්නෙ. ඒ සෑම දෙයක්ම එතැන තිබූ නිසා අපිට ඒ ස්ථානය හරිම ප්‍රියමනාප තැනක් වුණා. ඉතා හොඳට සැළකිම්  කළේ. අපිව ඉතාම හොඳින් බලා ගත්තා කිව්වොත් නිවැරදියි. මේ නිෂ්පාදනය වෙනුවෙන් දායකත්වය ලබා දුන්නෙ එකම පවුලක අය. ඉතින් ඒ නිසා අපිට ඉහළින්ම සත්කාර කළා.

මේ මිතුරන් පස්දෙනා ගැන කිව්වොත්?

මේ චරිත පහට මා එක්ක තවත් ශිල්පිනියන් දෙදෙනෙක් සහ ශිල්පීන් දෙදෙනෙක් දායක වුණා. අපේ අධ්‍යක්ෂවරයා සෑම දිනකම ෂූට් එකට පෙර උදේ වරුවේ වැඩමුළු කළා. එදා දවසේ රාත්‍රියේ කිරීමට නියමිත අවස්ථා ගැන සහ ඒවා කළයුතු විදිය ගැන තමයි වැඩ මුළුවලදී අපට පැහැදිලි කර දුන්නේ. ඒ මුළු මාස එකහමාරම අපේ වැඩේ එක්ක හිටියෙ. ඒ විදියට සිටිය දී චරිත රංගනයට පාර ඉබේම අපි අතර ඇති වුණේ හොඳ මිත්‍රත්වයක්. අදට වුණත් ඒ මිත්‍රත්වය රැඳිලා තියෙනවා.

ඒ චිත්‍රපටයේ ඒ විදියට ෂූටිං කළ කාලයේ දී අමතකම නොවනදේ?

ඉතාම විනෝදාත්මකයි. එදා දායක වූ මේ පිරිස අතරින් අද කිප දෙනෙක් සුපිරි තරු වෙලා. ඉතින් හරි සතුටක් ඒක. මේ චිත්‍රපටයේ ෂූට් කළ අන්දම අපට ගෙන දුන්නෙ ත්‍රාසජනක බවක්. රාත්‍රියේ කැලෑවක තමයි ෂූට් කළේ. අපි බය වුණේ හොල්මන්වලට නොවෙයි. සර්පයන්ට. රාත්‍රි 7 ට පටන් ගන්නවා පසුවදා පාන්දර වෙනකල් රූගත කිරීම් කළා. කැලෑවේ නිසා පහසුකම් මොනවත් නැහැ. අපි කාට හරි ටොයිලට් යන්න අවශ්‍ය වුණාම කැලෑවෙ සවිකර තිබූ ටොයිලට් එකට පවා යද්දී අපට ආරක්ෂාව ලබා දුන්නා. ඒත් හැබැයි හැමෝම රාත්‍රිය ගත කළේ බයෙන්. නමුත් ටේක් එකේදී ඒ බය පැත්තක දාලා ඇවිත් තමයි චරිතය රඟපෑවෙ.

දැන් මේ  Wrongway ෆිල්ම් එකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම ඉන්දියාවෙ නැති නිසා ප්‍රතිචාර මොනවගේද කියලා කියන්න බැහැ. ඒත් බොහෝ දෙනා මැසේජ් සහ අදහස් පළ කිරීම් මගින් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන බව කියන්න පුළුවනි.

‘ගම්‍යා’ ඉන්දියාවට ගියාම නවතින්නේ?

මුම්බායි නගරයේ.

ගම්‍යා වඩා කැමැති මුම්බායිවලටද දිල්ලිවලටද?

ජීවත් වෙන්න කැමැති නම් මුම්බායිවල.

ගම්‍යාගෙ ව්‍යාපාරයේ නම කිව්වොත්?

ජාත්‍යන්තර විලාසිතා නිෂ්පාදන පෙළක් මට තියෙන්නෙ. ඒකෙ නම ‘වෛදුර්යා’

වෛදුර්යා කියන්නේ?

ඒක මගේ නමේ කොටසක්. වෛදුර්යා කියන්නෙ මැණික් වර්ගයක්.

සඳුන් ගමගේ