එදා රෑ මම දිනුවෙ තාත්තා හින්දා
ගහේ කටු උල් කරන්න ඕනද කියලා කතාවක් තියෙනවානේ.....
දේශපාලක තාත්තලගේ පුතාල දේශපාලනයට ඇවිල්ලා හිටු කියලා ඕනෑ ඕනෑ විදියට කරණම් ගහද්දි නම් ඒ කතාව තිත්ත අප්පා...ඒක එහෙම වුණාට කලාවේ ඉන්න හොඳ තාත්තලගේ දුවලා පුතාලා කලාවට ඇවිල්ලා කලාවේ ලස්සනට පිනුම් ගහද්දි නම් ඒ කතාව ආයිෂ් අම්මා ගුණ්ඩු අප්පා.......
මතකද ඔයාලට කීටයව කීටයෝ අල්ලපු කීටයා....
සුපිරි නළුවෙක් වෙච්ච පාලිත සිල්වා තමයි ඒ කීටයා......
දරුවෝ හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙච්ච පාලිතගේ් නිවුන් දියණියන් දෙදෙනම කලාවට ඇවිත් .
ඒ තරුමලී සහ පාරමි...
ඒ දුවලා තාත්තා ගැන කියන්නේ මෙහෙමයි.
තාත්තගේ හැම රංගනයක්ම අපි නැරඹුවා. ඒ රංගන එකින් එකට වෙනස්. තාත්තා වෙනස්ම විදිහට චරිතයකට පිවිසෙන හැටි හරි අපූරුයි. මං වැඩියෙන් ආසා කැලණි පාලමේ
චුට්ටේගේ චරිතයට නීල් අලස් තරමටම සාධාරණය ඉටු කරන්න තාත්තා දරන උත්සාහයට. ඒක හුඟක් වටිනවා.
අලුත් පරපුරට තාත්තා කියන්නේ හරි ගියත් වැරදුනක් තමන්ගේ අනන්‍යතා විහිදෙන ගමනක් යන්න කියලා. බලාපොරොත්තු අත්හරින්න එපා. ඒවාත් සමඟ ජීවත් වෙන්න කියලා තමයි තාත්තගෙන් ඉගෙන ගත්ත දේ අනුව මාත් කියන්නේ.
පේරාදෙණිය අවසන් වසර ක්ෂේස්පියර්ගේ නාට්‍යය හදාරා මම වැඩිම ලකුණු ගත්තා. ඒ සඳහා ඊ.ඒ.ඩී ලුඩෝවෙයිස් සම්මානය දිනුවා. අවසන් වසරේ නිබන්ධය බාර දෙන්න තිබුණ අගෝස්තු 31 වෙනිදා. පසුවදා සැප්තැම්බර් එක මගේ නාට්‍ය හැපි එන්ඩින් රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් වේදිකාගත වීමට නියමිත වුණා. මේ දෙකම මට තීරණාත්මක අභියෝග වුණා. තාත්තා ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී මැදිහත් වෙලා එක රැයෙන් මේ දෙකම ජය ගන්න මට උදව් වුණා.
තරුමලී එහෙම කියද්දී තරුමලී ජීවිතයේ යන මඟ ගැන ආයෙත් අලුතින් කියන්න දෙයක් අපිට නැහැ
තරුමලී එහෙම කියද්දි ඇගේ නිවුන් සොයුරිය පාරමී අපි අතරට ආවේ තාත්තා ගැන කතා කරන්න.
නිතරම අලුත් ඇහැකින් ලෝකය දෙස බලන්න කියලයි තාත්තා අපට ඉගැන්නුවේ .
මගේ සීයත් නාට්‍ය කලාවට ආසයි. එයා මාව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය පෙන්වන්න එක්කගෙන ගියා. ඒ මතකය අලුත් වුණේ මාව පේරාදෙණිය සරසවියට තේරුණාමයි. 2019 දී අක්කත් එක්ක පේරාදෙණිය සරසවියෙන් මම ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය හා භාෂාවට ගෞරව උපාධිය ලැබුවා. දැන් නීති විද්‍යාලයේ අවසන් වසරේ. තාත්තා පුංචි කාලේ අපව කොල්ලුපිටිය ටොරානා කැසට් වෙළඳසලට එක්කගෙන යනවා මතකයි .අපි විවිධ වර්ගයේ වීඩියෝ පට මිලදී ගන්නවා. අම්මයි අයියයි එක්ක සාලෙ වාඩිවෙලා පරණ සිංහල ඉංග්‍රීසි චිත්‍රපට බලනවා.අක්කා කියන්නේ මට මගේ පණ. අක්කටත් එහෙමයි. අක්කගේ පණ මම.
තාත්ත රඟපෑ ටෙලි සිනමා චරිත හැම එකකටම මං ආදරෙයි. විශේෂයෙන් මහතලා සටනේ වීර පුරන් අප්පුගේ චරිතය තාත්තා රඟපෑ හැටි මැවී පේනවා. මහරජ අජාසත් චිත්‍රපටයේ දේවදත්ත චරිතයත් දක්ෂ ලෙස තාත්තා රඟපෑවා. අපේ පවුලේ හැමෝම අතරෙ තියෙන්නෙ පුදුම ආදරයක් .අපි අතරෙ තරගයක් නෑ.
සමාජයට විවෘත වෙලා සමාජය ඉස්සරහට එද්දි මුලින් මට සබකෝලයක් දැනුනත් තාත්තා නිසා බය නම් දැනුනේ නෑ. ඒත් ගුවන් විදුලියේදී නුදුටු දැවැන්ත චරිත හමු වෙනකොට ලොකු ගැස්මක් දැනුනා. මුලින්ම දැක්කෙ ටී.එම් ජයරත්න . ඊළඟට ලෙස්ටර් ජේම්ස් පීරිස්. මැණික් කුරුකුලුසූරිය,චාන්දනී සෙනෙවිරත්න ,නිල්මිණි තෙන්නකෝන් වගේ
සුහද චරිත මුණගැහුණම හිත සන්සුන් වුණා. දැන් නම් බයක් ඇත්තෙම නැහැ. මං නීතිඥවරියක් වෙන්නනේ යන්නේ. හැබැයි අමාරුම දෙයක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපනය ඉහළට හැදෑරීම .ඊළඟට නිහතමානි පිරිපුන් කලාකාරියක් වීම. ඒත් තාත්තා ඉන්නකම් ජීවිතේ කිසිම දේකට බයක් දැනෙන්නේ නැහැ....
තාත්තා කෙනෙක් කියන්නෙම මහ කන්දක් තරුමලී හා පාරමී එහෙම කියද්දි මට හිතුණේ එහෙම.....


