ජැක්සන් ඇන්තනි බලාගෙන ඉඳලා රඟපාන්න කතාකළා - වින්සන්ට් වාස් මගේ තාත්තා

  • 13-03-2022

‘වන්සඅපෝන ටයිම් කළම්ඹු’ නාට්‍යයේ විමලෙ වූ ඔහු පියාඹන මූනිස්සම් නාට්‍යයේ නිශාන්ත ලෙසත්, චලෝ නාට්‍යයේ සිරා යන චරිතය සමග අපට මේ දිනවල හමුවෙයි. චින්තක වාස්, ඔහුගෙ නාමයයි. නැසීගිය ප්‍රවීන රංග ශිල්පී වින්සන්ට් වාස්ගෙ පුතෙකු වන ‘චින්තක’ මෙලෙසින්  පිය උරුමයේ හැකියාව රැගෙන  රංගනයෙන් අප හමුවන මොහොතක ඔහු සමග තාත්තාගෙ මතක සහ ඔහු ගැන විස්තර හෙළිකරන පිළිසඳරකට අපි එක්වෙමු. 

චින්තක වාස්? නේද? 

ඔව්. ඒක තමයි උප්පැනයේ තියෙන සහ භාවිත වන නම.

එච්චරද නම? 

අන්දරවාස් පටබැඳිගේ මනෝජ් චින්තක වාස්. 

වාස් කියන්නද? චින්තක කියන්නද? 

ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කතා කරන්නෙ වාස් අයියෙ කියලා. චින්තක අයියෙ කියලත් කියනවා. වාස් කිව්වාම පොඩි අනන්‍යතාවයක් තියෙනවා. 

වින්සන්ට් වාස්? ඔබගෙ තාත්තාගෙ නම, එතුමා මිය ගිහින් කොච්චර කල් වෙනවද? 

2004 මැයි 06 තාත්තා නැති වුණේ.

ඒ පවුලේ විස්තර කියමු. 

අපෙ අම්මට දැන් අවුරුදු 82යි. ඉතා ගුණයහපත් බිරිඳක්, මවක්. හොඳ ගෘහණියක්. පවුලේ මාත් ඇතුළුව  සහෝදර සහෝදරියන් පස් දෙනයි. 

ඒ අයගෙන් කලාවට සම්බන්ධ? 

මම විතරමයි. අනෙක් අය ආවෙ නැහැ. 

එයාලා මොනවද කරන්නෙ? 

ලොකු අක්කගෙ නම මිරානි. එයා විවාහ වෙලා එයාගේ දරුවොත් විවාහ වෙලා. ඊට පස්සේ අයියා, මිලාල්. තුන්වෙනියා පොඩි අක්කා එයා ජානකී. ඊට පස්සෙ මම. බාලයා නංගී. එයාගෙ නම ඉනෝකා. අයියා විදෙස්ගතවෙලා හිටියෙ. දැන් ලංකාවෙ. 

වින්සන්ට් වාස්, කලාකරුවා, නැතිනම් ඔබගේ තාත්තා ගැන මොන වගේ මතකයන්ද තියෙන්නේ? 

පොඩි කාලයේදී තාත්තා ෂූටිං ගිය හැටි මතකයි. අපි එතකොට හිටියෙ  බේරුවල, මග්ගොන. තාත්තා වෘත්තිය හැටියට කළේ රඟපෑම විතරමයි. තාත්තා ධීවර පවුලකට අයත් කෙනෙක්. තාත්තා කියූ විදියට තාත්තා නළුකමට ඇවිත් තියෙන්නෙ තාත්තාගෙ තාත්තාගෙ මරණින් පසුව ඇතිවූ ආර්ථික අපහසුතා එක්කයි. ඒ නිසා අපේ තාත්තට රැකියාවක් සොයා ගන්න සිද්ධ වෙලා. ඊට පස්සේ පොළවල්වල  බිස්නස් කිරීම, පොඩි පොඩි කඩවල වැඩ කිරීම පවා කරලා තියෙනවා. ඒ අතරේ පල්ලියේ ගීතිකා කණ්ඩායමට ගිහින්. ගීතිකා කණ්ඩායමේ මාස්ටර් වෙලා හිටියෙ හර්මන් පෙරේරා. එතුමා මර්වින් පෙරේරාගෙ තාත්තා. එයාලත් පයාගල. වයිලීන ආභාෂය තාත්තට ලැබුණෙ හර්මන් පෙරේරාගෙන්. ඊට පස්සෙ තාත්තාට සිල්ලර කඩයක රැකියාවක් ලැබිලා. ඒ කඩේ වැඩ ඉවර වෙලා සිටියදී තාත්තා කරලා තියෙන්නෙ රෑට වයලීනය වාදනය කිරීම. ඒක වාදනය කරන අතරේ දවසක් ආර්. මුත්තුසාමි මාස්ටර් ඒ කඩයට ඇවිත්. මුදලාලි කවුද මේ රෑට රෑට වයලින ගහන්නෙ කියලා මුදලාලිගෙන් අහලා? මුත්තුසාමිත් හොඳ වයලීන දක්ෂයනෙ. ඉතින් මෙන්න මේ කොල්ලා කියලා තාත්තාව පෙන්නලා. ඊට පස්සේ තමයි මුත්තුසාමි තමුසෙ එනවා මාත් එක්ක කොළඹ යන්න. නායගම් කියලා මහත්තයෙක් ඇවිත් ඉන්නවා. මම තමුසෙව එයාගෙ චිත්‍රපටයට දාන්නම් කියා. මොකද මේ වනවිට නායගම් මහතා නළුවෙක් හොය හොය ඉඳලා තියෙන්නෙ. ඊට පස්සෙ තාත්තා දිහා බලන් හිටපු නායගම් මහත්තයා අයිසේ තමුසෙට හොඳ ඇස් දෙකක් තියෙනවා කියලා ඒ විදියට තමයි අහංකාර ස්ත්‍රිය චිත්‍රපටයේ ජුවන්ගෙ චරිතයට තෝරාගෙන තියෙන්නේ. ඒ විදියට තමයි තාත්තා රඟපෑමට ආවේ. එතැන් සිට එයා දිගටම රඟපෑම තමයි කළේ. 

හරි අපි දැන් කියමු වින්සන්ට් වාස්ගෙ පුතා වූ චින්තක වාස්, රඟපෑමට ආවෙ කොහොමද කියලා? 

එතකොට මම පාසලින් අස්වෙලා හිටියෙ. ගීත ගැයීමේ හැකියාව මටත් පිහිටලා තිබුණු දෙයක්. සංගීතය ඉගෙන ගන්න තැනක් හොයද්දී එඩ්වඩ් ජයකොඩි ශූරීන්ව තමයි හමුවුණේ. එතුමාගෙ ගෙදර සොයාගෙන සංගීතය ඉගෙන ගන්න ගියා. එතැනදී සර්ගෙ ප්‍රසංගවලදී අත්වැල් ගායනයට සර් මාව තමයි එක්කගෙන ගියෙ. ඒ විදියට දවසක් ස්වර්ණවාහිනියෙ වැඩසටහනකට ගියා. ජැක්සන් ඇන්තනි ශූරීන් හමුවුණේ එතැනදි. එතුමා මා දිහා බලාගෙන හිටියා. වැඩේ ඉවර කරලා මම ගෙදර ආවා. පහුවදා චරිතා ප්‍රියදර්ශනී මිස් කතා කරලා වාස් රඟපාන්න කැමතිද කියලා මගෙන් ඇහුවා? එතකොට රඟපෑම ගැන මගේ හිතේ තිබුණේ නැහැ. පිස්සුද චරිතා මිස් මම රඟපාන්න දන්නෙ නෑ කිව්වා. පස්සෙ එඩ්වඩ් සර් පංතිය ඉවරවෙලා මාව හම්බවෙන්න කියලා මට කිව්වා. මම එඩ්වඩ් සර් හමුවෙලා වාස් මේ පිස්සු නටන්න එපා. ඔයාට මේ කතා කරන්නෙ ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි ජැක්සන් ඇන්තනි මහතා කියලා මට කිව්වා. එදා එයා ඔයා දිහා බලාගෙන ඉඳලා ඒකයි එයා කතා කරලා  තියෙන්නේ කියලත් කිව්වා. ඒ පාර මම එඩ්වඩ් සර් සහ චරිතා මිස් සතුටු කරන්න ඕනෑ නිසා ජැක්සන් ඇන්තනි ශූරීන්ගේ වැඩේට ගියා. යෙහෙළි කතා මාලාවට මාව ගත්තෙ ඒ විදියටයි. ඒ තමයි ආරම්භය. 

ඊට පස්සේ රඟපෑ නාට්‍ය? 

ජැක්සන් මහතාගෙම අබා, ඇඩ්‍ර්ස් නෑ සහ ජයන්ත චන්ද්‍රසිරිගෙ ඝරසරප, අනුරුද්ධගෙ ගින්නෙන් උපන් සීතල ඇතුළු කීපයක රඟපෑවා. 

ටෙලි නාට්‍ය අතරින්? 

චාමර පීරිස්ගෙ පියවි නාට්‍යයේ චරිතය ගැන වැඩි දෙනෙක් කතා කළා. ප්‍රදීප් ධර්මදාසගෙ ‘දෙවියන්ගෙ රටේ’ නාට්‍යයේ කළ චරිතයටත් ලැබුණෙ හොඳ ප්‍රතිචාර. ඔක්කොම ටෙලිනාට්‍ය 12කට විතර මේ වනවිට දායක වෙලා තියෙනවා.

මේ දිනවල චින්තක රඟපාන චරිත ගැන කියමු. 

පියාඹන මූණිස්සම් නාට්‍යයේ නිශාන්ත, චලෝ නාට්‍යයේ සිරා සහ වන්සඅපෝන ටයිම් ඉන් කලම්බු එකේ විමලෙ. 

චින්තකගෙ පුද්ගලික ජීවිතේ විස්තර මොනවද? 

දරුවන්  තුන් දෙනෙකුගේ දයාබර පියෙක්. ලොකු පුතා ගීනෝද් වාස්, දෙවැනියා මිනෝද්, දුවගෙ නම විඳලි. 

තවත් මොනවද අපට චින්තක එක්ක කතා කරන්න තියෙන්නෙ? 

ඇත්තම කිව්වොත් මම කළ හොඳ වැඩ තියෙන්නෙ ඉදිරියෙ. ඉදිරියට ඒවායෙ මම රඟපෑවෙ ප්‍රධාන චරිත. ඊට අමතරව ජයන්ත චන්ද්‍රසිරිගෙ නන්නත්තාර ටෙලි නාට්‍යයේ සහ නලින් ප්‍රේමතිලකගෙ කිණිහිරමල, සුරංග ලක්මාල්ගෙ අනිච්ඡාවත සංඛාරා, විශේෂිත නිර්මාණ ලෙස නම් කරන්න පුළුවන්. චිත්‍රපට ගැන කතා කළොත් අයිස්ක්‍රීම් (ප්‍රදීප් ධර්මදාසගෙ), දඩඉම (ආචාර්ය නෙඔමාල්  පෙරේරා) සහ චාරුක අරනායකගෙ  වෛතාලේ චිත්‍රපටවලට දායක වුණා. 

සඳුන් ගමගේ