පැණියයි -දෙයියයි දෙන්නම ආපු අමුතුම මුහුරතක්

දෙයියා කියපු එයා නොආව , ඒත් දෙයියයි පැණියයි දෙන්නම ආපු දෙයියගෙයි පැණියගෙයි රස කතා වලින් වගේම සින්දු ලියන ධම්මික බණ්ඩාරගේ රස සාර ඇත්ත කතාවලින් කොළඹ නව ලෝකෙ ශ්‍රවණාගාරයම හිනස්සපු ච්ත්‍රපටයක අමුතුම මුහුරතක් ඊයේ පෙරේදා දවසක පැවැත්වුණා. ඒ චිත්‍රපටය තමයි එදා රෑ......
"එදා රෑ ගුවන් තොටුපොළේදී
වෙන් වී ගියේ මා සිතකින් නොවේ....."
එහෙම ගයපු මිල්ටන් මල්ලවාරච්චි එහෙම ගයන්න අද නැති වුණත් ආල ශෘංගාර රස සාර කරුණා හැම රහක්ම කැටි වෙච්ච එහෙම කට හඬක්!
තවම අහන්න ලැබුණේ නෑ කියලයි මටනම් හිතෙන්නෙ..එහෙව් කට හඬකින් සිංදු කියපු මිල්ටන් මල්ලවාරච්චිගේ ආදර කතන්දරේ තමයි එදා රෑ චිත්‍රපටයට ප්‍රස්තුත වෙන්නේ.
කැලුම් ශ්‍රීමාල් සුපිරියටම මුහුරත මෙහෙය වූවා. මිල්ටන්ගේ ලොකු පුතා රනිල් මල්ලවාරච්චි මිලටන්ගේ සින්දු කිව්වා.රනිල් විතරක් නෙවෙයි උරේෂා රවිහාරි භාතිය -සන්තුෂ් හැම කෙනෙක්ම මිල්ටන්ගෙන් මතකය අවදි කරමින් මිලිටන්ගේ සින්දු කිව්වා.අන්තිමට හරි සුන්දරම අත්දැකීමක් වුණේ හැමෝටම මිල්ටන්ගේ සිංදු කියන්න ඉඩ දුන්න එක.
ඉතින් චිත්‍රපටය සුපිරියක් වෙයි කියලා හිතෙන්නේ මිල්ටන්ගේ චරිතයට හුස්මක් දෙන්න තෝරාගත්ත නළුවා නිසා .එයා තමයි රොෂාන් රවීන්ද්‍ර .
රොෂාන් රවීන්ද්‍ර කියන්නෙම අමුතු නළුවෙක්.
රඟපාන නළුවන් අතර
දෙබස් කියන නළුවන් අතර
නළුවන් යැයි කියා ගන්නා නළුවන් අතර
නළුවන්යැයි සිතා සිටින නළුවන් අතර
නළුවන් වගේ රඟන නළුවන් අතර
(ඒ ඔක්කොටම ඇතැම් කියන වචනයත් වලංගුයි )
මේ කිසිම කුලකයකට අයත් නැති පුදුමාකාර ඉවසිල්ලකින් චරිතයේ හද ගැස්මට හද ගැස්ම මුහු කරන ආත්මීය ආලයකින් චරිතයක් එක්ක හුස්ම ගන්න විරල ගණයේ නළුවෙක්ට නමක් කියනවනම් ඒ තමයි රොෂාන් රවීන්ද්‍ර .ලාංකික සිනමාවේ මගේ කැමතිම නළුවා වෙච්ච ශ්‍යාම් ප්‍රනාන්දුට පස්සේ එදා මෙදා තුරුමම දැකපු විශිෂ්ටම නළුවත් රොෂාන් . හිතට දුක ඒ මැණික තව තව දිදුලවන්න සිනමා අධ්‍යක්ෂවරුන්ට හිතෙන්න ඕන තැන්වලදි නොහිතුන එක .ඒ රංගන පෞරුෂය පෙරලා අරගෙන ලාංකික සිනමාවට වත් නොකරපු එක ගැන.
එහෙම පසුබිමක අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන එදා රෑ චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්ච්ගේ චරිතයට හුස්මක් දෙන්න රොෂාන් රවී න්ද්‍ර තෝරා ගත්ත එකම චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් හිතේ ඉතුරු කරනවා.....
ඉතිං ඒ ඔක්කොම අස්සේ රනිල් මල්ලවාරච්චිගෙ කාඩ් එක පැණියා කියලා කිව්වේ එයාගේ හොඳම යාළුවෙක් වෙච්ච නිෂ්පාදකවරු තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් වෙච්ච අරෝෂ ප්‍රනාන්දු...හේතු ඉල්ලෙ...අපි ඇහුවෙත් නෑ.දෙයියගෙ කතාව කිව්වේත් ඒ පැණියම තමයි. "
අපේ තාත්තා දෙයියා කියලා කතා කළේ එක්කෙනෙකුට විතරයි.ඒ ජයන්ත ධර්මදාස අංකල්ට. නවලෝකේ අයිතිකාරයා වෙච්ච ජයන්ත ධර්මදාස කතාව පටන් ගත්තෙම මෙහෙම කියාගෙන.
" මම නම් කතා කරන්න කාගෙන්වත් අවසර ඉල්ලන් නෑ .මේක මගේ තැනනේ. මගේ තැන කතා කරන්න මම මොකටද කාගෙන්වත් අවසර ඉල්ලන්නෙ කියාගෙන......ඒක කීවේ ඉතින් හරි ආතල් හෘදයාංගම Tone එකකින්.එයා කියපු හුඟක් විස්තර අතරේ පැණියා කියපු කතාව සනාථ කරමින් එයා කිව්වේ මිල්ටන් දෙයියා කියලා කතා කළේ මට විතරයි කියලා....වැඩිපුරම කතා කරන්නේ ක්‍රිකට් ගැන විස්තර කියන්න අහන්න කියලත් ඒ අතරෙදි කිව්වා. දවසක් ඉන්දියන් ටීම් එක ඇවිල්ලා ජයන්ත ධර්මදාසගේ ගෙදර ඩිනර් එකකට . එදා මිල්ටන් මල්ලවාරච්චි තමයි සිංදු කියන්න ගිහිල්ලා තියෙන්නේ. මිල්ටන්ගෙ සින්දු අහපු ඉන්දියන් ටීම් එක කියලා තියෙනවා එයාගේ සින්දු කියවන්න එයාව ඉන්දියාවට එක්කන් යන්න ඕන කියලා. ඒක අහපු මිල්ටන් එයාව එදාම ඉන්දියාවට එක්කන් යයි කියලා හිතලා ඒ වෙලාවේම කාටවත් නොකියා ගෙදරින් ගිහිල්ලා. කෝ මිල්ටන් කියලා හොයනකොට මිල්ටන් නැතිලු. ඉන්දියාවෙ එක්කන් යයි කියන බයට මිල්ටන් දෙයියටවත් නොකියා අතුරුදහන් වෙලා. ඔය වගේ රස කතා සරාගයක තමයි එදා
මුහුරතේ අපිි කිමිදුනේ.
"මිල්ටන් ජීවිතය පටන් ගත්තෙත් නව ලෝකෙන් ජීවිතය ඉවර කළෙත් නව ලෝකෙන් .නවලෝක ඉස්පිරිතාලයේ 610 කාමරයේ දී තමා එයා එයාගේ අන්තිම හුස්ම වාතලයට මුහු කළේ......දෙයියා ඒ කියපු කතාවනම් හරිම සංවේදීයි
ඔහොම කතා ගොඩක් අතරේ කට්ටියම හිනාවෙන කතාව කීවෙ ධම්මික බණ්ඩාර.
"ප්‍රියා සූරියසේන මහත්තයයි මිල්ටන් මල්ලවාරච්චි මහත්තයයි බාර් එකකට ගියාලු බොන්න.දැන් කෑම order කරන්න ප්‍රියාලු. Fish ගේන්න, තව බාගයක් ගේන්න ,සෝඩා දෙකක් ගේන්න, ඔම්ලට් එකක් ගේන්න මේ විදිහට ප්‍රියා ඇති වෙනකම් orders දානවලු . ප්‍රියා orders දාලා බිල ගේන කිට්ටුවට ප්‍රියා හොඳට නිදිලු .අනේ අපේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා අතේ තියෙන සල්ලි වලින් බිල ගෙව්වලු.බිල ගෙව්වම ප්‍රියා ඇහැරුණාලු.ඇහැරිලා කිව්වලු මේසෙට ගගහා
"හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ -අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ කියලා"
මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ මූණ රතු වෙලාලු.....මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා මේසයට තට්ටුවක් දදා කීවලු
"ආයේ නාවත් කම් නෑ ඉතින් කියලා......."
ඔන්න ඔහොම රස කතා රස හිනා මංජරියක් වෙච්ච අමුතුම මුහුරතක් තමයි එදා නවලෝක ශ්‍රවනාගාරයේදී පැවැත්වුණේ.....කොටින්ම කිව්වොත් කිසිම දෙයකින් අඩුවක් නැති වෙච්ච මුහුරතක්.....දැන් තියෙන්නේ ලංකාව පුරා ලෝකය පුරා යාත්‍රාවේ යෙදෙන්න එදා රෑ එනකම් බලන් ඉන්න එක.........








