භරත නාට්‍ය ගැන සිංහලෙන් ලියූ ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථය එළි දකී

  • 27-09-2025


අහසින් පොළොවට වැටුණත් ජීවිතය අත් නොහළ ගැහැනියක් ! 

නිර්දෝෂී හෘද සාක්ෂියක් දරාගෙන ජීවිතයේ අසීරුම කාර්තු පසු කරමින් අනේක විධ ජීවන අභියෝගයන්ට  මුහුණ දෙමින්  ඒ සියල්ල ජය ගනිමින් ඒ සියල්ල මැද පොතක් ලියූ ගැහැනියක් !

 සිංහල භාෂාවෙන්  භරත නාට්‍ය කලාව ගැන  ලියූ  ශාස්ත්‍රීයම ග්‍රන්ථය ලෙස ඇය ලියූ පොත නර්තන ඉතිහාසයට එකතු වෙනවා .

පොතේ නම : තෞර්යත්‍රිකම්

තෞර්යත්‍රිකම්  - තේරුම 
ගායනය - වාදනය - නර්තනය - යන ත්‍රී මූර්තියේ සංකලනයයි

පොත ලියූ ඇය : ප්‍රීති ගනේගොඩ

ප්‍රධාන දේශනය මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර

පොත පිළිගැන්වූයේ සුජාතා අත්තනායක ගුරුතුමියට 
 


යක්ෂණියක් ...දෙව්දුවක්....ගැහැනියක්......

ඇගේ හදගැස්ම විනිවිද ඇය තුළ යක්ෂණියක් ..දෙව්දුවක් සහ ගැහැනියක් හුස්ම ගන්නා වග ඉඳින් මම හඳුනමි.එහෙයින්ම කාලි කුලයේ  ආදරණීය සහ යුක්තිගරුක ,සාධාරණ පෞරුෂත්වයක් ළය දරාගත් ඇයට මම ආදරය කරමි. ගැහැනියක තුළින් මා අපේක්ෂා කරන පෞරුෂත්වය ද එයයි. තවද ඇය තරම් ..ඔව් ඇය තරම් භරත නාට්‍ය කලාව ශාස්ත්‍රීය වෙසින් ප්‍රගුණ කළ කිසිවෙක් මා දන්නා තරමින්  ලාංකික නර්තන කලාව තුළ තවම නැත.

තෞර්යත්‍රිකම් ලක්ෂ්මන් කදිරගාමර් පදනමේ Light house හීදී එළි දක්වද්දී මහාචර්ය ප්‍රනීත් අභයසුන්දර ,ආචාර්ය රවිබන්ධු විද්‍යාපති , ස්වාමි ව්වේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මහාචාර්ය අන්කූර් දත්තා, මහාචාර්ය මුදියන්සේ දිසානායක , ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක ,නිරංජලා සරෝජිනී ,මල්කාන්ති නන්දසිරි ,අනුරාධා නන්දසිරි, චන්දන වික්‍රමසිංහ, චන්න විජේවර්ධන මේ ආදි නර්තනය හා සංගීතය හා යා වූ හිත් ඇති හුඟාක් අය තෞර්යත්‍රිකම් වෙනුවෙන් එදා ආවා.

"ජීවිතයේ නොයෙකුත් අභියෝග   විසින් ඇති කළ අසීමිත පීඩනය වරෙක මා යක්ෂණියක් කළා.බැඳීම් ජීවිතයෙන් ගිලිහුණු තැන් තිබුණා.ඒත් මගේ දුවයි පුතයි මම වගේම  ඒ සියල්ල මැද කලාව අත් නොහැර හිටියා.....තෞර්යත්‍රිකම් ලියුවේ  ජීවිතයේ මහා දුෂ්කර කාර්තු පසු කරමින්....ජීවිතයේ ඒ සියලු ප්‍රශ්නවලට සාධාරණව සහ හෘද සාක්ෂියට එකඟව මුහුණ දෙමින් මට අවැසි ජීවිතය සොයාගෙන ගිය ගැහැනියක් මම.......

ප්‍රීති කියූ දිගු කතාවේ සංක්ෂිප්තය එයයි.

එදා ඒ හැන්දෑවෙ කර්ණාටක සංගීත සංධ්වනියෙන් භාවනාවක් බවට පරිවර්තනය කළේ  ප්‍රීතිගේම පුතු දෙවින්.......

ඉතින් තෞර්යත්‍රිකම්  වෙනුවෙන්  ප්‍රීතිට සාරවිට සුබ පැතුම්.......අභිමානවත් මෙහෙවරක් භරත නාට්‍ය කලාව වෙනුවෙන් සිදු කළ සහ අදටත් සිදුකරන ඇයට ස්තූතියේ මල් මිටක් !