Hall of Fame ගෞරව නාමය ලද පළමු රූ රැජන කොලොම්බියාවෙන්

  • 05-06-2026

ඔබට බැහැ.....ඔබ අසමත් ....ඔබට ගමනක් නෑ කියන මිනිස්සු ඔයාටත් ඔයාගේ ජීවිතයේ ඕනෑ තරම් හමුවෙලා ඇති.

මල් මිටක් තබා එක මල්ක්වත් වෙනුවට අහේතුකව ගල් විතරක්ම විසිකරන මිනිස්සුත් ඔබට ඕනෑ තරම් හමුවෙලා ඇති....

එහෙත් තමන්ට තමන් විශ්වාසනම් ජීවිතයේ දිනන්න බැරි කිසිම දෙයක් නැහැ කවදාවත්.....

මේ ඒ අයුරින් ජීවිතය දිනූ ඇයගේ කතාවයි.

ලොව පුරා ප්‍රමුඛ පෙළේ රූ රැජණන්ගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු සමාරම්භක ‘MGI All Stars 2026’ තරඟාවලියේ ප්‍රථම කිරුළ හිමිකර ගැනීමට සමත් වුණේ කොලොම්බියාව නියෝජනය කළ වැනේසා පුල්ගරින් (Vanessa Pulgarin) 

ඉකුත් දිනයක  සන්ද්‍යාවේ බැංකොක් නුවර පිහිටි MGI ශාලාවේදී පැවැත්වුණු අවසාන මහා තරඟයේදී, ලොව පුරා පැමිණි ප්‍රබල තරගකාරිනියන් 55 දෙනෙකු අභිබවා යමින් ඇය මෙම  ජයග්‍රහණය වාර්තා කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ ඇය MGI All Stars හි "Hall of Fame" ගෞරව නාමාවලියට එක්වන පළමු රැජණ බවට පත්වන්නේත් ඇය. තරඟාවලියේ නිල ප්‍රතිඵලවලට අනුව ප්‍රථම අනුශූරතාව (First Runner-Up) ඝානා රාජ්‍යයේ ෆේත් මරියා පෝටර් (Faith Maria Porter) විසින් දිනාගත් අතර, දෙවන අනුශූරතාව (Second Runner-Up) වියට්නාමයේ හුආන් ජියැන්ග් න්ගුයෙන් (Huong Giang Nguyen) සතු වුණා.

නිල තරග ප්‍රතිඵල:

ජයග්‍රාහිකාව: වැනේසා පුල්ගරින් – කොලොම්බියාව 

ප්‍රථම අනුශූරතාව: ෆේත් මරියා පෝටර් – ඝානාව 

දෙවන අනුශූරතාව: හුආන් ජියැන්ග් න්ගුයෙන් – වියට්නාමය 

විවිධත්වයට මුල්තැන දුන් නවමු තරගාවලියක්..

"Miss Grand International" සංවිධානය විසින් මෙහෙයවන ලද මෙම සුවිශේෂී තරගාවලිය, මීට පෙර ජාත්‍යන්තර රූ රැජණ තරග නියෝජනය කළ හෝ ජයග්‍රහණය කළ අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවන් වෙනුවෙන් විවෘතව පැවතුණි. මෙහි විශේෂත්වය වූයේ විවාහක කාන්තාවන්ට, මව්වරුන්ට මෙන්ම සංක්‍රාන්ති ලිංගික (Transgender) කාන්තාවන්ටද මේ සඳහා තරඟ කිරීමට අවස්ථාව ලබා දී තිබීමයි.

කොලොම්බියානු රැජණ වැනේසා පුල්ගරින්, තරගාවලිය ආරම්භයේ සිටම කිරුළ සඳහා වඩාත්ම සුදුසුකම් ලත් අපේක්ෂිකාවක ලෙස පෙරමුණේ පසුවූවාය. ඇය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තායිලන්තයේදීම පැවැත්වුණු 74 වන Miss Universe තරඟාවලියේ අවසන් 10 දෙනා අතරටද තේරී පත්වූ දක්ෂ තරඟකාරිනියක්.

අවසන් ප්‍රශ්නෝත්තර වටයේදී ඇයගෙන්, “ඔබ තාරකාවක් බවට පත් කරන සහ එය ලෝකයට පැහැදිලිව පෙන්වන ගුණාංග මොනවාද?” යන ප්‍රශ්නය විමසනු ලැබීය.

ඊට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ, මෙම වේදිකාව තම ජීවිතයේ විශාලතම සිහිනයක් බවත්, කුමන බාධාවක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් හමුවුවද තමන් ගැන විශ්වාසය අත් නොහැරිය යුතු බවත්ය.

“කෙනෙකු ඔබට ‘ඔබට එය කළ නොහැක’ යැයි පැවසුවත්, ඔබට එය කළ හැකියි. අප සතු ශක්තිය, කැපවීම සහ විනය ඒ සඳහා පදනම වේ,” යැයි ඇය සඳහන් කළාය.

තවද, MGI All Stars කිරුළ ජයගැනීමේ අරමුණෙන් තමන් එම තරගයට එක් වූ බවත්, වේදිකාව සමඟ මෙන්ම ජනතාව සමඟ සම්බන්ධ වීමට තමන් උපතින්ම කැප වූ අයෙකු බවත් ඇය අවධාරණය කළාය.

“මම මෙහි සිටින්නේ දැඩි කැපවීමෙන් සහ අඛණ්ඩ මහන්සියෙන්,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙවර තරඟාවලියේ ප්‍රතිඵල තීරණය කිරීම සඳහා මහජන මනාපයට සියයට 30ක (30%) බර තැබීමක් ලබා දී තිබුණි. කෙසේ වෙතත්, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියනයකට අධික පිරිසක් වෙබ් අඩවියට එකවර පිවිසීම හේතුවෙන් ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා ලකුණු සංදර්ශකය අක්‍රිය විය. අනතුරුව විනිශ්චය මණ්ඩලයේ ලකුණු (70%) මත පදනම්ව අවසන් තීරණය ගැනීමට සංවිධායකයින්ට සිදු විය.

හිටපු විශ්ව රූ රැජණන් වන ලුපිටා ජෝන්ස් (Lupita Jones) සහ නටාලි ග්ලෙබෝවා (Natalie Glebova) මෙන්ම, Miss Grand International කිරුළධාරිනියන් වන ඉසබෙලා මෙනින් (Isabella Menin) සහ අබේනා අකුවාබා (Abena Akuaba) ඇතුළු ප්‍රකට ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් විසින් තරඟය විනිශ්චය කරන ලදී.

තරගාවලියේ රීතිවලට අනුව, ප්‍රථම All Stars රැජණ ලෙස කිරුළ පැළඳි වැනේසා පුල්ගරින්, මීළඟ තරග වාරයේදී සිය කිරුළ ආරක්ෂා කර ගැනීම සඳහා (To defend her title) නැවතත් වේදිකාවට පිවිසීමට නියමිතය.

ඇය ගැන දෙස් විදෙස්  සමාජ මාධ්‍ය අභිමානවත් ලෙස සටහන් තිබුණෙ එහෙමයි.