අදටත් මට වැඩකට කතා කරද්දී අහන්නෙ කොණ්ඩෙ වෙනස් කරලා නැහැ නේද කියලයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීනු ටෙලිඩ්‍රාමා එකේ රෙහානිගෙ චරිතය රඟපාන ඇය, රාජිණි ටෙලිනාට්‍යයේ ‘රෝස්’ ය. දිවිතුරා නාට්‍යයේ රෙහානා ය. ඊට අමතරව පාර වසා ඇත නාට්‍යයේ, ඇය රඟපාන්නේ ‘සවනි’ නමැති චරිතයයි. මේ විදියට මේ දිනවල අපට රූපවාහිනි තිරය ඔස්සේ හමුවන සුදීක්‍ෂා සමාධි සඳැල්ලට කියන්නෙ මොනවද බලමු.

සුදීක්‍ෂා සමාධි, සුදීක්‍ෂා කියන්නද? සමාධි කියන්නද?

සුදීක්‍ෂා සමාධි කියනවාට ආසයි. මගේ සම්පූර්ණ නම, රණසිංහගේ සුදීක්‍ෂා සමාධි පෙරේරා. කලා ක්ෂේත්‍රයේ දී භාවිතා වෙන්නෙ සහ මා  ගැන වැඩි දෙනෙක් දන්නෙ සුදීක්‍ෂා සමාධි කියලයි.

මීනු ඔබගේ කී වැනි ටෙලි නිර්මාණය ද?

දහඅට හෝ දහ නමය.

හැබැයි, ඒ වුණාට මීට පෙර සුදීක්‍ෂා ගැන වැඩිපුර කතා වෙලා නැහැ නේද?

2013 දී මම කලා ක්ෂේත්‍රයට ආවා. මේ මගේ 18 වැනි නාට්‍ය. ඒත් සමහර ඒවායේ රඟපෑවේ ඉතාම පොඩි පොඩි චරිත.

මේ විදියට ප්‍රධාන චරිතයක් ලැබෙන්න කොච්චර කල් ගියා ද?

මම හිතන්නෙ රඟපෑමේ ක්ෂේත්‍රයට එන අයට දක්ෂතාවය වගේම වාසනාව තියෙන්නත් ඕනෑ. 2013 එනකොට මේ ක්ෂේත්‍රයට මම අලුත් කෙනෙක්. ඒ නිසා ක්ෂේත්‍රය ගැන දැනගෙන හිටියෙ නැහැ. ඉවසීමෙන් සංයමයකින් ටිකෙන් ටික ඉගෙන ගනිමින් යන ගමනක්. රඟපෑම සහ කලා අංශයේ දී ඉවසීම කියන දේ තියෙන්න ඕනෑ දෙයක්. ලැබෙන චරිතය ගැන සහ එහි දිග පළල හොයන්න ගියේ නැහැ. පොඩි චරිතය හරි කරන්න උත්සාහ කළා. ඒත් අද අවුරුදු කුමාරියට තේරිලා එන අය බොහෝ දෙනා බලා ඉන්නෙ එයාට ප්‍රධාන චරිතයක් ලැබෙන කල්. මම එහෙම නෙවෙයි, 2013 දී මම ආවේ ලැබෙන්නෙ මොකක්ද, ඒ චරිතය හොඳට කරනවා කියන අරමුණ ඇතිවයි. එක පාරටම චරිතයට සාධාරණයක් කරන්න බැරි වේවි. ඒත් කරන චරිතය හරියට කිරීම එදා වගේම අදත් මට තියෙන අරමුණක්.

සුදීක්‍ෂා R (ර) අකුර ලකී වුණේ කොහොමද?

මේ අවුරුද්දෙ විකාශය වන නාට්‍ය 4න් තුනකම, මම රඟපාන චරිතවල නම් තියෙන්නෙ ආර් (R) එකෙන්. පුද්ගලිකව හිතන විදිහට මට ‘ර’ යන්න ලකී වුණා.

ඉතින් ස්වීප් ටිකට් එකක් එහෙම ගත්තෙ නැද්ද?

හිතුණා. ඒත් ඒක පස්සෙ හඹා ගියේ නැහැ.

මීනු නාට්‍යයේ රඟපාන රෙහානි ගෙ චරිතය මොන වගේ එකක් ද?

රෙහානිට ආදරේ හිතෙන්නෙ විවාහක පිරිමින්ට. රෙහානිගෙ චරිතය ඇතුළෙ පෙන්වන්නෙ සම්පූර්ණයෙන්ම ආදරය හොයන තරුණියකගෙ චරිතයක්. එයා ආදරයට බොහොම කැමති කෙනෙක්. ඒ නිසාම එයා ආදරය කරන කෙනා බැඳල ද නැද්ද කියලා හොය හොයා ඉන්නෙ නැහැ. කොහොම හරි රෙහානි අයිති කර ගන්නෙ ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්. එයාව තමයි කසාද බඳින්නේ. ඒ විදියට හීන ගොඩනගා ගන්න හදන චරිතයක්.

සැබෑ ජීවිතයේ දී ආදරය කරද්දී සුදීක්‍ෂා මොන වගේ ද? රෙහානි වගේම ද?

සුදීක්‍ෂා සමාධි කියන්නෙත් ආදරයට බොහොම ආදරේ කෙනෙක්. හරිම ආදරණීය කෙනෙක්. ආදරේ  පොඩ්ඩක් නෙවෙයි, ගොඩාක් ලැබෙනවට ආස කෙනෙක්. අම්මගෙන්, තාත්තාගෙන්, සහෝදරයන්ගෙන්, යාළුවන්ගෙන් ආදරය තමයි බලාපොරොත්තු වෙන්නෙ. රෙහානි වගේ බොළඳ නම් නැහැ. හොඳ වැටහීමක් තියෙන කෙනෙක්. සුදුසු දේ ජීවිතයේ තියාගෙන නුසුදුසු දේ අයින් කරන කෙනෙක්.

ආදරය ගොඩාක්, පොඩ්ඩක්, ලොකු ඒ විදියට මනින්නෙ කොහොමද?

ඒක අපට දැනෙන සිතිවිලි එක්ක ඇතිවන දෙයක්. අම්මා තාත්තාගෙන්  ලැබෙන ආදරය වර්ග කරන්න බැහැනෙ. ඒක වෙනස්ම ආදරයක්. ඒකෙ විදිය කියලා මැනලා වර්ග කරන්නත් නැහැ. අම්මා තාත්තා අපට පුදුම විදියට ආදරෙයිනෙ. ඒක මහ ගොඩක් කියලා කියන්න පුළුවනි. ප්‍රේම කරද්දී අපි කොච්චර ආදරය කළත් ප්‍රතික්ෂේප වෙන තැන් තියෙනවනෙ. අන්න ඒ වගේ තැන්වලදි ඒ ආදරයේ වෙනස අපට දැනෙනවනෙ.

හරි මේ දිනවල පවතින සුදීක්‍ෂාගෙ ප්‍රේමය ගැන කියමු. ඒ කී වැනි ආදරය ද?

මේ දිනවල නම් මම පෙම්වතියක් නෙවෙයි. මගේ වෘත්තිය රංගනය කරගෙන මට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට ආදරය කරන කෙනෙක්. ප්‍රේක්ෂක ආදරයට මම මාරම විදියට ආදරෙයි.

සුදීක්‍ෂාගෙ කොණ්ඩයට තවමත් ඉල්ලුම තියෙනවද? විලාසිතා නිරූපනයේදි?

ඔව්. මම ක්ෂේත්‍රයට ආවෙ නිරූපණ ශිල්පිනියක ලෙසයි. අදටත් මට වැඩකට කතා කරද්දී අහන්නෙ කොණ්ඩෙ වෙනස් කරලා නැහැ නේද කියලයි. මගේ කැරලි සහිත කොණ්ඩය වෙනස් කරනවට කවුරුවත් කැමති නැහැ. මීළඟට විකාශනයට නියමිත, රැජිණි නාට්‍යයේ චරිතය රඟපාද්දිත් කොණ්ඩය ගැන තමයි මගෙන් මුලින්ම ඇහුවෙ. ඒ චරිතය මට ලැබුණෙත් මගේ කැරලි ගැසුණු කොණ්ඩය. නිසයි.

නාට්‍යවල හැර, දැන්වීම්වල දී කොණ්ඩයට වටිනාකමක් මිලක් ලැබිලා නැද්ද?

තවම නැහැ.

සුදීක්‍ෂාට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට දැන ගන්නත් එක්ක ගෙදර විස්තර ගැන කිව්වොත්?

අම්මා ගෘහණියක්. තාත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. මල්ලි පුද්ගලික බැංකු ආයතනයක ඉහළ තනතුරක් දරන කෙනෙක්. එයා ඒ අංශයෙන් යද්දි ගෙදර අම්මා තාත්තා සහ මල්ලිගෙ උදවු ඇතිව හරිම ලස්සනට ජීවත් වෙමින් තමයි මම කලා අංශයේ මේ ගමන යන්නෙ.

පොලිස් සේවයට හෝ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට ආසා නැද්ද?

ඒ දිනවල තාත්තාගෙ ආසාවක් තිබුණලු මම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට යනවට. මොකද මම ඉගෙනීම එක්ක ක්‍රීඩා අංශයේ බොහෝ දේ කළා. ඒ නිසා මට සුදුසුකම් තිබෙනවා. ඒ නිසාම තාත්තා හිතුවෙ තාත්තාගෙ ක්ෂේත්‍රයෙන්ම මම යාවි කියලයි. ඒත් මමවත් මල්ලිවත් පොලිස් සේවයට යන්න උනන්දු වුණේ නැහැ. විශේෂයෙන්ම මට කලාවේ ගමනක් යාමට අවස්ථාව දුන්න අම්මා, තාත්තාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මගේ ජීවිතයේ මට අත්‍යවශ්‍ය මට කරන්න පුළුවන් දේ කරන්න එයාලා ඉඩ ලබා දුන්නා. නිදහසේ මේ විදියට රංගන කටයුතු කරගෙන යන්නෙ ඒ නිසයි.

කොහොම වුණත් අද බැලු බැලූ සෑම තැනකම නළු නිළියන් බොහෝමයි. මේ අයගෙ නම් පවා ප්‍රේක්ෂක මතකයේ රැඳෙනවා කියලා හිතනවද? මේ විදියට දිනපතා අලුත් පිරිසක් ඒම හොඳ ද?

ඒක හොඳ දෙයක්. පරණ අයට ඒක අභියෝගයක්. ඒත් පරණ අය තමුන්ගේ දේ හරියට කරනවා නම් අලුත් ප්‍රේක්ෂක පිරිසක් මුණ ගැහෙනවා. ඉන්න පිරිස තව වැඩි වෙනවා. ඒ හැර ප්‍රේක්ෂක ආදරය අඩු වන්නේ නැහැ. ලංකාවේ රියැලිටි ෂෝ ඉස්සරට වඩා වැඩියි. ඒ ඔස්සේ එන පිරිසත් වැඩියි. මොන විදියට ආවත් තමුන්ගේ දක්ෂතා මත තමයි ගමන රැඳෙන්නෙ.

ඒ එන අයට ප්‍රධාන චරිතයක් ලැබෙන්න නම්?

ඒකට ඉවසීම තිබිය යුතුමයි. ඒ වගේම එතෙක් තමුන්ට ලැබුණු චරිතවලින් ඉගෙනීම කළ යුතු දෙයක්. ඉගෙනීම ඉවසීම දෙකම අවශ්‍යයි.  ඒ වගේම වාසනාවත් තියෙන්න ඕනෑ. සැබෑ ජීවිතයේ දී එදිනෙදා අපට හමුවන චරිත වෙතින් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවනි. ඒනිසා ඒ සියලු චරිත ඉවත දාන්න බැහැ. ඒ ගැනත් අවධානයෙන් කටයුතු කිරීම වැදගත්.

සුදීක්‍ෂා ජීවත් වෙන්නෙ, සමාජයේ විදියටද? නැත්නම් ඔබගේම විදියකට ද?

මම ජීවත් වෙන්නෙ මට වුවමනා විදියට. මොකද මගේ ජීවිතය මගේනෙ. ඉතින් එහිදී මට ගැළපෙන මට සුදුසු පහසු විදියට ජීවත් වෙන්නෙ.

ලාංකීය සමාජයේ ගැහැණු ළමුන්ගෙන් දකින දුර්වලකම් මොනවද?

බොහෝ දෙනෙක් රාමුවක් ඇතුළෙ හිරවෙලා. තම තමුන්ව හරියාකාරව හඳුනා ගෙන නැහැ. එයාලා ජීවත් වෙන්නෙ එක්කෝ ගෙදරට එක්කෝ සමාජයට ඒත් නැත්නම් පෙම්වතාට ඕනැ විදියට. තවත් කෙනෙක්ට ඕනැ විදියට තමයි ලංකාවේ ගැහැණු ළමුන් බොහෝ විට ජීවත් වෙන්නෙ. එහෙම නොවි තමන්ගෙ දක්ෂතාවය හඳුනාගෙන ජීවත්වීම වඩා හොඳයි.

සඳුන් ගමගේ

ඡායාරූප - සජීව ලක්ෂාන්