අවුරුදු අටක ඉඳන් නමක් ගමක් නැති මල් පොකුරක් එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර “සුභ උපන්දිනක්” විශේෂාංගයෙන් සඳැල්ල හා එකතුවෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වන උදාරි කෞශල්‍යා.

• උදාරිගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ මේ දවස්වල?

ජීවිතේ ගොඩක් සතුටින් ගෙවෙනවා. මීට අවුරුද්දකට පෙර වගේ මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා, ඇඟලුම් විලාසිතා ව්‍යාපාරයක්. “My Dear Clothing” නමින්, ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඔන්ලයින්  ව්‍යාපාරයක්. ඒ දේත් එක්ක තමයි ජීවිතේ දැන් ගෙවෙන්නේ,

• ඉතින් ඒ විදියට ජීවිතේ සතුටින් ගෙවෙන උදාරිගේ උපන්දිනයත් ළඟ එනවා නේද?

ඔව්නේ, ජූනි 17 තමයි ඒ දවස. 

• ඒ දවස ගැන ගෙදර අය මොනවද කියලා තියෙන්නේ?

මම ඉපදිලා තියෙන්නේ කොළඹ මැකාති රෝහලේ. පවුලේ පළවෙනිම දරුවා තමයි මම, මට ඉන්නේ නංගියි, මල්ලියි. ඉතින් ගෙදර අය කියන්නේ ඉස්සෙල්ලම දරුවෙක්ගේ මූණ දැක්කේ මගෙන්, මම අම්මාට, තාත්තාට වාසනාව අරගෙන ආවා කියලා, ඒ කාලෙදි දුවෙක්ද? පුතෙක්ද? කියලා බලන්නත් බැහැනේ. ඉතින් කව්රු ලැබුණත් ඕනෑම කෙනෙක්ට කැමැත්තෙන් ඉඳලා තියනවා පළවෙනි දරුවා නිසා.

• අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා වයසට යද්දි දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද?

ලොකු දෙයක් හිතෙන්නේ නැහැ ඉතින්, හැමදාම සතුටින් ජීවත්වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉස්සරනම් උපන් දිනයක් එද්දි හරිම සතුටුයි ආසාවෙන් සමරලා තියෙනවා. නමුත් මෑතකදි අවුරුදු දෙකක් තුනක් වගේ මම උපන්දිනය සමරලා නැහැ. නමුත් මගේ යාළුවෝ එකතුවෙලා මාව වතාවන් කිහිපයකම සර්ප්‍රයිස් කළා. ඒ ඇරෙන්න විශේෂ දෙයක් මම කළේ නැහැ.

• ඒ කරපු සර්ප්‍රයිස් අතරින් මතකයේ රැඳෙනම උපන්දිනය?

මීට අවුරුදු දෙකකට විතර පෙරදි වගේ මගේ යාළුවෝ අමුතුම සර්ප්‍රයිස් එකක් දුන්නා. එදා පොසොන් පෝය දවසක්, අපි ඔක්කොම එකතුවෙලා අයිස්ක්‍රීම් දන්සැලක් දුන්නා. ඉතින් දන්සැලත් ඉවරවෙලා යාළුවෝ ටික රැග් එකකුත් එක්ක තමයි මට සර්ප්‍රයිස් එක දුන්නේ. එදා පෝය නිසා කඩ වහලානේ. ඉතින් කේක් ගන්න තැනක් තිබිලත් නැහැ. ඒ නිසා කට්ටිය පාන් ගෙඩියකුත් ගෙනල්ලා ඒකත් කපන්න තියලා මාව ගහක බැඳලා, පිටිවලින් නාවලා බිත්තර ගහලා, වතුර දාලා ඒවගේ දේවල් කරලා තමයි උපන්දිනයට සුභ පැතුවේ. එදා ඉතින් වෙන ඇඳුමක්වත් ළඟ තිබුණෙත් නැහැ. දන්සලට ඇඳගෙන හිටපු ඇඳුම විතරනේ තිබුණෙත්, නමුත් ඒ ළඟ යාළුවෙක්ගේ රෙදි සාප්පුවකට ගිහින් තමයි ඇඟත් සෝදගෙන වෙන ඇඳුමක් දාගෙන ගෙදරගියේ. ඇත්තටම හරි මිහිරි අත්දැකීමක් ඒ. උපන්දින සාදවලින් ලැබුනු සොඳුරු මතකයන්වලට වඩා වෙනස්ම සුන්දර බවක් ඒ උපන්දිනය දවසේ ලැබුණේ. 

• තරහ ගියේ නැද්ද ඒ රැග්වලට? 

අනේ නැහැ. යාළුවෝ ආදරේට, විනෝදෙට කරන දේවල්වලට එහෙම පොඩි තරහක්වත් එන්නේ නැහැ. අදටත් ඒ මතකය හිතේ තියනවා. සොඳුරුම දවසක් විදියට. 

• උදාරිගේ පළවෙනි උපන්දිනය ගැන මතකයක් තියෙනවද?

මගේ පළවෙනිම උපන්දිනය සමරන්න ලැබිලා නැහැ. මොකද එතකොට මගේ අම්මාගේ තාත්තා නැතිවෙලා මාස දෙකයිලු, ඒ නිසා සාද පවත්වලත් නැහැ. නමුත් දෙවැනි උපන්දිනයේ සිට හැම උපන්දිනයක්ම පුංචි කාලෙදි සමරලා තියෙනවා. 

• පාසල් කාලේ මතකයන් කොයි වගේද?

පාසලේදි හැම උපන්දිනයකටම මම කේක් ගෙනිච්චා. පාසල් ගියේ කොළඹ මියුසියස් විද්‍යාලයට ඉතින් පාසලේ මගේ යාළුවොත් එක්ක ඒ හැමදේම සුන්දර විදියට ඒ කාලෙදි සිදුවුණා. පාසලෙන් පසුවත් මගේ යාළුවෝ එක්ක පිටතදී සාදයන් පවත්වනවා. ඒ දේවල් ඉතින් හරි සුන්දරයි.

• රූගත කිරීමකදි උපන් දිනයක්, සාදයක් යෙදිලා නැද්ද?

මලී, අත්තම්මා ටෙලිනාට්‍ය රූගත කිරීම් කරද්දි උපන්දිනයක් යෙදුණා එක වතාවක, නමුත් ඒ කණ්ඩායම දැනගෙන හිටියේ නැහැ මගේ උපන්දිනය ගැන. ඉතින් මම කේක් අරන් ගිහින් පුංචි සාදයක් තිබුණා. ඒ ඇර විශේෂ දෙයක් වෙලා නැහැ. 

• ජුනි 17 දවසට ලැබෙන සුභපැතුම් කොහොමද?

උපන්දිනය දවස ලබද්දිම මට සුභ පැතුම් එකතු කරන බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ යාළුවෝ, ක්ෂේත්‍රයේ අය, නෑදෑයෝ ඒ වගේම මට ආදරය කරන රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ඒ අතර ඉන්නවා. ඉතින් ඒ ලැබෙන ආදරය සුභපැතුම් මට ගොඩක් වටිනවා. ඇත්තටම සතුටුයි ඒ විදියට සුභ පැතුම් එකතුවීම ගැන. මම ගොඩක් පිං කරලා තියෙනවා සහ ලොකු වාසනාවක් තියෙනවා කියලා හිතෙනවා.

• ඒ ආදරය කරන අයගෙන් තෑගිබෝග එහෙමත් ලැබෙනවා ඇති? ඒ අතරින් මතකයේ රැඳෙන තෑග්ගක් නැද්ද?

ඒ දවසට තෑගි ගොඩක් ලැබෙනවා. විශේෂයෙන්ම ගෙදර අයගෙන්. ඉතින් ඒ ලැබෙන වටිනාකමින් වැඩිම හෝ අඩු දෙයක් වුණත් ඒ හැමදේම මට ගොඩාක් වටිනවා ඒ වගේම යාළුවන්ගෙනුත් ගොඩක් දේවල් ලැබෙනවා. අවුරුදු අටක්, දහයක් තිස්සේ වගේ ගෙදරට තෑගි ලැබෙනවා මල් පොකුරු, කේක් වගේ දේවල්. නමුත් ඒ තුළ නමක් ගමක් සඳහනක් නම් නැහැ.  

• මෙවර කොයි විදියේ සැලසුමක්ද තියෙන්නේ?

දැන් අවුරුදු දෙක තුනක් වගේ ඉඳන් මම උපන්දිනය සමරන්නේ නැහැ. නමුත් යාළුවෝ එකතුවෙලා මම වෙනුවෙන් දෙයක් කරද්දි මම ඒ අයට පුංචි සාදයක් දෙනවා. නමුත් මේ වතාවේ රටේ පවතින තත්ත්වයත් එක්ක කොහෙත්ම උපන්දින සාද පවත්වන්නත් බැහැ. මට සාදයක් පවත්වන්න වුවමනාවකුත් නැහැ. ඒ මුදල්වලින් රටේ දුප්පත් ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන පවුල් කිහිපයකට උදව් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 

ධනු විජේරත්න