එච්චර දුරදිග ගිය කතා අපි අතර වුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ද ගේම්, ෆිල්ම් එක රිලීස් වෙනකම් මිනිස්සු බොහෝදෙනෙක් බලාගෙන හිටියා. ඒවගේම මාත් බොහෝම ආසාවෙන් බලාගෙන හිටියෙ. මොකද කිව්වොත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට මට ලැබුණු පළමු අවස්ථාව ද ගේම්. අද මේ දිනවල නම්, ඒ චිත්‍රපටයට ලැබෙන උණුසුම් පිළිගැනීම සහ සතුට එක්ක තමයි දවස් ගෙවෙන්නෙ. ඒ එක්කම අනෙකුත් බාරගත්ත වැඩ නිසා, ආයෙත් කාර්යබහුල වුණා’. ලස්සන පෙනුම වගේම ඊට එහා ගිය රංගන දක්ෂතාවයක් ඇති තරින්දි ප්‍රනාන්දු, ඒ විදියට අද අපට හමුවන මොහොතක, අද සඳැල්ල කවරය හැඩ කරමින් කතා බහට ආරාධනා කළේ ඇයටයි.

මේ දිනවල විකාශය කෙරෙන නාට්‍ය ගණනාවකත් තරින්දි රඟපානවා නේද?

ඔව්, නිවන්ත ප්‍රසාරගෙ ‘රැල්ල වෙරළට ආදරෙයි’ නාට්‍යයේ ‘කැතරින්’ නමින් චරිතයක් රඟපානවා. කැතරින් කියන්නෙ, ධීවර රැකියාව කරන වැල්ලෙ හැදි වැඩුණු ගැහැණු ළමයෙක්. ටිකක් සද්දෙන් කතා කරන, කටසැර ගැහැණු ළමයෙක්.

ඒ චරිතයට අමතරව?

VTV (වීටීවී) එකේ, රෝස සංධ්වනිය නාට්‍යයේ රඟපානවා. ඒ නාට්‍ය නිර්මාණය කළේ ගිවන්ත අර්ථසාද්. මගේ චරිතය හරිම ළදබොළඳ, ජීවිතය ගැන ඕනෑවට වඩා හිතන්නෙ නැති, ඉක්මණට දුක හිතෙන, සතුටු වන, බොහෝම සංවේදී චරිතයක්. එයාගෙ නම සුලෝචනා. සුලෝචනාගේ චරිතයට අමතරව අයිටීඑන් එකේ සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ ‘පිච්චමල සුවඳයි’ විකාශය වෙනවා, ඒකෙ මම කුසුමලතා. ඒක හරි ලස්සන කතාවක්. හැබැයි, කුසුමලතා කියන්නෙ අම්මා - තාත්තාටවත් කීකරු නැති අකීකරු චරිතයක්, නපුරු කෙල්ලෙක්. මේ චරිත තුනම එකකට එකක් හාත්පසින් වෙනස් චරිත.

මේ දක්වා රඟපෑ මේ චරිත එක්ක අද වන විට ඒ චරිතවලින් එහාට ගිහින් තරින්දිට තරින්දි ගැන දැනෙන්නෙ කොහොමද? අද තරින්දි මොන විදිහද?

අපි මේ චරිත තුන ගනිමු. යම් යම් අවස්ථාවලදී මේ චරිත තුනේ පොඩි පොඩි ලක්ෂණ මටත් තියෙනවා. ඇත්ත තරින්දි ගත්තොත් ගොඩාක් හැලහැප්පීම්වලට මුහුණදීලා, අභියෝගවලට මුහුණදීලා මේ දක්වා ආ ගමනේදී ශක්තිමත් වූ චරිතයක්. අද මම වඩා ශක්තිමත් කියලා කියන්න පුළුවනි. තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන හයිය කෙල්ලෙක්. මම අංගසම්පූර්ණයි කියලාම නෙවෙයි කියන්නෙ. ඕනෑම අභියෝගයක් බාරගන්න පුළුවන් තරමේ ශක්තිමත් චරිතයක්.

බැංකු රැකියාව කළේ නම් අද ඉහළ තනතුරක් දරන්න තිබුණා නේද?

ඇත්තෙන්ම ඔව්. එහෙම වුණා නම් ඉහළ නිලයක් දරන නිලධාරිනියක්. මම හිතන විදියට මම ඒ රස්සාව දාලා රඟපෑමට ආ නිසා මට පාඩුවක් වෙලා නැහැ. මට උරුම වෙලා තියෙන්නෙ කලා ක්ෂේත්‍රය වෙන්නැති. හැමෝටම ජීවිතේ ලියැවෙච්ච දෙයක් තියෙනවනෙ. මගේ ගමන කලාව වෙන්නැති. මම හදවතින්ම ඉන්නෙ කලාවෙ. ඉතින් මොන ක්ෂේත්‍රයක වැඩ කළත් මගේ ගමන කලාවෙ නතර වේවි. ඒ නිසා මම හරි තැනට ඇවිත්. බැංකු රස්සාවෙන් ඉවත්වීම එක්තරා දුකක්. මොකද ඒ රස්සාවටත් මම ආදරෙයි. ඒත් වඩා කැමති මේ ක්ෂේත්‍රය නිසා සතුටින් ඉන්නවා.

ගේම් නිසා සතුටින් ඉන්නෙ කියලා කිව්වනෙ, ගේම් චරිතය ගැන කියමු?

ද ගේම් චිත්‍රපටයේ මගේ චරිතයේ නම ගංගා, ඇය සමාජශාලාවක වෘත්තීමය රංගන ශිල්පිනියක්. ක්ලබ් ඩාන්සර් කෙනෙක්. ඒ වගේ චරිතයක් දිහා සාමාන්‍ය සමාජයේදී මිනිස්සු බලන්නෙ චරිතය හොඳ නැති කෙනෙක් විදියටයි. නමුත් ගංගා කියන්නෙ එයාගේ වෘත්තිය ක්ලබ් ඩාන්සර් කෙනෙක් වුණාට, එතැනින් එහාට ඉතාම හොඳ හැකියාවන් බොහොමයක් ඇති, මිනිස්සු එක්ක නිහතමානීව කටයුතු කරන යහපත් තරුණියක්. එතැනින් එහාට වෙන දේ ද ගේම් නරඹලා බලාගන්න පුළුවනි. සුරංග ද අල්විස් අයියා එක්ක කටයුතු කරන පළවෙනි අවස්ථාව තමයි මේ. සුරංග අයියා අධ්‍යක්ෂවරයකු ලෙස ඒ ගත්ත අවදානමට, ඒ කියන්නෙ සිනමාවේ මට ප්‍රධාන චරිතයක් ලබාදීම, මම ගරු කරනවා. අද වන විට, එයා ගත්ත ඒ තීන්දු තීරණවල රංගනයේදි අපි කළ කැපකිරීම්වල ප්‍රතිඵල අද තියෙනවා. මෙච්චර රටේ ප්‍රශ්න තියාගෙන රටේ මිනිස්සු ‘ද ගේම්’ නරඹන්න පැමිණෙනවා. ආදායම් වාර්තා ලබන නිර්මාණයක් බවට පත්වෙලා. අඩුම දින ගණනකින් වැඩිම ආදායමක් ලබපු වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ චිත්‍රපටය බවට පත්වෙලා.

ද ගේම් චිත්‍රපටයේ ඔබගේ පෙම්වතා ලෙස රඟපාන්නෙ රන්ජන් රාමනායක, කොහොමද ඒ අත්දැකීම?

ඒ අත්දැකීම හරිම සුන්දරයි. එතුමා වගේ ජ්‍යෙෂ්ඨයකු සහ ලංකාවේ සුපර්ස්ටාර් වෙච්ච ඔහු එක්ක රඟපාන්න ලැබීමම වාසනාවක්. සිනමාවට ආධුනික වූ මට සිනමාවේ ඔහුගේ පෙම්වතිය වීමම ලොකු අවස්ථාවක්. ඔහු එච්චරටම හොඳ කෙනෙක් වගේම අපිට සිනහව ගෙනෙන, අපිව සැහැල්ලුවට පත්කරවන නළුවෙක් කියලා දැනගත්තෙ දර්ශන තලයේදීයි. මම ඔහුට හරිම ගරු කරනවා. අපි සීරියස් ජවනිකාවට පෙනී සිටින්න ලැහැස්ති වෙද්දි, එයා අපිව හිනා ගස්වනවා. එතකොට හරිම අමාරුයි අපට ඒ මොහොතට එක පාරට එන්න. එයා හිනාව එක්කම ඉන්න අපූරු සුන්දර චරිතයක්. රන්ජන් රාමනායක මහත්තයා කියන්නෙ තමන්ගෙ පෙනුම ගැන, තමන්ගෙ ප්‍රතිරූපය ගැන, අභ්‍යන්තර සෞඛ්‍ය තත්ත්වය ගැන ගොඩාක් හිතන කෙනෙක්. මාත් ශාරීරික ව්‍යායාම් සහ ෆිට්නස්වලට යොමුවුණේ ඔහු නිසා ඔහුගේ අත්දැකීම් අනෙක් අයට ලබාදෙන්න කිසිවිටෙකත් කුහක නැහැ, හිත හොඳ චරිතයක්.

රන්ජන් කතා කරන ඒවා රෙකෝඩ් කරනවා, ඒ වගේ දේ සහ පසුගිය කාලයේදි එයා කළ කී දේ ගැන අහලා, රන්ජන් එක්ක කතාබහ කරන්න චකිතයක් ඇතිවුණේ නැද්ද?

ඇත්තටම එහෙම බයක් චකිතයක් ඇතිවුණේ නැහැ. කොහොමටත් දුරකථන සංවාදවලට යොමුවෙලා නැහැ. එතුමා සිනමාවේ ජ්‍යෙෂ්ඨයෙක්. චිත්‍රපටයෙ රූගත කිරීම් කාලයේදි එතුමා එක්ක අපි ඔක්කෝමලා ගත කළ කාලය හරිම සුන්දරයි. රඟපෑමේ කටයුතුවලින් හැර වෙන කතාබහ අපට තිබුණෙ නැහැ. එයා කොහොමටත් වෘත්තියේදී හරිම ප්‍රොෆෙෂනල්. රංගන ශිල්පිනියක ලෙස සහ කලාකාරියක ලෙස මගේ තත්ත්වය තියාගෙන ඉන්න එක ගැන එයා හරියට වර්ණනා කළා. චරිතවත්ව රංගන ශිල්පිනියක ලෙස ඉදිරියට යා යුතු විදිය ගැනත් මට උපදෙස් දුන්නා.

තරින්දිගෙ ආදරේ සහ ප්‍රේමය ගැන රන්ජන් ඇහුවෙ නැද්ද?

එච්චර දුරදිග ගිය කතා අපි අතර වුණේ නැහැ.

හරි අපි එහෙම නම් තරින්දිගෙ ජීවිතේ ගැන කතා කරමු? ඒ ජීවිතේ ආදරේ ප්‍රේමය තියෙනවද? මොනවද වැඩිපුර තියෙන්නෙ?

මගෙ අක්කයි, මගෙ තාත්තයි තමයි ජීවිතේ මට වැඩියෙන්ම ආදරේ. ඊට අමතරව අවංක යාළු මිත්‍රයින් කීපදෙනෙක්ම ඉන්නවා. ලොකු පිරිසක් නැහැ, ඒ ඉන්න පිරිස මට හරි ආදරේ. මගේ යාළුවන්ගෙන්, මගේ අක්කා සහ තාත්තාගෙන්, ඒ වගේම ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරය මට නොඅඩුව ලැබෙනවා. අම්මා ජීවතුන් අතර නැහැ, ඒත් කොහේ හරි ඉඳගෙන අම්මා මා දිහා බලාගෙන මට ආශිර්වාද කරනවා ඇති. අම්මා නැති අඩුව දෙවැනි අම්මා වී අක්කා මට ලබාදෙනවා. අම්මගෙ හීනය සැබෑ කරන දවස එතකොට අම්මා මා ළඟ නැහැ. මට තියෙන දුක ඒකයි.

තරින්දි විවාහයේදී බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආදරයක්ද? ප්‍රේමයක්ද?

විශේෂයෙන්ම විශ්වාසය, තේරුම් ගැනීම, අවබෝධ්‍ ය තිබිය යුතුමයි. මාව හිරකාරියක් කරගන්නෙ නැතුව මට නිදහස දෙන්න ඕනෑ. ඒ කියන්නෙ විශ්වාසය තිබෙන්නම ඕනෑ. වෙන දේවල් අවශ්‍ය නැහැ. ගරුත්වය කියන දේ තිබිය යුතුම දෙයක්. මා ගැන එයාට ගරුත්වයක් නැත්නම්, එතැන ආදරයකුත් නැහැනෙ. වෙන ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ