කිරි පුතා කියන්නේ මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'නාඩගම්කාරයෝ' ටෙලි නාට්‍යයේ 'කිරි පුතා' ලෙස වර්තමානයේ කවුරුත් දන්නා හඳුනන පසිදු විතානගේ මේ වනවිට ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබෙන යොවුන් රංගන ශිල්පියෙකි. ක්‍රමයෙන් රංගන ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙමින් සිටින ඔහු මේ දිනවල තවත් කලා කටයුතු බොහෝමයකට සම්බන්ධ වි සිටිනු දක්නට ලැබේ.  

අලුත් වැඩ කිහිපයකටම ඔබ දැන් සම්බන්ධ වෙලා තියෙනවා නේද?

ඔව්, 'නාඩගම්කාරයෝ' ටෙලි නාට්‍යයෙන් පස්සේ අලුත් වැඩ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නමුත්, රටේ වර්තමානයේ තියෙන වතාවරණයත් එක්ක ඒ ලැබුණ වැඩ ඔක්කොම අතරමඟ නැවතිලා තියෙනවා. ගොඩක්ම වෙලා තියෙන්නේ ඉන්ධන නොමැති වීම නිසා රූපගත කිරිම් කරන්න බැරි වෙලා තියෙන ප්‍රශ්ණය. 

'රාජිණි' කියන්නේ ඔබ දකින අලුත් ටෙලි නාට්‍යයක්?

ඔව්, දෙරණේ තමයි 'රාජිණි' විකාශය වෙන්නේ. ඒකේ වැඩ නම් මේ දවස්වල කේරිගෙන යනවා. 'රාජිණි' ටෙලි නාට්‍යය ගැන කිව්වොත් එහි මට රඟපාන්න ලැබුණේ වෙනස්ම විදිහේ චරිතයක්. මම හිතන්නේ 'නඩගම්කාරයෝ' ටෙලි නාට්‍යයෙන් මට යමක් කරන්න පුළුවන් වුණ වෙනස්ම චරිතයක් මේක කියලා.

'නාඩගම්කාරයෝ' රංගන දිවියේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරිද?

ඇත්තටම හරි. 'නාඩගම්කාරයෝ' කියන්නේ මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය තමා. හැබැයි මම කැමතියි ඒක රංගන දිවියේ නෙමෙයි මගේ මුළු කලා දිවියේම හැරවුම් ලක්ෂය වුණේ 'නාඩගම්කාරයෝ' හි 'කිරිපුතා' කියන චරිතය කිව්වොත් මම නිවැරදියි. ඒ අවස්ථාව ලබාදුන්න සද්ධාමංගල හා චේතනි විජේතුංග දෙපොළටම මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. මගේ ගුරුවරයා තමයි සද්ධා මංගල සූරියබණ්ඩාර කියන්නේ. ඒ වගේම තමයි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක ශීවගුරුනාදන් මහතාත් මට හැකි උපරිම සහය ලබාදුන්නා මේ චරිතය ඉතා හොඳින් කරන්න.

නළුවෙක් විදිහට දැන් පසිදු ස්ථාවර වෙලා තියෙනවාද?

ඒකට මට හරියටම උත්තරයක් දෙන්න බැහැ. මොකද මම තවමත් විශ්වාස කරන්නේ මම රංගනය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් කියලා. ඒ නිසා කිසිසෙත්ම මම නළුවෙක් විදිහට හදුන්වනවට කැමති නැහැ. ඒ හින්දා ඔබේ ප්‍රශ්නයට උත්තරය විදිහට මට කියන්න තියෙන්නේ තවමත් මම මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙලා නැහැ කියලා.

'කිරි පුතා' කියන චරිතය පසිදුගේ ජිවිතේට සමානද?

නැහැ. පසිදු කියන චරිතයට සමාන නැහැ. හැබැයි යම් යම් තැන් තියෙනවා සමාන වෙන තැන්. කිරි පුතා කියන චරිතය ගත්තොත් දුර බලලා වැඩ කරන අහිංසක තරුණයෙක්. ඒ වගේම තමන්ට තියෙන ප්‍රශ්ණ නිරකරණය කරගෙන ජිවිතේ ගැටගහගන්න උත්සාහ කරන කෙනෙක්. කිරි පුතා කියන්නේ ගැමි තරුණයෙක්. මමත් අනුරාධපුරේ මිහින්තලේ ගමේ උපන්න කෙනෙක්. ඒ හරහා යම් සමාන බවකුත් තියෙනවා කියලා කියන්න පුළුවන්.

බුද්ධික සේනාධීර