චරිතවලට කොටුවෙන්න කැමැති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකාවෙන් කලඑළි බහිමින් පුංචි තිරයේ ද තම රංග ප්‍රතිභාවයන් තුළින් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන නවක දක්ෂයින් අතර ඇය ටෙලි ප්‍රේක්ෂකාගාරය තුළ අපට මුණගැහෙන සුවිශේෂී චරිතයකි. චරිතාංග නිළියක ලෙස විවිධ වූ චරිත හරහා ප්‍රේක්ෂකාගාරයට ගොඩවෙන ඇය මේ දිනවල පාරදිගේ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරය හැඩ කරන ‘ඩාලිං අක්කා’ චන්දිමා කරුණාදාස සමඟයි අද කතාබහ.

‘ඩාලිං අක්කා’ පාරදිගේ ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් අතර බොහෝසෙයින් කතාබහට ලක්වෙන චරිතයක්. අපි ඩාලිං අක්කාගෙන්ම කතාව ආරම්භ කරමු.

ඇත්තටම ඩාලිං අක්කාට සුවිශේෂී ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. කටසැර චරිතයක් කරන පළමු වතාව මේක. ඩාලිං අක්කා කියන්නේ මේ සමාජයේ අපට නිතර මුණගැහෙන වෙරළබඩ පරිසරයක ජීවත්වෙන චරිතයක්. ඩාලිං අක්කාගේ චරිතයට මට ආරාධනා ලැබුණම ඒ පරිසරයත් එක්ක චරිතයට හැඩගැහෙන්න මට ලොකු කාලයක් ගියා. ඩාලිං අක්කා වෙනුවෙන්ම මට ගොඩක් දේවල් වෙනස් කරගන්න වුණා. අඳින පළඳින විදිහ හැසිරීම් ගොඩක් අධ්‍යයනය කරන්න වුණා. මොකද සාමාන්‍ය ජීවිතේ බොහොම නිහඬ චරිතයක්. මේ වගේ කෑගහලා පළාතම හොල්ලගෙන ඉන්න චරිතයක් දුන්නාම මුලදි පොඩි බයකුත් දැනුනා. මේක මට කරගන්න පුළුවන් වේවිද කියලා. 

ඒ වෙනස්ම අත්දැකීමේ රසබර සිදුවීම් එහෙම නැද්ද?

පාරදිගේ දර්ශන තලයේ ගත කරන සෑම තත්පරයක්ම බොහොම රසබරයි. ඒ වැඩේ දුෂ්කරයි, කටුකයි හැබැයි හරිම රසබරයි. සමහර කෑගහලා රණ්ඩු වෙන්න තියෙන දර්ශන මටම දරාගන්න අමාරු වුණ අවස්ථා තියෙනවා. කෑගහන රණ්ඩු වෙන දර්ශනවලට පුරුදු වුණේ හරිම අමාරුවෙන්. මට මුලදි මේ චරිතය කරගෙන යනකොට අපහසුතා. දැනෙන හැම අවස්ථාවකදීම අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එදා රූගත කිරීමක දී මට මතකයි රණ්ඩු වෙද්දි වොල්ගාගේ (ටුටුගේ) ඇසට මගේ ඇඟිල්ල වැදුනා. වොල්ගා ඇහැ බදාගෙන වාඩි වුණාම අනේ මං එදා හරියට බය වුණා.

ඔබ එකිනෙකට වෙනස් චරිත හරහා තමයි නිරතුරුවම දකින්නට ලැබෙන්නේ. නිර්මාණකරුවන් ඔබට මේ දෙන අවස්ථා ගැන සෑහීමකට පත්වෙනවද?

මම කොහොමත් එකම චරිතවලට කොටුවෙන්න කැමති කෙනෙක් නෙමෙයි. එකම වගේ චරිත වගේම මට කරන්න දෙයක් නැති චරිත මම බාරගන්නේ නැහැ. කොච්චර ආරාධනා ලැබුණත් ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්නම් විතරයි මම චරිත භාර ගන්නේ.

ඒත් වර්තමානයේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඒ ප්‍රතිපත්තියේ ඉන්න පුළුවන්ද?

දැන් ලංකාවේ තියෙන ආර්ථික රටාවන් එක්ක වෘත්තිය මට්ටමින් රංගනය කරන්න අමාරුයි. මේක වෘත්තියක් විදිහට කරනවනම් ආර්ථිකය පැත්තෙන් හිතලා ලැබෙන හැම නිර්මාණයක්ම කරන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මම ඒ තැනට පත්වෙන්න කැමති නැහැ. නිතර පෙනෙන්න ඉන්න නිළියක් වෙනවට වඩා ප්‍රේක්ෂක මතකයේ රැඳෙන එක නිර්මාණයක් කළත් මට ඇති. රංගනයට අමතරව මම රාජ්‍ය සේවයේ රැකියාවක නියැලෙනවා.

ඔබේ ගමනට වේදිකාවෙන් ලැබුණු පන්නරය කොයි වගේද?

වේදිකාව කියන්නේ රංගනයට එන ඕන කෙනෙකුට හැදෙන්න හොඳම තැන. වේදිකාවෙන් මට ලැබුණු ඒ පුහුණුව මට පුංචි තිරයේ කැමරාව ඉදිරියට එද්දි විශාල පන්නරයක් වුණා. වේදිකාවේ රංගනයට එක්වූ කෙනෙක්ට අනෙක් මාධ්‍යයන් තුළ හැසිරීම අපහසු නැහැ.

එහෙත් වර්තමානයේ වේදිකාවෙන් එන බොහෝදෙනාට ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියවීමත් එක්ක වේදිකාව මගඇරෙනවා. ඔබටත් දැන් වේදිකාව මගඇරිලා නේද?

ඒ කාරණය ඇත්ත. වේදිකාව කියන්නේ කැප කිරීම් කරන්න ඕන තැනක්. වසර 2 ක්ම කොරෝනා වසංගතය එක්ක වේදිකාව වැහිලම ගියා.  වේදිකාවේ තියෙන වගකීම් සම්බාරයත් එක්ක පුංචි තිරයේ වැඩ කටයුතු කරගෙන යද්දි වේදිකාවේ යම් අවස්ථා ඇත්තටම මඟ ඇරෙන්න පුළුවන්. 

චන්දිමාගේ කලා ජීවිතේ ආරම්භය විශ්වවිද්‍යාලය ද නැත්නම් පාසල ද?

පාසල් කාලේ නාට්‍ය හැදෑරුවට වේදිකාවට එන්න අවස්ථාව ලැබෙන්නේ විශ්වවිද්‍යාලයෙන්. හැබැයි ඉස්කෝලේ කාලේ මම හරිම ලැජ්ජයි. ඒ කාලේ වේදිකාවට නගින්නත් පොඩි චකිතයක් තිබුණා. මගේ පාසල පූනෑව මහා විද්‍යාලය සහ මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේ මට නාට්‍ය කලාව ඉගැන්වූ ගුරුභවතුන්ට ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ මගේ නාට්‍ය ගුරුවරයා වුණු ප්‍රියංකර රත්නායක සර් විශේෂයෙන් මතක් කරනවා. ඒ අයගේ ගුරුහරුකම් මැද්දේ තමයි මම මේ ගමන ආවේ. මේ වෙනකොට මම නාට්‍ය හා රංගකලාව විශේෂ උපාධිය වගේම ශාස්ත්‍රපති උපාධියත් අවසන් කරලා ඉන්නේ. විශ්වවිද්‍යාල වේදිකාවෙන් ආරම්භ කරපු කලා ගමන මේ තරම් දුරක් එන්න ලැබේවි කියලා හිතුවේ නැහැ. 

ඔබේ අලුත්ම නිර්මාණය ‘පාර වසා ඇත’ ඒ ගැනත් කියමු.

සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ සහ ශිවගුරුනාදන් මහතාගේ අලුත්ම නිර්මාණය ‘පාර වසා ඇත’. ටෙලි නාට්‍යයේ සඳමිණිගේ චරිතය මම පෞද්ගලිකව ගොඩක් ප්‍රිය කරන චරිතයක්. දැනට රූගත කිරීම් කරගෙන යනවා. අනුර ප්‍රේමරත්න මහතාව මේ වෙලාවේ මතක් කරනවා. ඔහු තමයි මුලින්ම ශිවගුරුනාදන් මහත්මාට මාව හඳුන්වලා දුන්නේ. නැත්නම් ශිවා අයියලා එක්ක මට වැඩකරන්න ලැබෙන්නේ නැහැ.

නදීශා අතුකෝරළ / ඡායාරූප -  සජීව ලක්ෂාන්