දුවන්න දෙන්න බෑ කියද්දිත් ලේ පෙරාගෙන මම දිව්වා

දුප්පත්කම......ජීවිතය හුඟාක් මිනිස්සුන්ට එක එක විදිහට රිදවලා ඇති....ඒත් ජිවිතයේ අසීරුම කාර්තු සීරුවෙන් දරාගෙන ජීවිතය කියන මහ ගහේ අතු අගිසි අගිසි ගාණේ මල් ඇහැරවන්න පුළුවන් මිනිස්සු අපරාජිත මිනිස්සු....රයන් වැන් රෝයන් එයාගෙ ජීවිතයේ එක මතකයක් මෙහෙම අවුස්සද්දී මට හිතුණෙ එහෙම
" ඒ කාලෙ අපි හරි දුප්පත්.මම ගියෙත් දුප්පත් ඉස්කෝලෙකට..මම sports වලට පුංචි කාලෙ ඉඳන් දක්ෂයි..මම දුවලා දුවලා සමස්ත ලංකා ආවා.එදා ලොකු පොහොසත් ඉස්කෝලවල ළමයි වටිනා සපත්තු දාගෙන දුවන්න ඇවිත්.මට එහෙම සපත්තු නැති නිසා දුවන්න දෙන්න බෑ කීවා.මගෙන් ඇහුවා ඇයි සපත්තු අරගෙන ආවෙ නැත්තෙ කියලා.මම කීවා සල්ලි නැති නිසා කියලා.මාව තරගයෙන් අයින් කරන්න යද්දි මම කොහොම හරි කියලා දුවන්න ඉල්ලා ගත්තා.එයාලා කීවා අවසර දෙන්නම් හැබැයි මේ රබර් මැට් එකේ දුවද්දී යටිපතුල් තුවාල වෙන්න පුළුවන් කියලා.මම ඒත් දිව්වා. සපත්තු නැතුව දුවද්දී යටිපතුල් තුවාල වෙලා ලේ ගලද්දිත් මම දුවලා champion වුණා.මම දැක්කා තාත්තා පැවිලියන් එකේ අස්සක හැංඟිලා වගේ ඉඳගෙන ඉන්නවා.මම දුවලා ගිහින් නතර වුණේ තාත්තා ගාව.තාත්තා අඬද්දි මම තාත්තාව බදාගෙන ඇඬුවා.අද මම කාට හරි බඩගින්නට කෑම එකක් අරන් දෙද්දිත් ඒ දුප්පත්කම් මට මතක් වෙනවා...."
ජීවිතය තියෙන්නෙම සොයන්න සහ දිනන්න...රයන් මෙහෙම කියද්දී මට හිතුණෙ එහෙම





