මේක මම බාර ගත්තෙම තවත් චරිතයක් කියන මතයෙ ඉඳලා විතරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ සුනිල් ටී. ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය, රසික ජිනසේන නිෂ්පාදනය කළ ‘රහස් කියන කඳු’ මේ දිනවල තිරගත වෙනවා. මේ වනවිට ජාත්‍යන්තර උළෙල කීපයකදී සම්මාන ලබා ඇති මේ සිනමා නිර්මාණය ඔබ දකින බොහෝ නිර්මාණවලට වඩා වෙනස් එකක් හැටියට හඳුන්වන්න පුළුවනී. ඒ වෙනස මොන වගේද කියා දැක බලා ගැනීමට නම් ඔබට මේ රහස් කියන කඳු’ නැරඹීමට සිදු වෙනවා. ඉතින් එය නරඹා විනිශ්චය කිරීම ඔබට පවරා මේ සූදානම් වන්නේ එහි චරිත රංගනයකට එක්වූ ආලෝකා ගයාත්‍රි සමග පිළිසඳරක යෙදීමටයි. ඇය රඟපාන චරිතයට අනුව ප්‍රකාශ වන්නේ මනුෂ්‍යත්වය නැති අය අතර මනුෂ්‍යත්වය ඇති කාන්තාවකගේ චරිතයකි. ‘රහස් කියන කඳු’ සිනමා නිර්මාණයට අනුව ඇයගේ භූමිකාව ඉතා කෙටිය. එහෙත් ඒ කාල සීමාවේදී රංගනයෙන් ඇය ලබාදී ඇති දායකත්වයේ තරම මොන වගේද කියා  ප්‍රේක්ෂකයින්ට දැනේවි. 

අලෝකා සම්පූර්ණ නම සඳහන් කළොත්?

ආලෝකා ගයාත්‍ර ඒකනායක. 

ඔබ ගැන කිව්වොත්? 

මගේ විෂය වෙලා තියෙන්නේ වේදිකා නාට්‍යය. නැසීගිය සෝමලතා සුබසිංහ මහත්මියගේ Play House ආයතනයේ සිසුවියක්. 

ඒ කියන්නෙ බොහෝ දෙනෙක් ඔබ ගැන දන්නෙ වේදිකා නාට්‍ය නිසා? 

එහෙම කිව්වොත් හරි.

වේදිකාවේ ආ ගමන ගැන සඳහන් කරන්න කැමතිද? 

ප්‍රියංකර රත්නායක මහතා යටතේ වැඩමුළුවකට සම්බන්ධ වුණා. ඉන්පසුව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමා එකක් කළා. සෝමලතා සුබසිංහ මහත්මියගේ  Play House ආයතනයට සම්බන්ධ වුනේ ඉන් පසුවයි. 
කෞෂල්‍යා ප්‍රනාන්දු සහ ප්‍රසන්න මහගමගේ යන ප්‍රවීණයින් යටතේ රංගනය හැදෑරුවා.  මෑතකදී චමිල ප්‍රියංකර යටතේ රංගන වැඩමුළුවකට සම්බන්ධ වුණා. ඒ විදියට කටයුතු කරමින් සිටි අතරවාරයේදී කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ‘දුටු තැන අල්ලනු’ වේදිකා නිර්මාණයට දායක වීමට අවස්ථාව ලැබුණා. සෝමලතා සුබසිංහ මහත්මියගේ විකෘති ඇතුළු ළමා නාට්‍යවලත් රඟපානවා. 

නාට්‍ය කලාවට හිත ගිය විශේෂත්වය?

ආසාව තමයි. 

ඉගෙනීමේ තිබූ අරමුණ මොකක්ද? 

පාසල් ගියේ කෑගල්ලෙ. ඉගෙනීම් කටයුතු කරගෙන ගියා. උසස් පෙළින් පසුව මානව සම්පත් අංශයේ ඉගෙනීම් එහෙම කළා. ඉන්පසු තමයි නාට්‍ය විෂය හදාරන්න පටන් ගත්තෙ. 

ආලෝකා මොන විදියෙ කෙනෙක්ද? 

හරිම සාමාන්‍යයයි. නිතරම හිනාවෙල ඉන්න කාටවත් කරදරයක් නැතුව ඉන්න උත්සාහ ගන්න කෙනෙක්. 

අද වෘත්තිය? 

නාට්‍ය වේදිකාව ප්‍රමුඛ රංගන කටයුතු. 

වේදිකාවේදී ආලෝකා ගැන වැඩි පිරිසගෙ ඇස යොමුවුණේ? 

දුටුගැමුණු නාට්‍යයේ චරිතය සහ චමිල ප්‍රියංකර මහතා කළ ජංගල් නාට්‍යයේ රඟපෑවා. ඒ ගැන කතා වුණාය කියලා හිතනවා. නාට්‍ය වේදිකාවට මම ආවේ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගෙ දුටු තැන අල්ලනු නිර්මාණයෙන්. මා ගැන කතා කරන්න පටන් ගත්තෙත්. විකෘති, ඔරස්ට්‍රස්, පුංචි අපට දැන් තේරෙයි සහ තොප්පි වෙළෙන්දා සහ වලස්පවුල, ජංගල් යන නාට්‍යවල රඟපෑමෙන් පසු. 

ටෙලිනාට්‍ය රංගනය? 

කෝරලගේ සමන් මහතාගේ නිර්මාණයක රඟපෑවා. එය විකාශයට නියමිතයි. කෙටි චිත්‍රපටවල රඟපාලා තියෙනවා. ඊට අමතරව ගින්නෙන් උපන් සීතල, ගාඩි සහ ඉලංගෝරුම්ගෙ ‘නෙළුම් කුලුන’ චිත්‍රපටයේ රඟපෑවා. 

අපි කතා කරමු ‘රහස් කියන කඳු’ ගැන. මේ ෆිල්ම් එක ඔබට දැනෙන්නෙ කොහොමද? 

සිනමා කෘතියක් විදියට විවිධ වර්ගයේ විවිධ රිද්මයන් රැගත් නිර්මාණවල අපි රඟපානවා. මේ ෆිල්ම් එක මිනිසුන්ගේ අත්දැකීම් හා සම්බන්ධ වූ නිර්මාණයක් විදියටයි මට දැනෙන්නෙ. ඒ චරිත දිහා බලද්දී මට ඒ අත්දැකීම් නැතත් මට කලින් පරම්පරාව අත්විඳි දේ සහ පරම්පරා කීපයක මිනිස්සු අත්විඳි කතාවල එකතුවක් ප්‍රකාශ වීමක් කියලයි මට හිතෙන්නෙ.  

මෙහි රඟපාන චරිතය දිගු   නොවුවත් ලාංකීය සමාජයේ හැටියට ඔබ රඟපාන්නෙ අභියෝගයාත්මක චරිතයක්? මොකද හිතෙන්නෙ? 

අභියෝගාත්මක කියලා හිතුවෙ නැහැ. ඒක තවත් චරිතයක් විදියටයි මම බාර ගත්තෙ. ඒ පිටපතට සාධාරණයක් කරන්න ගත් උත්සාහයක් මිසක ඒ විදියට රඟපෑම ගැන සමාජය හිතන විදිය ගැන හිතලා රඟපාන්න මට ඕනෑ වුනේ නැහැ. 

ඒ චරිතයේ ස්වරූපය අනුව ඔබට ඇඳුම් අඳින්න ලැබිලා තියෙන විදිය, සිරුර නිරාවරණය වීම වැඩියි. ඒ ගැන දෙවරක් හිතන්න අවශ්‍ය වුණේ නැද්ද? 

මෙහෙමයි චරිතයට සාධාරණයක් කිරීම සහ මේ සිනමා නිර්මාණයට සම්බන්ධ කණ්ඩායම එක්ක වැඩ කරන්න මට තිබුණෙ ලොකු කැමැත්තක්. 

ඇයි ඒකට හේතුව? 

කලින් මම නාමල් ජයසිංහගෙ පිටපත් දැකලා තියෙනවා. ජගත් මනුවර්ණගෙ නිර්මාණ දැකලා තියෙනවා. ඔවුන්ගෙ නිර්මාණ සුසංයෝගයට වගේම. මේ පිටපත මට වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීම ගන්න කැමති වුණා. 

මෙතෙක් නැරඹූ අයගෙන් ලැබූ ප්‍රතිචාර? 

ප්‍රතිචාර නම් හොඳයි. කොහොම වුණත් මේක මම බාර ගත්තෙම තවත් චරිතයක් කියන මතයෙ ඉඳලා විතරයි. 

නිර්මාණය වන චිත්‍රපට අතර මේ චිත්‍රපටය වෙනස්ම විදිහෙ එකක්. අද කාලයට ගැලපීමට හේතුව ලෙස ඔබ දකින්නෙ? 

ලෝකෙ සෑම තැනම හැදෙන ෆිල්ම්ස් අපි නරඹනවනෙ. ඒවාට සාපේක්ෂව අද බොහෝ දෙනා කැමති වෙනස්ම විදිහේ නිර්මාණ නැරඹීමට. ඒ විදියේ වෙනස් චිත්‍රපටයක් තමයි රහස් කියන කඳු. 

ෆිල්ම් එකෙන් එහාට ගිහින් ඔබ දකින ආදරය කියන මාතෘකාව ගැන කොහොමද කතා කරන්න පුළුවන්? 

සෑම ජීවයක්ම ඇති වෙන්නෙ සහ පවතින්නෙ ආදරය කියන සාධකය නිසයි. මනුෂ්‍ය වර්ගයාට විතරක් නෙවෙයි. ගහ කොළට සහ ස්වභාව ධර්මය විසින් මැවූ සියල්ලට ආදරය අවශ්‍යම සාධකයක්. 

කාන්තාවක් තරුණියක ලෙස මේ සමාජයේ කොහොම ජීවත්විය යුතුයි කියලද හිතන්නෙ? 

තරුණියක්, කාන්තාවක් කියලා නෙමෙයි, මනුෂ්‍යයකු ලෙස තවත් මනුෂ්‍යයකුට කිසිම කරදරයක් නොවී ජීවත් විය යුතුයි. 

එතකොට විවාහවීම සහ විවාහයට ඔබගේ තියෙන ආකල්පය?

සමහර අය විවාහ වෙන්න කැමතියි. ඒ වගේම සමහර අය විවාහයට අකමැතියි. තමුන්ට ඒ විවාහය අවශ්‍යම නම් එය කළ යුතුයි. හැබැයි විවාහය කියන දේ මනුෂ්‍යයකුට අනිවාර්ය සාධකයක් නෙවෙයි. 

ජීවිතය, සතුට සැහැල්ලුව ගැන හිතන විදිය?

මේ ජීවිතයට මම නම් හරිම ආසයි. ජීවිතයේ සතුට සැහැල්ලුව තියෙන්නෙ තමා සතුවයි. එය විය යුතු විදිය තීරණය කළ යුත්තේ තමුන්මයි. 

සඳුන් ගමගේ

ඡායාරූප - ශාන් නිසංසල