මගේ ජීවිතයේ මෙතෙක් කළ කී දේ ගැන සතුටු වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය නිතරම රංගනයෙන් දැකගැනීමට ලැබෙන ශිල්පිනියක් නොවෙයි. එහෙත්, ඉඳහිට හෝ ඇය රඟපාන චරිතය ප්‍රේක්ෂක – මතකයේ රැඳවීමට තරම් දක්ෂ චරිතාංග රංගනයක යෙදෙන ශිල්පිනියකි. එදා සඳගල තැන්නේ ‘සඳා’ වූ ඇයට බොහෝ දෙනා අදටත් අමතන්නේ සදා යනුවෙනි. එහෙත් ඇයගේ සැබෑ නම හිමාලි සිරිවර්ධනය. විකාශය කෙරෙන ගගන පියවර සහ ළංවී නාට්‍යයේ රඟපෑම් සමග කාලයකට පසුව හමුවන හිමාලි සිරිවර්ධන සඳැල්ලට ආ මොහොතකි මේ.

හිමාලි කලින්, කළට තමයි එන්නේ. ඒ කියන්නෙ, නිතරම රඟපාන්න එන්නේ නැහැ නේද?

එහෙම දෙයක් නොවෙයි. බබා හම්බවුණාට පස්සේ මම පෙරට වඩා මහත් වුණා. ඒ පාරත් බබාට අවුරුදු තුනක් වෙනකල් මම රඟපාන්න ගියේ නැහැ. ඊට පස්සේ තමයි ආපහු රඟපාන්න පටන් ගත්තෙ. ඒත් රටේ පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් -  ප්‍රශ්න එක්ක හිතපු විදියට නිර්මාණවලට දායක වෙන්න බැරි වුණා. මේ දිනවල අයි.ටී.එන්. එකේ විකාශය කෙරෙන ‘ගගන පියවර’ නාට්‍යයේ රඟපෑවෙ ඒ විදියට ආයෙත් රඟපෑමට ආ මුල් අවස්ථාවේදීයි.

අදටත් හිමාලි සිරිවර්ධන ගැන කතා වන්නේ මොන චරිතය නිසාද?

සඳගලතැන්නේ ‘සඳා’ තමයි ඉතින් හැමදාටම.

සඳගල තැන්නෙන් පසුව?

ඊට පසුව නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වුණා. ගගන පියවර නාට්‍යයේ සම්පූර්ණ රූගත කිරීම් තවම ඉවර නැහැ. ‘ළංවී’ ටෙලිඩ්‍රාමා එකේ මවකගේ චරිතයත් රඟපානවා. ඒ නාට්‍යයත් මේ දිනවල විකාශය කෙරෙනවා.

ගගන පියවර නාට්‍යයේ චරිතය මොන වගේද?

ඒ චරිතයේ නම මාලනී. ඈත ගම්මානයක කතාවක්. තාත්තා නැතුව මව සමග තමයි මාලනී හැදීවැඩුණෙ. එයාලා කරන්නෙ ‘මීකිරි’ වෙළඳාම. මී හරක් බලාගන්නෙ ජාලිය. එයත් ඒ ගමේම කෙනෙක්. ජාලියට ඕනෑ වෙන්නේ දියුණු වෙන්න. ඒ අරමුණ ඇතිව එයා කොළඹට එනවා. ඉන්පසුව එයාගෙ වෙනස්වීම මොනවගේද කියලා දැකගන්න පුළුවනි. මාලනී විවාහ කරගත්තත් ඒ ගැන නොකියා කොළඹදී තව කෙනෙක් එක්ක එයා විවාහ වෙනවා. ඊට පස්සේ මාලනී මුහුණ දෙන විදිය සහ කතාව ගලා යන හැටි ඉදිරියේදී දැක ගන්න පුළුවනි.

මාලනී ට ප්‍රතිචාර  කොහොමද?

මාලනී ට නම් හොඳ ප්‍රතිචාර තියෙන්නෙ. ‘ළංවී’ නාට්‍යයේ කතාව වෙනස්. ඒ නිසා චරිත දෙකට ලැබෙන ප්‍රතිචාරත් දෙවිදියක්. ඒකේ දර්ශන තලය හරිම ලස්සනයි. සුන්දර පළාත්වල රූගත කළ නාට්‍යයක්. ඒත් මිනිස්සු මාව දකින්න කැමති මාලනී වගේ චරිත වලින්. මාත් පුද්ගලිකව මට යමක් කරන්න පුළුවන් චරිත ලැබෙනවට කැමැතියි. කාලයකට පසුව ‘ගගනපියවර‘ නාට්‍යයේ රඟපෑමට ගියාම මට මතක් වුණේ ‘සඳගලතැන්න’ ගැමි පරිසරය ඇයි දැන් අම්මගෙ චරිතය රඟපාන්න බාර ගන්නෙ කියලත් සමහරු ‘ළංවී’ නාට්‍යයේ චරිතය නිසා මගෙන් අහනවා.

හිමාලිගෙ ගෙදර ජීවිතේ කොහොමද?

ඉස්සර තරමට සරල නැහැ. බබාගෙ වැඩ, ගෙදර වැඩ, පුතා දැන් පෙර පාසල් යනවා. ඉතින් ඒවාටත් මගේ දායකත්වය දෙන්න ඕනෑ. සැමියා එයාගේ රාජකාරි එක්ක බොහෝම කාර්ය බහුලයි. ඒ නිසා මගේ වගකීම් ඉටු කරන්න වෙනවා. වගකීම් වැඩි වුනාම පුතා එක්ක, ගෙවන ජීවිතය සුන්දරයි.

හිමාලි මුලින්ම බොහෝ දෙනා ඔබ ගැන දැන ගන්නෙ ඔබගේ නර්තන කණ්ඩායම නිසයි. දැන් කෝ ඒ නර්තන වැඩ කටයුතු කරන්නේ නැද්ද?

කොහොමටත් මම ඒ වැඩ වලින් ඈත් වුණේ ‘බබා’ ලැබෙන්නත් පෙරදියි. මගෙත් එක්ක හිටියෙ යොවුන් වයසේ ශිල්පිනියන් පිරිසක්. ඉතින් ඒ අය පරිස්සම් කරගෙන නර්තන කණ්ඩායමක් පවත්වාගෙන යාම ලොකු වගකීමක්. අපේ නර්තන කණ්ඩායමෙන් නම රැකගෙන අපි ඒක ලස්සනට පවත්වාගෙන ගියා. නර්තනාංග නිර්මාණය වගේම, ඇඳුම් නිර්මාණ සියල්ල වුණේ මගේ අතින්. ඒ කැපවීම කළ නිසා තමයි සෙන්ෂේෂන් (Sensation) නමට අදටත් ඉල්ලුමක් තියෙන්නෙ. වගකීම් ගන්න බැරි නම් අපි ඒ වැඩ බාර ගැනීම කළ යුතු නැහැ. ඉතින් ඒ නිසා තමයි බබා ලැබුණට පසුව සහ රටේ ඇති වූ ප්‍රශ්න එක්ක ප්‍රසංග කෙරුණෙත් නැති නිසා. නර්තන කණ්ඩායමේ වැඩ නතර කළේ. කොහොම වුණත් නර්තනයට එදත් - අදත් - හෙටත් මම ආදරෙයි.

රඟපෑම්වලට නිදහස තියෙනවාද?

මෙහෙමයි, දැන් බබා ටිකක් ලොකුයි, තේරෙන වයස. ඉතින් මට ගෙදර වැඩට සැමියා සහ ගෙදර අයගෙන් උදවු ලැබෙනවා. මම නැති වෙලාවට බබා බලාගන්නෙ මගේ අක්කා. ඉතින් ඒ නිසා කාලය කළමනාකරණය කර ගන්නෙ හරි පරිස්සමින්. දැනට නම් ඒ නිසා ගැටලුවක් නැහැ. මගේ සැමියා ෂෙනාස් ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක්. ඒනිසා මට වෘත්තීය ජීවිතේ වැඩ කටයුතුවලට ලොකු පහසුවක්. ඒ නිදහස උපරිමයෙන් එදා ඉඳලා ලැබෙනවා. එයාගෙන් ලොකු සපෝට් එකක් ලැබුණත් පුතාගෙ වැඩවලට තමයි මගේ සම්පූර්ණ කැපවීම තියෙන්නෙ. අපි විවාහ වෙලා වසර 14 ක් වෙනවා. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබීම ඇත්තටම සතුටක්.

රංගනය, නර්තනය, මේ විෂයයන් දෙකෙන් වඩා කැමති?

ඉස්සෙල්ලා කිව්ව විදියට නර්තනයට තමයි. අදටත් නර්තනයත් මම තනියම හරි මොනවද කරන්න ඕනෑ කියලා හිතනවා. ඒත් රටේ තියෙන ප්‍රශ්න නිසා ඒ වැඩ කල්දාන්න වෙනවා. නර්තන ශිල්පිනියට තමයි මම වඩා කැමති සහ ආදරේ.

ගෘහණියක් විදියට කොහොමද?

ගෙදර වැඩ ටික කරන්න නම් මගේ අක්කගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. එදා ඉඳලාම ඒ සහයෝගය මට එයාගෙන් ලැබුණා. ඇය නොසිටින්නට අද මම මෙච්චර දුර ගමනක් එන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයෙත් නැහැ. එදා වගේම මට උදවු කරගෙන හෙවනැල්ල වගේ මගේ ළඟින් ඉන්නෙ ඇයයි. ඒ නිසා මගේ වැඩ කටයුතු පහසු වෙලා. අක්කා රචිකාවියක්. ඇයගෙ නම ඉරෝෂිනී සිරිවර්ධන.

අද මේ කළ කී සියල්ල දිහා ආපසු විපරම් කර බලද්දී හිමාලිට මොනවගේ සිතිවිලිද ඇති වෙන්නෙ?

මගේ ජීවිතයේ මෙතෙක් කළ කී දේ ගැන සතුටු වෙනවා. ක්ෂේත්‍රය දිහා බලද්දී එදාට වඩා වැඩ කටයුතු ටිකක් විතර සංකීර්ණ වෙලා. යම් කිසි මට්ටමකට මට පුද්ගලිකව සතුටක් දැනෙන්නෙ. කාලයක් නැතුව ඉඳලත්, ආයෙත් ආවාම ලැබෙන ප්‍රතිචාර එදා වගේම නිසයි. කාලයක් පේන්න නැතුව ඉන්නකොට සාමාන්‍යයෙන් වෙන්නෙ රසිකයින්ට අමතක වෙන එක. ඒත් මට එහෙම වුණේ නැහැ. ඒ ආදරය පිළිගැනීම  අදටත් ලැබෙනවා. ඒක ඇත්තටම ලොකු සතුටක්. ඒ දේවල් හරි වටිනවා. මාත් ඒ මිනිසුන්ට හරි ආදරෙයි. ඉතින් මෙතෙක් ආ ගමනේදී සමහර තැන්වලදී හිත් රිදීම් වෙලත් තියෙනවා.

ඒ මොනවගේ දේ නිසාද?

ඒවා සාමාන්‍ය දේවල්. මට විතරක් නෙවෙයි. බොහෝ දෙනාට ඒ වගේ දේ වෙනවා. එක් අවස්ථාවක් මම කියන්නම්. මගේ සැමියා සේවය කරන්නෙ විද්‍යුත් මාධ්‍ය ආයතනයක. ඒ නිසා අනෙක් චැනල් වලින් මාව සමහර වැඩ සටහන්වලට නොගත් අවස්ථා තිබුණා. ඒ වගේ අවස්ථාවලදී නම් ටිකක් දුක හිතුනා. මම කියන්නෙ එක්කෙනෙක්. සැමියා තව කෙනෙක්. අපි දෙන්නගෙ වෘත්තීන් දෙකක්. ඉතින් ඒ විදිහට කිරීම අසාධාරණයි. ඒ හැරෙන්න මේ ක්ෂේත්‍රයේ සිටීම ගැන  හරි සතුටු වෙනවා.

සඳුන් ගමගේ