මටත් හොරෙන්’ ආවේ මටත් හොරෙන් - ගුවන්විදුලිය අරලිය සෙවණ රසකතා සාගරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑතක් වනතුරුම අපේ රටට තිබුණේ එකම එක ගුවන්විදුලි සේවයකි.
වසර සියයකටත් වඩා වැඩි ගුවන්විදුලි සංස්ථාව ඇසුරේ හැදුණු වැඩුණු ශිල්පීන් සතුව බොහෝ රසබර මතකයන් ඉතිරිව ඇත්තේය මේ මතක සටහන් අතරට ගුවන්විදුලිය ඉදිරිපිට ඇති “අරලිය සෙවණ” ද සම්බන්ධ වන්නේ බොහෝ දෙනෙක් මුණගැහෙන්නට මේ අරලිය සෙවණ තෝරාගන්නා බැවිනි.
ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදක තනතුරක් දැරූ, ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන අරලිය සෙවණේ රසබර මතක සටහන් පෙළගස්වන්නේ මේ ඇසුරෙනි.
“කරු  අයියගේ ළමා පිටිය වැඩසටහනෙන් ගුවන්විදුලියට සම්බන්ධ වුණු මට එතැනින්ම රස්සාවකුත් ලැබුණා. ඒ වැඩසටහන් සම්පාදක තනතුර. මේ නිසා මට ලංකාවේ ප්‍රවීණ ශිල්පීන් සමඟ හරි හරියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මම ළමා පිටියේ ඉඳලම ගායනයට දක්‍ෂතා දැක්වුවත් මගේ රස්සාවේ හැටියට මට සිදුවුණේ අනෙකුත් ගායකයන්ට වැඩසටහන් කරන්න සහාය වීමටයි. 
ඒත් මම ගුවන්විදුලියේ සරල ගී පරීක්‍ෂණයෙන් සමත් වෙලා සරල ගී ගායන ශිල්පියෙක් වුණාට පස්සේ මටත් සරල ගී වැඩසටහනක් හම්බ වුණා. මගේ  මේ ප්‍රථම සරල ගී වැඩසටහනින් ගීත තුනක් ඉදිරිපත් කරන්න ඕනෑ වුණත් හැදිලා තිබුණේ ගීත දෙකක් පමණයි. පැය කිහිපයක් ඇතුළත ඊළඟ ගීතයත් සදාගන්න ඕනෑ.
ඔන්න ඉතින් එදා සවස තුනට විතර කැමිලස් පෙරේරා ගුවන්විදුලියට ගොඩවුණා. කැමිලස් වගේම හුඟාක් ගීත රචකයෝ, සංගීතඥයෝ, ගායකයෝ වගේ හැමදෙනාම ගුවන්විදුලියට ආවොත් මාව මුණනොගැහී යන්නේ නැති පුරුද්දක් තිබුණා. ඉතින් මම කැමිලස්ට කිව්වා හෙට මගේ සරල ගී වැඩසටහන තියෙනවා එක් ගීතයක් මදි කියලා. 
‘උඹ දැන්ද කියන්නේ’
කැමිලස් ඇහුවා. 
‘උඹ මට ටක් ගාලා සින්දුවක් ලියලා දීපං. ඉතුරු ටික මං කරගන්නම්. මට වෙලාව ඇති කියලා.’ මං කැමිලස්ට කිව්වා.
‘මොන වගේ සින්දුවක් ද ඕනෑ’
‘ලස්සන ප්‍රේම ගීතයක් තමා.’ 
මං කිව්වහම කැමිලස් හිනාවෙලා අරලිය හෙවණට ගියා.
එයා ආයෙම මං ළඟට ආවේ පැය භාගයකට විතර පස්සේ. 
‘මේක බලන්න’ කියලා එයා මට දුන්නේ සුදු කඩදාසියක්. ඒකේ නිල් පාට අකුරින් ලියලා තිබුණේ මෙහෙම. 
දේව මන්දීරේ 
වැතිරී බැතියෙන් පුදසුන අබියස
ආයාචනා කරම්
තරුණ හිතේ සංකා සෝ දුක් නිවන ලෙසේ...
ඒ පද පෙළ  මගෙත් හිත් ගත්තා. මොකද ඔය කාලේ පුංචි ප්‍රේමයක් මගේ හිතෙත් හැංගිලා තිබ්බා.
මම මේ පද පෙළ මුමුන මුමුනා ඉන්න කොට එච්.එම්. ජයවර්ධන ගුවන්විදුලියට ගොඩවුණා. 
බොහොම සතුටින් හිනාවේගෙන ආපු එයා මගේ ඉස්සරහ වාඩි වුණා.
‘ඔයා ආ එක හුඟාක් හොඳයි. මම එනකම්මයි බලාගෙන හිටියේ. මේ සිංදුවට මෙලඩි එකක් හදලා ඕනෑ, මේ දැන්’
මං කිව්වාම එච්.එම්. ගේ ඇස් දෙක නළලට ගියා.
‘මේ දැන්?’
‘ඔව් හෙට සරල ගී’ 
‘උඹත් දාන ලෙඩ’
එහෙම කියලා එච්.එම්. ගී පද මාලාවත් අරගෙන ගියා. 
හවස හතර හමාරට ගුවන්විදුලියේ වැඩ ඉවර වුණාට මොකද ඒ ගමන්ම ගෙදර දුවන පුරුද්දක් අපිට තිබුණෙ නැහැ. සවස හය හත වෙනතුරුම අරලිය හෙවණේ එහෙමත් නැත්නම් ඉස්සරහින් තිබුණු හොකී පිට්ටනිය පැත්තේ තැනක නිදහසේ කතාබහ කරන පුරුද්දක් අපිට තිබුණා. ඉතින් මම එච්.එම්. සොයාගෙන අරලිය හෙවණ පැත්තට ගියා.
‘වැඩේ ඉවරයි’
මං යනකොට එච්.එම්. මාව සොයාගෙන එනවා. 
ඉතින් එදා ටිකක් රෑ බෝ වෙනතුරුම අපි මේ සින්දුව පුරුදු වුණා.
පහුවෙනිදා සරල ගී වැඩසටහනට කියපු ගීත ටික ගැන හැමෝම කතා කළේ සතුටින්. 
‘උඹට අනාගතයක් තියෙනවා’ 
හැමෝම සුබ පැතුවේ එහෙම. 
එදා ගායනා කරපු ගීත ටික තවමත් එදා වාගේම ජනප්‍රියයි.

තරු අයියා කියන්නේ මගේ ගුරුවරයා. ළමා පිටියේදී මට ගුරුහරුකම් දීලා මාව ගායනවේදියෙක් විදිහට ඉස්සරහට ගේන්න මුල් වුණේ එයා. ඒ නිසාම මට එක දවසක්  මුහුණ දෙන්න වුණු සිදුවීමක් අලලා ගීතයක් ලියාගන්නත් මම තරු අයියා ගාවට ගියා. 
ඒ සිද්ධිය වුණේ නුවරඑළියෙදී. මම තවත් පිරිසක් එක්ක නුවරඑළියට ගියේ ගුවන්විදුලි වැඩසටහනක වැඩ වගේකට. ඒ ගිය ගමනේදී දින කිහිපයක්ම අපිට නුවරඑළියේ ඉන්න සිදුවුණා.
අපේ වැඩ කටයුත්ත නුවරඑළියේදී සම්බන්ධීකරණය කළේ රුවැත්තියක්. ඇය දැකපු ගමන්ම මගේ හිතටත් මොකක්ද වුණා. ඒ තරමටම ඇය රූමත්. අපිත් එක්ක බොහොම සහයෝගයෙන් සුහදත්වයෙන් වැඩ කටයුතු කරපු ඇයගෙන් දවස් තුනක් අවසානයේදී අපිට සමුගන්න සිදුවුණා. ඒත් ඒ සමුගැනීම වේදනාකාරී වුණේ අර රුවැත්තිය දාලා එන්න වුණු නිසා. ඇගේ සුවඳ ඇගේ සිනාව හිතේ හිරවෙලා තිබ්බේ සතුටකුත් එක්ක.
අන්තිමේ අපි ඇගෙන් සමු අරන් එන්න පිටත් වුණා. අපේ වාහනේ හෝටලේ වටේට තියෙන පාර දිගේ පල්ලම් බහින හැටි අර රුවැත්තිය හෝටලේ ඉඳගෙන බලා හිටියා. මමත් හෝටලේ හිටපු ඇගෙන් නෙත් ඉවත් කරගන්න බැරුව ඇය දිහාම බලා හිටියා.
වාහනේට හෝටලේ නොපෙනී යන අන්තිම ඉසව්වේදී ඇය ඇගේ ඇඳුමේ කර වටේට තිබුණු සාලුව ගලවල වාහනේ දිහාවට විසි කළා. 
මේ සිද්ධිය මාව හුඟාක් සංවේදී කළා.
මට හිතනෙව ඒ ආදරය කියලා. 
ඔය සිද්ධිය කොළඹ එනකම් විතරක් නොවෙයි ආවට පස්සෙත් මට වද දුන්නා. 
මගේ හිතේ තනුවකුත් උපන්නා. 
ඒ තනුවට වචන ලියාගන්න අදහසින් මම කරු අයියගේ ගෙදරට ගියා. ගිහින් වෙච්ච සිදුවීම කියලා හිතට ආව තනුවක් හම් කරලා පෙන්නුවා.
මට විහිළුවකුත් කළ කරු අයියා එයාගේ කාමරේට ගියා. මේ අතරේ ඉරානි අක්කා මට රසවත් තේ කෝප්පයකුත් ගෙනල්ලා දුන්නා. 
මම ඒ තේ එක බීලා ඉවර කරනකොටම කරු අයියා මට දුන්නේ කඩදාසියක්.
සීත කඳුරැල්ලේ 
සිසිලේ කුසුම් පිපී 
හිනැහී දුර පාවේවි 
රුවන් වලා...
කරු අයියා ලියලා තිබුණේ එහෙම.”

රෝහණ සිරිවර්ධන ගුවන්විදුලියේ හඬකැවීම් ශිල්පියකු ද වේ. 79/80 වසරවල ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ වජිරා නාට්‍යයේ හඬකැවීමට ද ඔහු දායක විය. ඒ කාලයේ කරුණාරත්න අබේසේකර ලියූ ගීතයක් නැවත වරක් ගායනා කිරීමේ දුර්ලභ වරම ද රෝහණ සිරිවර්ධනට උරුම විය. ඒ ද රසබර මතකයකි. 
“ආනන්ද සිරිසේන රචනා කළ වජිරා නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකක් තිබුණා. ඒ වජිරායි නිමලුයි. මේකේ වජිරාට කටහඬ දුන්නේ කුසුම් පීරිස්. මම නිමල්. 
නිමල් කියන්නේ බොහොම දුප්පත් තරුණයෙක්. ඒත් වජිරා පොහොසත්. මේ හේතුව නිසාම වජිරාගේ අයියා නිමල්ට විරුද්ධ වෙනවා. ඔය සිද්ධිය නිසා නිමල්ට වජිරාව මුණගැහෙන්න වරම් නෑ. වජිරාවත් ගෙදරම හිරකරලා තියාගන්නේ. හැබැයි නිමල් ගුවන්විදුලි ශිල්පියෙක්. සරල ගී වැඩසටහනෙන් එයා අලුත් ගීත ඉදිරිපත් කරන වෙලාවේදී එයා එක් ගීතයක් කියන්නේ වජිරාට. 
ඒ ගීතයට තෝරා ගත්තේ කරු අයියා ලියපු තිලකසිරි ප්‍රනාන්දු ගායනා කළ 
‘එන්න මදනලේ 
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි 
හිරගෙයට ඇගේ...’ ගීතය. මේ ගීතය වජිරා වෙනුවෙන් නැවත ගායනා කරන්න අපි කරු අයියාගෙන් අවසර ගත්තා. 
කොහොම හරි නාට්‍යය අහගෙන හිටපු කරු අයියා මට කිව්වා ‘රෝහණ එන්න මදනලේ සිංදුව ඔයාගේ හඬින් රෙකෝඩ් කරන්න’ කියලා. 
ඒක මට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් කියලා මට අද කල්පනා වෙනවා.” රෝහණ සිරිවර්ධන කීවේ කෘතඥ පූර්වකවය. 

“කුලරත්න ආරියවංශ කියන්නේ කොළඹ ආනන්දේ මට ඉහළ පන්තියේ හිටිය ශිෂ්‍යයෙක්. ඒ නිසා ඔහුත් මාත් අතර තිබුණෙ දැඩි මිත්‍රත්වයක්. ඔහුත් නිතරම වගේ ගුවන්විදුලිය පැත්තේ කැරැකෙනවා. එහෙම ආපුවාම අපි ඔය අරලිය සෙවණට වෙලා හීල් හෙවණේ කතා කර කර ඉන්නවා. 
‘රෝහණ දන්නවාද වැඩක්, ආනන්ද ගණේගොඩ කිව්වනේ කැසට් නිෂ්පාදනය කරමු කියලා. ඉතින් අපි සිංග් ලංකා කියලා සමාගමක් පටන් ගත්තා. අපි මුලින්ම කැසට්පට දහයක් දාන්නයි හදන්නේ.’
කුලේ කිව්වාම ඒක මට සතුටුදායක ආරංචියක් වුණා. එතකොට අලුත් ගීත හොඳ තත්ත්වයෙන් නිර්මාණය වේවිනේ.
‘කොච්චර දෙයක් ද?’
මම කිව්වා.
‘මම හිතුවේ රෝහණටත් අවස්ථාවක් දෙන්න.’
කුලේ ඊළඟට කිව්වා. 
‘මට?’ 
මං ඇහුවෙ පුදුමෙන්.
‘ඔව් රෝහණත් දැන් ජනප්‍රිය ශිල්පියෙක්නේ... අපි කරමු වැඩක්.’
ඒ විදිහට ආපු මගේ පළමු කැසට් එක තමයි ‘මටත් හොරෙන්’.
ඔය කැසට් පටියට ගීත අලුතින් පටිගත කෙරුණා. ඒ ඔක්කොම පටිගත කළේ බම්බලපිටියේ ඔගී ශබ්දාගාරයේ. 
ඉතින් ඔය කැසට්පටය ජනප්‍රිය වුණා. රෝහණ සිරිවර්ධනත් තව තවත් ජනප්‍රිය වුණා.”
රෝහණ සිරිවර්ධන කියන්නේ සතුටිනි.
තවත් රසබර මතක සටහන් අපමණක් තිබේ. එහෙත් ඒ සියල්ල දිගහරින්නට මේ කාලය නොවේ. ඉතින් ඉතිරි මතක ඉතිරි කරගෙන ඔහු සඳැල්ලෙන් බැස ගියේය. 

ශාන්ත කුමාර විතාන