මම ආදරය කළේ ඇය ජනාධිපතිවරයකුගේ මිනිබිරියක වූ නිසා නෙවෙයි - සනත් ගුණතිලක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කියන්න ඉතින් කොහොමද සුවදුක්? 

වරදක් නැහැ… මම සතුටින්, සුවෙන් ඉන්නවා. 
 
ඔබ කලා කටයුතුවලින් බොහෝ බැහැරව ගිහින්..? 

නැහැ… කවදාවත් නැහැ… කලාවට ඇලුම් කරන කලාකරුවකුට එයින් බැහැර වීම හිතන තරම් පහසු වන්නේ නැහැ.

ටෙලියකවත් ඔබව දකින්න නැහැ… ඊට හේතුව කියනවා නම්…?

ටෙලි කලාව ගැන නම් තියෙන්නේ පුංචි කලකිරීමක් වාගේ හැඟීමක්. ඒ හින්දා ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණාම එහි රඟපානවාද නැද්ද කියලා දෙපාරකට වැඩිය හිතන්න වෙලා තියෙනවා. කෙමෙන් කෙමෙන් එය ගුණාත්මක බවෙන් බැහැරව යන්න පටන් අරන්…
 
ආරම්භය ගන්නට කැමැති කොතැනින්ද ඔබ..?

හැමදාම කියන කතා අපි පොඞ්ඩක් පැත්තකින් තියමු. ඒ, සිටු කුමරියෝ ඔඩිෂන් එකට ආව දවස… ‘විජය ධර්මශ්‍රී’ගේ හිතට මාව වැදුණු විදිය… අග්‍රගණ්‍ය නිළි මාලිනී ෆොන්සේකා මගේ සහාය නිළිය බව දැනගත්තම මම මොහොතකට තිගැස්සුණු හැටි… වාගේ කතා කතා කරලා තියෙන නිසා.
 
‘සිටු කුමරියෝ’ චිත්‍රපටයෙන් පස්සේ ඔබේ අදහස තිබුණේ උගත්කමට සරිලන හොඳ රැකියාවකටයි..? 

ඔව්… මගේ උසස්පෙළ ප්‍රතිඵල ගැන දැනගත්තම විජය ධර්මශ්‍රී පවා මගෙන් ඇහුවා නළුකමට ආවේ ඇයි කියලා… මගේ යටි හිතෙත් තිබුණා… සංචාරක ෆීල්ඞ් එකේ රැකියාවකට යන්න.
 
අදහස වෙනස්ව ඔබ වෘත්තීය නළුවෙක් වුණේ චිත්‍රපට පෝලිමට ඔබ හොයාගෙන ආව නිසයි? 

අනිවාර්යයෙන්ම මම ඒ ප්‍රශ්නයට ඔව් කියනවා, මොකද.., බොහෝ නවකයනට නොලැබෙන වාසනාවක් මට ලැබෙන්න ගත්ත නිසා මගේ පැවැත්ම මෙතැන තමයි කියල දසදහස්වර හිතුණා. ‘සිටු කුමරියන්ට’ පසු නිහාල් සිංහයන්ගේ ‘රිදී නිම්නය,’ යසපාලිතගේ නැවැත හමුවෙමු, අම්මේ මට සමාවෙන්න, සත්කුළු පව්ව එක පෙළට මා වෙත ආවා. ඒ අතරට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දරට’ ආරාධනා ලැබෙන කොට මට මා ගැන මහා අභිමානයක් ඇතිවුණා.
 
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලවගේ ලස්සන මිනිපිරිය අනුෂ්කා මැදිවකව ඔබට අහිමි වුණේ ඒ අභිමානය නිසා නේද? 

ඒකට මම මෙහෙම උත්තරයක් දෙනවා. අනුෂ්කා මැදිවකට මම ආලය කළේ ඈ ජනාධිපතිවරයකුගේ මිනිබිරියක වූ නිසා නම් නෙවෙයි. අනුෂ්කා බුද්ධිමත් ලස්සන තරුණියක්. අපි එක්ව රඟපෑවා.. සමීප වුණා. ඒ සුහද බව හරහා අපි දෙදෙනා පෙම්වතුන් වුණා. ඒ ප්‍රේම සම්බන්ධයට අපේ පවුල්වලින්ද කැමැත්ත සහ ආශිර්වාදය ලැබුණා.හැබැයි අනුෂ්කාගේ අම්මා මට සුහද කොන්දේසියක් පැනවූවා. විවාහයෙන් පස්සේ රඟපෑමෙන් අයින් වෙන්න කියලා. ‘ගඟ අද්දර’ට සුමිත්‍රා පීරිස් මහත්මියගේ ආරාධනාව ලැබුණේ ඒ අතර. අනුෂ්කා සමග විවාහයද, සිනමාවද කියන දෙලොව තුළ මා අතරමංව සිටියා. එතැනදී ‘ගඟ අද්දර’ට ගිවිසුම් ගහනවද? අනුෂ්කා සමග විවාහයට සූදානම් වෙනවාද කියන කාරණා දෙකෙන් එකක් මට තීරණය කරන්නට වුණා. අවසානයේ මම ‘ගඟ අද්දර’ සහ සිනමාව තෝරා ගත්තා.
 
අවංකව කියන්න.. ඔබ අද ඒ තීරණය ගැන පසුතැවෙනවද? 

අනේ නැහැ. මම තෝරගත් මාර්ගය තුළ මා වගේම, අනුෂ්කා තෝරා ගත් මාර්ගය තුළ ඇයද ඉතා සතුටුදායක සාර්ථකත්වයක කල් ගෙවනවා. අනුෂ්කා සහ මා අතර විවාහයට බාධාව වූයේ අප දෙදෙනා මාවත් දෙකක හිඳ අනාගතය දෙස බැලීමයි… මට වුවමනා වූයේ ප්‍රවීණ සිනමාකරුවන් සමග දිගු ගමනක් යෑමේ බලාපොරොත්තුවයි. අනුෂ්කාගේ සිහිනය වූයේ නිතර ඇගේ ළඟින් ඉන්න සැමියකු සමග ගෙවන සුන්දර පවුල් ජීවිතයක්. ඉතිං සුහද වෙන්වීමක් මත අපි අපට ඇවැසි ජීවිත කරා ගියා. 

දමයන්ති රේණුකා ප්‍රනාන්දු-