මාව හොයන්නෙ ඇත්තටම මෑතකදීම මම ගායනා කරපු ගීතයක් නිසා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුණු
දුක්බර කඳුලුවලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත  ගියේ මට වී නපුරූ

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

අමතන අංකෙ මගේ අවහිර කරලන්ට
ඔබ හට ඒ තරමටම වරදක් කෙරුවාද මම
පොඩි හරි ආදරයක් ඇත්නම් මෙමා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවාද

පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබහට දුන් මුල් පාඩම
ආදරේ කළ අය අත ඇරලා යන විදියද

ඉතාම කෙටි කලකදී ඉහළ ප්‍රතිචාරයක් අතිශය ජනප්‍රියත්වයක් ලබාගැනීමට සමත්වූ මෙම ගීතය ඔබත්  නිරන්තරයෙන්ම මේ දිනවල මුමුණමින් සිටින බව නම් නොරහසක්. ඒ තරමට මේ ගීතයට මේ වන විට බොහෝ පිරිසක් ඇබ්බැහි වී සිටිනවා කිවහොත් මම නිවැරදියි. මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් නරඹා ඇති මෙම ගීතය මෙලෙස අතිශය ජනප්‍රිය වන්නට තවත් විශේෂම කාරණාවක් බලපෑවා. ඒ මේ ගීතයට එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ කටහඬ මුසු කරමින් AI තාක්ෂණය මඟින් නිර්මාණයක් කර තිබිම නිසා. 70% පමණ පිරිසක් මෙය ජෝතිපාලයන්ගේ ගීතයක් බවත් පවසනවා කියලයි මේ ගීතයේ හිමිකරු පවසන්නේ. සැබෑවටම මේ ගීතයේ හිමිකරු කව්ද?

යසිත් කෙළඹිආරච්චි, ඒ නම මේ වෙද්දි ගොඩක් දෙනා  අතර කතාබහට ලක්වෙලා නේද?

ඔව් ඇත්තටම යසිත් කෙළඹිආරච්චි කියන්නෙ කව්ද කියලා  ගොඩක් දෙනෙක් හොයනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහාත් දුරකථනයටත් කතා කරලා මගෙත් එක්ක මේ වෙද්දි කතාබහ කරන පිරිසක් ඉන්නවා. 

ඉතින් යසිත්ව හොයන්නෙ ඇයි  කියලා ඔබම සඳහන් කරමු නේද?

මාව හොයන්නෙ ඇත්තටම මෑතකදීම මම ගායනා කරපු ගීතයක් නිසා. ‘‘නා කපන අනෝරා වැස්සක’’ කියන මගේ අලුත්ම ගීතය හිතාගන්න බැරි විදියට බොහෝ දෙනෙක් ඉතාම ආදරෙන් වැළඳගත්තා. මේ ගීතය ජනප්‍රිය වෙන්න ගීත  ගායනය විතරක් නෙමෙයි විශේෂයෙන්ම පද රචනය සහ සංගීතයත් බලපෑවා. ගීතය ලියන්නෙ සජිත් වී.චතුරංග අයියා. ඔහු ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ට ගීත රැසක්ම ලියපු දක්ෂ ජනප්‍රිය ගී පද රචකයෙක්. එතකොට මෙහි සංගීතය අසිර ප්‍රනාන්දුගෙ. වීඩියෝ අධ්‍යක්ෂණයෙන් නුවන් නිරිඇල්ල සම්බන්ධ වුණා. ඔහු නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් මේ අය සමඟ තමයි මේ ගීතය නිර්මාණය වෙන්නෙ.

මේ විදියට නිර්මාණය වුණු ගීතය නොහිතන විදියකට පත්තු වුණා නේද?

ඔව්. මේ ගීතය පත්තුවෙන්න විශේෂම කාරණය තමයි අපි ගීතයේ වැඩ සියල්ලම අවසන් වෙලා ටික් ටොක් ට්‍රෙලර් එකකට මුලින්ම රිලීස් කරනවානෙ. ඒ ට්‍රෙලර් එක රිලීස් කළාට පස්සේ දවසක් දෙකක් තුළ මේ ගීතයට ටික්ටොක් වීඩියෝ 10,000, 20,000ක් වගේ හදලා තිබුණා. ඉතින් අද වෙද්දිනම් ඒ ගණන ලක්ෂ දෙකකටත් ආසන්නයි. ඒ විදියට ගීතයට ප්‍රතිචාර ලැබෙද්දි අපි ඔරිජිනල් ගීතයත් මුදාහැරියා. ඒ මුදාහැරීමත් එක්ක ටික් ටොක් කරන මල්ලි කෙනෙක් මගේ ගීතයට ජෝතිපාල මහත්මයාගේ කටහඬ මුසු කරලා AI තාක්ෂණයෙන් වීඩියෝවක් කරලා තිබුණා. ඒ දේ ඇත්තටම සිද්ධ වෙන්නෙ මමත් නොදැනුවත්ව. ඒක ඇත්තටම ලේසි පහසු වැඩකුත් නොමෙයි. නමුත් එවැනි ව්‍යාපෘතියක් කරලා තිබුණා. ඒ හරහා තමයි මේ වැඩේ පත්තු වෙන්නෙ. 

මේ ව්‍යාපෘතිය ඔබට අසාධාරණයක් කියලා හිතුනෙ නැද්ද?

මේ ගීතය මුලින්ම ටික්ටොක් එකේ දකිද්දි මටත් ඇත්තටම ආස හිතුණා. ඒ වගේම පුදුම වුණා. ඒක මාරම විදියට බොහෝ පිරිසක් නරඹලාත් තිබුණා. 70% පිරිසක් වගේ මේ ගීතය ජෝතිපාල මහත්මයාගේ කියලා හිතාගෙනත් ඉන්නවා. ඒ වගේම යම් පිරිසක් බැනලාත් තිබුණු නිසා ඒ මල්ලි මට කතා කරලා මගෙන් සමාව පවා  ඉල්ලුවා. මේ සම්බන්ධ ප්‍රශ්නයක් වුණත් ඔහු ඕනෑම දේකට පෙනී සිටිනවා කියලා. ඉතින් මම කිව්වෙ ඒක දැන් සිද්ධවෙලා ඉවරයි. මේ දේ දැන් මිනිස්සු අතරට ගිහින් ඉවරයිනෙ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්තටම මම හිතනවා ඒ මල්ලිගෙ වැඩේ නිසා මේ ගීතය මිනිස්සු අතරට වඩාත් ඉක්මනින් ගියා කියලා. ඉතින් ඔහුගෙ මේ නිර්මාණ කටයුත්ත මට ලොකු සහයෝගයක් කියලා මම දැන් හිතන්නෙ.

ඔහු කවුද කියලත් කියමු. 

ඒ මල්ලිගෙ නම තමයි දිස්නක අධිකාරි.

මේ ගීතයේ පද රචනයටත් බොහෝ ප්‍රතිචාර තියෙනවා නේද?

ඔව්, අනිවාර් යෙන්ම ඇත්තටම සජිත් වී චතුරංග  අයියා මම බොහෝ කාලයක සිට දන්න හඳුනන කෙනෙක්. ඔහු සහ මම එකට එකතුවෙලා කරපු පළමු නිර්මාණය තමයි ‘‘රෝස කුඩය’’ ඒ ගීතය කෝටි එක හමාරකට වඩා පිරිසක් නරඹලා  තියෙනවා. 
එතැනින් පසුව ‘‘රෝස කුඩය II’’ ගීතය එළිදක්වනවා.  ඒ වෙනුවෙන් විශාල වශයෙන් ප්‍රතිචාර තිබුණා. මිලියන 7කට වඩා ඒ ගීතය නරඹලා තිබුණා. එතැනින් පසුව අපි දෙන්නා නැවත මුණ ගැහෙන්නෙ. ‘‘නාකපන අනෝරා වැස්සත්’’ එක්ක. මේ ගීතයත් සජිත් අයියගේ සංකල්පයක්. ඇත්තටම මේ ගීතය මිලින්ද සඳරුවන් අයියාට ලැබෙන්න තිබුණු වැඩක්. නමුත් මම සජිත් අයියාගෙන් මේ විදියේ ගීතයක් තමයි ඉල්ලුවෙ. 

ඒ නිසා මේ ගීතය මට ලැබුණා. මෙහි පදවැල් ටික දකිද්දීම මට කැමැත්තක් ඇතිවුණා.

මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වයත් එක්ක ප්‍රසංග වේදිකාවට ඉල්ලුමක් ඇති.

ප්‍රසංග වේදිකාවට නම් මාගේ පළමු  ගීත ගායනයෙන්ම ඉල්ලීම තිබුණා. නමුත් ඊටත් වඩා දැන් නම් කතා කරනවා. ඒ වගේම මාධ්‍යවලින් කතා කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රතිචාරයක් තියෙනවා. 

මේ ඇවිල්ලා ඉන්නෙ යසිත් බලාපොරොත්තු වුණු ගමනක්ද?

ඔව්, මම පුංචි කාලෙ ඉඳන් සංගීතයට කැමතියි. ගායකයෙක් වීම ලොකුම අරමුණ වුණේ. ඒ වගේම මට ගායනයට වාදනයට යම්කිසි දක්ෂතාවකුත් තිබුණා. විශේෂයෙන්ම කියන්න ඕනැ මේ ආභාසය මට ලැබෙන්නෙ මගෙ තාත්තගෙන්. මොකද තාත්තා සංගීතයට ගොඩක් ලැදි කෙනෙක්. තාත්තාට ඒ කාලේ සංගීත කණ්ඩායමකුත් තිබුණා.  එහි මම තාත්තා එක්ක ගීත ගායනා කරලාත් තියෙනවා පුංචි කාලේ. ඒ වගේම මට වාදනය කරන්න ඉගැන්නුවෙත් තාත්තා. අද ගිටාර් එක මට නැතිවම බැරි වාද්‍ය භාණ්ඩයක් වෙලා. ඒ තාත්තා නිසා. ඉතින් ඒ නැඹුරුව නිසා මම පාසලේත් කළේ සංගීතය. A/L දක්වාම සංගීතය ඉගෙන ගත්තා. පාසල් මට්ටමින් ගීත ගයලා සම්මාන සහතික පත් ජයග්‍රහණය කරලා තියෙනවා. පාසලේ සහ දහම් පාසලේ ජන ගායනා, පද්‍ය ගායනා පළාත්, දිස්ත්‍රික්  මට්ටමින් ජයග්‍රහණය කළා.

පාසල් ගියේ කොහෙද? 

මම O/L දක්වා  ඉගෙන ගත්තෙ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ. එතැනින් පසුව A/L  වලට මාතර සාරිපුත්‍ර ද්විතියික විද්‍යාලයට තමයි ගියේ.

යසිත්ට කව්ද ගෙදර ඉන්නෙ? 

මගේ තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ. මීට මාස 4කට පමණ පෙර අපි අතරින් සමු  ගන්නවා.  දැන් ඉන්නෙ අම්මයි, අයියයි, මල්ලියි.

ධනු විජේරත්න