රැකියාවක් කරනවට වඩා මුදලක් මට සෝෂල් මීඩියා හරහා ලැබෙනවා. ඒ මුදල ජීවිතේ ගැටගහගන්න හොඳටම ඇති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැඩවැඩ දාලා හදන කෑම බීම කිව්වොත් සෝෂල් මීඩියා වල මතක් වෙන චරිතයක් තමයි අද අපේ සදැල්ල හැඩකරන්න එකතු වෙන්නේ.  ලංකාවේ ජනප්‍රිය යූටියුබ් චැනල්  සියල්ල පරාද කරලා කෙනෙකුට පුළුවන්නම් තනියම හදන යූටියුබ් චැනල් එකකින් අංක එකට එන්න  ඒක  වෙනම දෙයක්.  හැඩ වැඩ දාලා කෑම හදන මේ තරුණයාට තරුණියන් අතර තියෙන්නේ පුදුමාකාර තරඟකාරී ආකර්ෂණයක්.   අනුකරණයකින් තොරව තමන්ටම ආවේණික නිර්මාණශිලි හැකියාවන් මගින් ගොඩනගා ගත් වයිල්ඩ් කුක් බුක්( wild cookbook)  අද වන විට දෙස් විදෙස් ප්‍රේක්ෂකාගාරයක අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.  සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 දිනාගන්න හීන මවපු කොල්ලා 2023 වෙනකොට මිලයන 6 පසු කර හමාරයි. මෙන්න ඕනම කෙනෙකුට ඉස්සරහට යනවනම් බලලා හැදෙන්න පුළුවන් සුපිරි චරිතයක්. නමට වඩා මේ ලස්සන කොල්ලාව අඳුරන්නේ  වයිල්ඩ් කුක් බුක්( wild cookbook) කිව්වාම. wild cookbook  ආපු ගමන්මග ගැන තොරතුරු අපට කිව්වේ මේ විදිහට.

මට කියන්නකෝ ඔයාගේ ඇත්ත නම. 

චරිත් නිපුන් සිල්වා

චරිත්ගේ උපන් ගම කොහෙද ?

බලපිටිය ගල්මන්දූව කියන ගමේ තමයි මම හැදී වැඩෙන්නේ . මගේ පාසල බලපිටිය රේවත ජාතික පාසල.  මාදුගඟ ,මුහුද එක්ක බැඳුන ජිවිතයක් තමයි අපට තියෙන්නේ. හරිම ලස්සන සුන්දර පළාතක්. දකුණු පළාතේ  බලපිටිය කියන්නේ ආගන්තුක සත්කාර වලින් ඉහළම පැත්තක්. මේ පැත්තට ආවොත් කන්න බොන්න නොදි යවන්නෑ. ඒ පරිසරයට ඒ ජීවිතයට මං අදටත් හරිම ආදරෙයි. ඒ වටපිටාව එක්ක තමයි මං අදටත් ජිවත් වෙන්නේ. ඇත්තටම මම මේ ගම දාලා යන්න කැමැත්තක් නැහැ.  

සූපවේද වෘත්තියට එන්නේ?

මම අපොස සාමාන්‍ය පෙළින් පස්සේ තමයි හොටෙල් ක්ෂේත්‍රයට එන්නේ. ගෙදර ආර්ථික පැත්ත හිතලා තමයි ඇත්තටම මම රැකියාවකට යොමු වෙන්නේ.  මගේ අක්කාගේ සැමියා මස්සිනා  තමයි මට මේ ක්ෂේත්‍රයට එන්න ආසාව ඇති කරවන්නේ. ඔහුත් සූපවේදියෙක්. මුලින්ම මම නයිටා අධ්‍යාපන ආයතනයේ සූපවේදය පිළිබඳව NVQ පාඨමාලාවක් හැදාරුවා. අවුරුදු 18 වෙද්දි වගේ මම සූපවේදය ඉගෙන ගන්න යනවා. අවුරුදු 19 දි පාඨමාලාව අවසන් කරලා සූපවේදියෙක් විදිහට රැකියාවටත් යොමු වෙනවා.  

පවුලේ තොරතුරු?

මගේ පවුල හරිම සාමාන්‍ය පවුලක්.අම්මා ගෘහණියක්.තාත්තා  කළේ පින්තාරු රැකියාව. මගේ පවුලේ ඉන්නේ  අක්කා, අයියා, මම, නංගි. 

පුංචි කාලේ හැම කෙනෙකුටම තියෙන්නේ දොස්තරවරු ඉංජිනේරුවරු වෙන්නනේ මට ඇත්තටම එහෙම දෙයක් තිබුනේ නැහැ. මම පොඩි කාලේ ඉඳලා ආස කරපු එකම දේ තමයි ක්‍රිකට් ගහන එක. ඒත් ඒකෙන් ඉස්සරහට යන්න හම්බවුණෙත් නැහැ. අපේ තාත්තාගේ සුළු වැටුපෙන් තමයි මුළු පවුලම නඩත්තු වුණේ. අපේ තාත්තාට මාව ක්‍රිඩා කටයුතු වලට යොමු කරන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. ඒක මට දැණුන නිසා මම ක්‍රිකට් අතෑරියා. ඇත්තටම මේ ඉවිමේ ෆැෂන් එකත් මගේ ඇගේ තියෙනවා කියලා වැඩේට බහිනකම් දැනුනෙම නැහැ. 

සාමාන්‍ය පෙළ කාලෙදිම පවුල් බර කියන දේ චරිත්ට දැණුනද?

ඔව් ලොකුවටම දැණුනා. ඒකයි සාමාන්‍ය පෙළින්ම රැකියාවට යන්න තීරණය කළේ.  හැබැයි මම පුහුණු කාල සීමාවෙදි   හොටෙල් එකකට යනකම් හොටෙල් එකක කිචන් එකක් කියන්නේ මොකද්ද කියලාවත් දැකලා තිබුණේ නැහැ. සූපවේදි සහයක විදිහට තමයි මම මුලින්ම වැඩ කරේ වස්කඩුව සිට්ට්‍රස් හොටෙල් එකේ. චෙෆ් නිරෝශ් තමයි මගේ මුල්ම ගුරුවරයා එයා මට ගොඩක් දේවල් කියලා දුන්නා. මට එදා ඕන වුණේ පවුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්න. හොඳම මාර්ගය විදිහට මම දැක්කේ විදේශගත වීම. 
සූපශාස්ත්‍රය පුහුණු කාලය කියන්නේ ඉතාම දුෂ්කර කටුක කාලයක්. මට දාලා යන්න හිතුන දවස් තිබුණා. සමහර දවස් වලට  වැඩත් එක්ක පීඩනය දරාගන්න බැරැව රෑම් එකට ගිහින් අඩපු දවස් අනන්තයි. ඒත් මම අතෑරියේ නැහැ. මගේ අරමුණට යන්න ඕන නම් මම ඒ කැප කිරිම කරන්න ඕන කියලා මම සිතුවා.  මාස 6ක්  වැටුපක්වත් නැතුව හෙල්පර් කෙනෙක් විදිහට වැඩකරා.  ලංකාවේ අවුරුදු දෙකක් විතර හොටෙල් එකක වැඩ කරලා මගේ එකම හීනේ වුනේ පිටරට රැකියාවකට යන්න. මම යනවා ඩුබායි වලට. හැබැයි මම හිටියේ මාස 4යි. ගොඩක්ම හෝම් සික් එක ආවා. අම්මා අඬනවා බැරිම තැන  මම නැවත ලංකාවට ආවා. ලංකාවට ආවාම ආදරෙන් පිළිගත්තේ අම්මා විතරයි.අනිත් හැමෝම බැන්නා මෝඩ වැඩක් කළා කියලා. 

ඊට පස්සේ? 

ලංකාවට ඇවිත් මම නැවත වැඩට යනවා නුවරඑළිය හොටෙල් එකකට. එතන අවුරුදු දෙකක් විතර ඉඳලා යනවා ගාල්ල උණවටුන  අරලිය හොටෙල් එකට. මම සෝෂල්මීඩියා වලට එන්නේ අරලිය හොටෙල් එකට ආවට පස්සේ.  මම මුලින්ම යූටියුබ් වලට තමයි වීඩියෝ කරේ. ඒත් ඒ වැඩේ මුලදි සාර්ථක වුනේ නැහැ.

කොහොම වුනත් මේ වෙනකොට ලංකාවේ තනි පුද්ගලයෙක් සතු  වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාව ඉන්නේ චරිත්ට .දැනට ඔබෙ යූටියුබ් චැනල් එකේ ග්‍රාහකයෝ කොච්චර ඉන්නවද ?

පසුගිය සතියේ මිලියන 6 පසු කළා. ඇත්තම කියනවනම් මේක පටන් ගද්දි මම හිතුවේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ගත්තොත් ඇති කියලා. මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවෙම නැහැ. මම ඇනලයිස් කරලා තියෙනවා මගේ ෆෑන්ලා කොයි කොයි රටවලින්ද වැඩිපුරම ඉන්නේ කියලා.  වැඩිපුරම ඉන්නේ ශ්‍රි ලංකාව,  ඉන්දියාව, බංගලාදේශ ,පකිස්ථාන්, ඩුබායි වගේම මැදපෙරදිග රටවල්, දකුණුආසියාතික රටවල් බොහොමයක් මගේ යූටියුබ් චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. මගේ ඇක්ටිව් ෆ්ලැට්ෆෝම් 4ක් තියෙනවා.ෆේස්බුක්,ඉන්ස්ට්‍රග්‍රෑම්,ටික්ටොක්, යූ ටියුබ්. 

2020  අවුරුද්දේ කොවිඩ් කාලේ තමයි මම මුලින්ම මේ වීඩියෝ කරන්න පටන් ගත්තේ.මම ඒ සියල්ල කරේ අපේ ගම් පළාතේ තියෙන දියඇලි සොයාගෙන ගිහින් ඒ අශ්‍රිත පරිසර වල. ඒක ගොඩාක් අමාරු කාර්යයක් වුණා. කොරෝනා කාලේ නිසා සමහර වීඩියෝ කරද්දි වන් වන් නයින් ගහලා පොලීසියෙන්  ඇවිල්ලා ප්‍රශ්න ඇති වුණ අවස්ථාත් තිබුණා. කොවිඩ් එක්ක ඒක එක දිගට කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. 

මාස 6 ක් විතර එහෙම ගියා මම වැඩේ අතෑරියේ නැහැ.  මට ටික් ටොක් හම්බවෙන්නේ ඊට පස්සේ. ඒ අතරතුර මට කොවිඩ් හැදෙනවා. එතනදි මට මාස දෙකක් විතර වැඩ කරපු හොටෙල් එකෙන් නිවාඩු හම්බවෙනවා. ඒ අතරවාරේ  තමයි මම ටික්ටොක් එකට පුංචි පුංචි වීඩියෝ කෑලි කරලා දාන්නේ. කවුරුත් ඊට කලින් ඒවගේ වැඩ දාලා කුකරි පැත්තෙන් වීඩියෝ දාලා තිබුනේ නැහැ. එතනින් තමයි මගේ වීඩියෝ පත්තු වෙන්නේ.  

wild cookbook විඩියෝ ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව වුණේ අතපය කරකවලා උඩ දාලා කිස් දීලා වැඩ කිඩ දාලා හදන කැම . කවුද මේ ලුක් එක හැදුවේ?

ඒ හැඩ වැඩ මගේ ඇගෙන්ම ආපු එකක්. ඒ වැඩ ටික දාන්න ඇත්තටම මම මුලදි බය වුණා. මේක සාර්ථක වෙයිද කියලා. මුලින්ම මේ වැඩ දාලා මම හැදුවේ බර්ගර් එකක්.ඒක ලංකාවේ යුනිවර්සිටි ළමයි අතර ගොඩක් ශෙයාවෙලා තිබුනා.  අන්තිමට චෙෆ් කිස් එක ගොඩාක් ජනප්‍රිය වුණා.  කවුරු හරි හිතනවනම් ගමේ ඉඳලා මට මේක කරන්න බෑ කියලා මම ඊට හොඳම උදාහරණයක්. මම මේ හැම දේම කළේ බලපිටිය මගේ ගමේ ගෙදර ඉඳන්. සිතුවිල්ල තමයි හැම දේකටම මූලික වෙන්නේ.

මේ තරම් ග්‍රාහකයින් ප්‍රමාණයක් එකතු වෙන්න  චරිත්ගේ ලස්සනත් බලපෑවාද?  

ඔව් මං හිතනවා ඒකත් බලපාන්න ඇති කියලා. මටයි මං හදන කෑම වලටයි එක වගේම ප්‍රතිචාරයක් ආදරයක් ලැබෙනවා. අනිත් එක මම දාන වීඩියෝ වල අන්තර්ගතය කෙටි වෙලාවකින් නරඹන්න පුළුවන්. මම හිතන්නේ මගේ චැනල් එකට ග්‍රාහකයන් ඒ තරම් ප්‍රමාණයක් එකතු වෙන්නේ ඒ නිසා කියලයි. 

චරිත් මේක කරන්නේ වෙනත් වෘත්තියක් කරන ගමන්ද ?

මම දැන් කිසිම ආයතනයක රැකියාවක් කරන්නේ නැහැ. මගේ මුළු කාලයම යොදලා තියෙන්නේ සෝෂල් මීඩියා වලට කරන වීඩියෝ වෙනුවෙන්. දවස ගානෙම වීඩියෝ කරන වෙලාවලුත් තියෙනවා. ඒක අමාරුයි, ඒත් දවසක් ඇර දවසක් හරි වීඩියෝ එකක් දානවා.  සාමාන්‍ය රැකියාවක් කරනවාට වඩා දෙයක්  මට මේකෙන් ලැබෙනවා සහ මට දැනෙන ගානක් ලැබෙනවා. ඒ මුදල ජීවිතේ ගැට ගහගන්න හොඳටම ඇති . 

මේ රෙසිපිස් හොයාගන්නේ කෙහොමද?

දේශිය කෑම  ගොඩක්ම දේවල් මම අම්මාගෙන් තමයි අහගන්නේ. අම්මාගෙන් හොඳටම ඉගෙන ගත්තේ බලපිටියට ආවේනික අැඹුල් තියල් එක. මගේ අම්මාටත් ගොඩක් රසට කෑම හදන්න පුළුවන්. ඒ අතරතුර මම හොයාගත්ත රෙසිපිත් තියෙනවා. මේ දවස් වල මම කුරුම්බා වලින් තැඹිලි කොස් වලින් අලුත් රෙසපි වලට කෑම හදාගෙන යනවා. මාර්කට් එකක් හදන්න පුළුවන් දේවල් වලට වැඩි තැනක් දෙනවා. මේ උයන හැමදේම මම උයන්නේ ආසාවෙන්. හදන කෑම වලින් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මං හදන බිරියානි එකට. 

ඔබ හැම මාසකෙම හරි අපූරු වැඩක් කරනවා ඒ ගැනත් කියමු?

සෝෂල් මීඩියා හරහා එන මුදල් වලින්  කොටසක් මම මගේ රටේ දුප්පත් අහිංසක දරුවන් වෙනුවෙන් වෙන් කරලා එයාලට කෑම වේලක් දෙනවා. මගෙත් පුංචි කාලේ නොකා නොබී හිටපු දවස් තිබුණා. ඒ දරුවන්ගෙන් මම අද මාවම දකිනවා.  කොහොමත් මට  හීනයක් තිබුණා  කවදා හරි දවසක  එක වේලක් හරි දුප්පත් දරුවන්ගේ කුසගින්න නිවනවා කියලා. අද මම මාසෙකට සැරයක් දුෂ්කර පළාත්වල පාසල් දරුවන් වෙනුවෙන් කෑම වේලක් දෙනවා.

ඔබේ ගමන ගැන දෙමාපියෝ සතුටින්ද?

ගොඩාක් සතුටින් ඉන්නේ. මගේ පවුලේ අයගේ සතුට තමයි අනිත් හැම දේකටම වඩා මට වටින්නේ. අපි හිටපු තැන සහ අද ඉන්න තැන ගැන බැලුවාම ලොකු සතුටක් තියෙනවා. මගේ තාත්තා අපිව ජීවත් කරවන්න ගොඩාක් දුක් වින්දා. මට හීනයක් තිබුණා කවදාහරි මගේ අම්මාටයි තාත්තාටයි ලස්සන ගෙයක් හදලා දෙන්න. ඒක මම කළා.අද ඒ දෙන්නාට දෙන්න පුළුවන් උපරිම සැප සම්පත් දීලා තියෙනවා.

ලස්සනට රහට කෑම හද හද ලෝකෙටම පෙන්නනවා. ගෙදරදිත් කෑම හදනවද? 

ලෝකෙට පේන්න ඉව්වාට ගෙදර උයන්න වෙලාවක් නෑ. ගෙදර නම් උයන්නේ අම්මා තමයි..

ඔබ දැන් ජීවිතේ දිනලා ඉවරයි කියලා හිතනවද?

මම මගේ ජිවිතේ පළමු පියවර දිනලා ඉවරයි.හැබැයි මේක නෙමෙයි මගේ අරමුණ.  තව ලොකු බලාපොරොත්තු ටිකක් තියෙනවා හිතේ . මම කර්මය ගොඩාක් විශ්වාස කරන කෙනෙක්. මම කවදාවත් මගේ ජිවිතේ වැරදියි කියන දෙයක් කරලා නැහැ. මම හෘද සාක්ෂියට එකඟව ජිවත් වෙන කෙනෙක්. 

කැපිලි කෙටිලි නැත්තෙම නෑ නේද?

මං කා එක්කවත් කිසිම තරහක් නෑ.කිසිම ප්‍රශ්නයකුත් නැහැ.මම මගේ පාඩුවේ තමයි මේ ගමන යන්නේ. කැපිලි කෙටිලි ඉතින් නැති තැනක් නෑනේ. මම අනවශ්‍ය දේවල් අදාල කරගෙන පසුතැවෙන චරිතයක් නෙමෙයි.

දැන් චරිත්ට වයස කීයද ?

අවුරැදු 27 යි.

ආදරය ගැනත් මොනවා හරි කියමු

මේක ආදරය ගැන කතා කරන්න වෙලාව නෙමෙයි. 

නදීශා අතුකෝරළ

ඡායාරූප -  සජීව ලක්ෂාන්