ශ්‍රී ලංකාවට සමුදුන් සොඳුරු ඉන්දියානු හිතවතා

  • 26-01-2026
  • Views 101

ප්‍රඥාව මලක් මෙන් නෙළා ගත නොහැකිය. එය කන්දකි .තරණය කරන්න.

ඔහු ඒ  කන්ද මැනවින් තරණය කරමින් හිඳින සබුද්ධිමත් සුවිශිෂ්ටයෙකි.  ශ්‍රී ලාංකික මාධ්‍යයේ අපට ඒ මානවවාදී ඉන්දියානුවා ,  ඇසූ පිරූ තැන් ඇති ඒ නැණවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා     කිසිදා අමතක කළ නොහැකි මතක  සමුදායක් ශේෂ කර මේ පුංචි මව්බිමෙන් සමුගන්නට නියමිතය. තෙවසරක තම රාජ්‍ය තාන්ත්‍රික සේවාවට අයත්  වගකීම්  නිමවා තම මව්බිම වූූ ඉන්දියාව නම් විසල් දේශය බලා ඔහු ගියත්
මලක සුවඳ සේ ඔහු  ගුණ සුවඳ නිබඳවම අප හදවත් හි රැඳී පවතී. ඉඳින් එවන් විරල සොඳුරු මිනිසකුගෙන්  සමුගන්නේත් සමු දෙන්නේත් කෙලෙසකදැයි මම නොදනිමි.

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. සංගීතයට සිනමාවට කලාවට  සාහිත්‍යයට ආත්මීය  ආලයකින් ආදරය කළ රසවතෙකි. ජනමාධ්‍යයේ ආචාර ධර්ම මෙන්ම මනුෂ්‍යත්වයේ ආචාර ධර්මද මැනවින් ප්‍රගුණ කළ සොඳුරු මිනිසෙකි. ඔහු මුව මඬල පුරා තවරාලූ  සිනහව කිසිදා අමතක කළ නොහැකි මතකයක් සේ  ශ්‍රී ලාංකික මතක අතරට එක් කළ ඉන්දියානුවෙකි.

ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ තම රාජ්‍යතාන්ත්‍රික සේවාවට අයත් මෙහෙවරත් ස්වාමී විවේකානන්ද   සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා  ලෙස දෙවුර දරා ගත් විසල්  කාර්ය භාරයත් අතර මහාචාර්ය අන්කුරන් දත්තා තම මෙහෙවර නොපමාව ඉටු කළේ කිසිදා රාජකාරී යන රාමුවට ලඝු  නොවුණු රාජ්‍ය.තාන්ත්‍රික නිලධාරියෙකු  වශයෙනි.

ඔහු මට පළමුව මුණගැසුනේ ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එදා ඔහු    ස්වාමී් විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ සිදුකරන මෙහෙවරත් සිදුකළ හැකිි මෙහෙවරත් පිළිබඳව ඉතා පැහැදිලිව අප හා කතා කළේය.

ඔහුගේ හඬ ඉවසිලිවන්තය. නිරහංකාර පරිණත පෞරුෂත්වයකට මහාචාර්ය අන්කුරන් දත්තා තරම් සොඳුරු සංනිදර්ශනයක්   මට කිසිදා හමුවී නැත. ආදරය සහ ගෞරවය අනෙක් මිනිසුන් වෙත පිරිනැමීම ඔහු ආත්මීයව පුරුදු කළ සෙයකි. මාධ්‍යයේ අප හමුවූ එදින ශාස්ත්‍රීය සංගීතය රසවිඳින්නට අවස්ථාවක්ද ඔහු අපට සලසා තිබුණේය . 

මගේ ජීවිතයේදී මට  හමු වූ එකම නිර්මාංශ පුද්ගලයාද මහාචාර්ය අන්කුරන් දත්තාය. කුඩා වියෙහි සිටම නිර්මාංශ වූ  මට කිසිදා නිර්මාංශ වූ පුද්ගලයකු හමු වී තිබුණේ නැත. ඔහු පිළිබඳව මා සතු මතක සමුච්චයේ උතුම් වත්කමක් ලෙස ඒ ගුණාංගය මම සලකමි.

ඔහු සැබැවින්ම විශිෂ්ට විද්‍යාර්ථියෙකි. ප්‍රගුණ කළ දැනුමෙහි සාක්ෂරතාවය ප්‍රායෝගිකත්වය තුළ ප්‍රායෝගිකකරණය කළ සැබෑ සබුද්ධිමත් නැණවතෙකි.

ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ මෙරට  පුරවැසියන්ට හින්දී  භාෂාවත් කථක් භරත ආදී  නැටුම් කලාවන් මෙන්ම තවත් සාර සිප් සොයා යෑමේ ඉඩ හසර පවතී. එ සියලු මෙහෙවර දිනෙන් දින යාවත්කාලීන ක‍රනු උදෙසා මහාචාර්ය අන්කුරන් දත්තා තම නැණස මෙහෙය වූයේය.

ඉඳ හිට දවසක චිත්‍රපට මංගල දර්ශනවලදීද  මම ඔහු දුටුවෙමි. මහාචාර්ය ප්‍රණීත්  අභයසුන්දර සමඟ  දිනක් ඔහු පිළිසඳරේ යෙදී සිටිනු මම බලා සිටියෙමි. ඔහු කෙතරම් ගෞරව පූර්වක ලෙස සහ අවධානයෙන් යුතුව මිනිසුන්ට සවන් දෙන්නෙකු සහ මිනිස්සුන්ට ගරු කරන්නෙකුද යන  වග ඔහු සෑම විටම පසක් කළ සත්‍යයකි.

භරත  නාට්‍යය කලාව පිළිබඳව සිංහල භාෂාවෙන් ලියූ පළමු ශාස්ත්‍රිය ග්‍රන්ථය වූ   ප්‍රීති ගනේගොඩ ආචාර්යවරිය ලියූ  තෞර්යත්‍රිකම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට මමද සහභාගි වුණෙමි.

එදින ශාස්ත්‍රීය සංගීතය සහ නාට්‍ය  කලාව නර්තන සම්ප්‍රදායන් පිළිබඳව මහාචාර්ය අන්කුරන් දත්තා කළ කතාව මා අසා සිටියේ භාවනාවකට සම වැදුණු විලාසයෙනි.එය එතරම්ම රසවත්ය. ඉවතහල හැකි කිසිවක්ම ඒ කතාවෙහි නොවූයේය. තම ගැඹුරු හඬින් ඉසියුම්ම සිද්ධාන්තයන් පවා  තම විමසුමට හසුකර ගනිමින් මහාචාර්ය අන්කුරන් දත්තා එදා ඒ කළ කතාව ඒ ස්වරය සොඳුරු සංධ්වනියක්  ලෙස මේ මොහොතේත් මට සිහිපත් වේ.

ඔහු අප සන්තකයේ තබා යන එකම එක අඳුරු මතකයක්වත් නැත. කොවිල් බිමක දැල්වෙන පහනක් සේ දීප්තිමත් සුපැහැදිලි සුවඳවත් මතක පමණක් ශේෂ කර සමුදීමේත් සමුගැනීමෙන් වේදනාව  අප හදවත් තුළ අවුළුවමින් තම නොහිම් මෙහෙවරේ තවත් පරිච්ඡේදයක් උදෙසා ඔහු ඉන්දියාව බලා පියමං කරනු ඇත.

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මග දෙපසය.

උපේක්ෂාවෙන් සහ ඉවසිල්ලෙන් ජීවිතයේ වේදයන් කියවන ඔහු අරුත් සපිරි මාවතක තව බොහෝ දුර යනෙනු ඇත.

ඉතින් සොඳුරු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාණෙනි...

ඔබේ ජීවන ගමනේ  ඊළඟ පරිච්ඡේදය වෙනුවෙන් ශ්‍රී ලාංකික අපේ  ආශිර්වාදයත්   සුබ  පැතුමත් අපි ඔබට හරසරින් පිළිගන්වමු.