ක්ෂීර සාගරයෙන් රුසියාවට ගිය අපේ නිළිය

  • 13-01-2026
  • Views 285


දිලෙන දියමන්තියක් සේ ඈ දිදුලන්නීය. කතා කරන ඒ අමුතු ලොකු ඇස් කොතෙක් සුන්දරද යත් ඒ දෑස් දිහා බලා හිඳින්නට සිත් වෙන තරම්ය. දිගු රැලි සහිත කෙහෙරළි නැලවෙන හිතුවක්කාර සෙනෙහසකින් දිදුලන්නීය. ඔප වැටුණු දුඹුරු වර්ණ සම සහිත  ඈ වත රන්වන්  නොවූ නමුත් රන්වන් පැහැයකින් දිදුලන්නීය. ඒ රුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනරම්ය. ලාංකික සිනමාවේ සුන්දර පරිච්ඡේද ඈ රුවින් සේම කුසලතාවයන්ගෙන්ද   සරසන සුභ සිහින දැනටමත් ඈ කැඳවා හමාරය. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ක්ෂීර සාගරය කැළඹිණ සිනමා වියමනේ දැරියගේ චරිතය ඔස්සේත් කදිර දිව්‍යරාජ සිනමා වියමනේ කුමි ඔස්සේත් ආත්මීය ආලයකින් ඇය ගත් හුස්ම රංගවේදිනයක් ලෙස ඇයට යා හැකි සොඳුරු දුර ගැන අප්‍රමාණ සාක්ෂියක් සනිටුහන් කළාය.


නිරූපණ ශිල්පිනියක් සේම රංග වේදිනියක ලෙසද ඇය යන මග දෙපස සුවඳ සුසුවඳ  බොහෝ මල් පිපිය හැකි වගට රුසියානු සිනමා නිෂ්පාදනයක් වන To the moon and back  සිනමා කෘතිය ඔස්සේ අපූර්වතම  මුද්‍රාවක් තැබූ පසුබිමක ලාංකික සිනමාවේ  නියැලෙද්දීම ජාත්‍යන්තර සිනමාවට පා තබන්නට වරම් ලද අය හරිනි කාව්‍යාංජනී ය. ශ්‍රී ලාංකික නාමය රංගවේදනයක් ලෙස රුසියාවටත් ජාත්‍යන්තරයටත්  රැගෙන ගිය ඇය ගැන අප කතා කරන්නේ සැබැවින්ම ළෙන්ගතු ස්නේහයකින් හා ගෞරවයකිනි.


ඇත්තටම ඇයි හරිනි එයාලා චිත්‍රපටයක් රූගත කරන්න ලංකාව තෝරාගෙන තිබුණේ?

එයාලා ලෝකයේ ලස්සනම මුහුද දැක්කේ ලංකාවෙලු.මුල්ම හේතුව තමා ඒ මුහුද. අපිට ඔයාලට වගේ මේ තරම් ලස්සන මුහුදක්, මුහුදු වෙරළක් නෑ කියල තමා එයාලා කිව්වේ.ඇත්තටම ඒ චිත්‍රපටයේ වැඩිම දර්ශන තියෙන්නේ ලංකාවේ.


ලංකාවේ මොන ප්‍රදේශවලදීද  චිත්‍රපටයේ රූගත කිරීම් කළේ ?

ගාල්ල, මාතර ,දික්වැල්ල බණ්ඩාරවෙල, බදුල්ල ඇල්ල වගේ ප්‍රදේශවල තමයි රූගත කිරීම් කළේ

 

කොහොමද ඔයාට මේ වගේ ජාත්‍යන්තර චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ?

දිනිඳු ෂේන්  කියන  කලාකරුවා නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ .එයාලා ෆොටෝ එකක් දීලා ඒ ෆොටෝ එකේ ඉන්න ගෑනු ළමයට සමාන රූපයක් තියෙන නිළියක් ලංකාවෙන් හොයලා දෙන්න කියලා තියෙනවා.එයාලගේ හිතට හරි ගිය කෙනා වෙන්න තරම් ඇත්තටම මම වාසනාවන්ත වුණා.


දිනිඳු කියන්නේ ඔයා කාලයක් දැනගෙන  හිටපු මිත්‍රයෙක්ද ? 

නැහැ දිනිඳු ඒ වෙද්දී මාත් එක්ක හම්බෙලා කතා කරලා නෑ . ඒත් එයාට මාව මතක් වෙලා තියෙනවා. ක්ෂීර සාගරය කැළඹිණ  චිත්‍රපටයේ මම ඇඳන් හිටපු ඇඳුම් ,ජැක්සන් සර් එක්ක ඉන්න පින්තූරය දිනිඳුට මතක් වෙලා එයා ඒක මරීනා කියන  රුසියානු යුවතියට යවලා .ඒ අය ඒ පින්තුරේ දැක්ක ගමන්ම ok කරලා.අන්තිමට වීඩියෝ කෝල් එකකින් කතා කරලා තමයි එයාලා මාව තෝරගත්තා කියන එක මට කිව්වේ


වීඩියෝ කෝල් එකෙන් මොනවද එයාලා ඔයාගෙන් ඇහුවේ?

සිනමා ක්ශේත්‍රය  තුළ මම කරපු දේවල් ඇහුවා.2015 සහ 2018 මම Miss Sri Lanka  සහ Miss super model wordldwide  තුළ ලබාගත් ජයග්‍රහණ ගැන මම එයාලට කිව්වා. නිරූපණ ශිල්පිනියක් ලෙස මම කරගෙන යන වැඩකටයුතු ගැනත් කිව්වා.එයාලා හරිම සතුටු වුණා  වගේම හරිම ඇගයීමක් දීලා හරිම  ප්‍රශංසනීයව මාත් එක්ක කතා කළා.

Video call  එකකින් දැකපු හරිනි ඇත්තටම දැක්කට පස්සේ කොහොමද එයාලා දුන්න ප්‍රතිචාරය?

එයාලා  මට කිව්වා අපි හිතපු කෙනාමයි අපිට හම්බවුණේ කියලා.ඔයා සුපර්ස්ටාර් කෙනෙක් ඔයාව අපේ චිත්‍රපටයකට සම්බන්ධ කරගැනීම අපිට ආඩම්බරයක් කියලා එයාලා කිව්වේ.


එයාලා ඔයාට කතා කරෙත් හරිනි  කියලද?

නෑ අනේ එයාලා මට කතා කළේ සුපර්ස්ටාර් කියලා


ඔයාගේ අපි දකින ලස්සන ඒ අය කොහොමද වර්ණනා කළේ?

එයාලා  මේකප් පාවිච්චි කරනවා හරිම අඩුයි. අපේ ස්වභාවික පෙනුම තමයි රංගනයේදී මතු කරගන්න උත්සාහ කරන්නේ .එයාලා කියනවා ස්ක්‍රීන් එකේදි මාව දකිද්දි හරිම ලස්සනයි කියලා. තොල් ලොකුයි ලස්සනයි කියලත් කීවා. මට Big eyes  කියලා විහිළු  කළා ..එයාලා  නිතරම කියපු දෙයක් තමයි ඔයාගේ ලොකු ඇස් දෙක ස්ක්‍රීන් එකට ලස්සනට පෙනෙනවා කියලා.මගේ හිනාවත් ලස්සනයි කිව්වා.මූණ, සම ලස්සනයි කිව්වා කොණ්ඩෙ ලස්සනයි කිව්වා මගෙන් ඇහුවෙ  හැමතිස්සෙම ඔයා කොහොමද ලස්සනට ඉන්නේ කියලා. එකම විදියට ඔයා ඔයාගේ ලස්සන තියාගෙන ඉන්නේ කොහොමද කියලා. හැම වෙලාවේම ඔයා කොහොම දැක්කත් ලස්සනයි කියලා කීවා. එයාලා කොහොමත් අපේ හමේ පාටට හරි ආසයි. එයාලගේ ඇස් නිල් පාටයි. දුඹුරුපාටයි.අපේ ඇස් කළු පාටයිනේ.එයාලා කළු පාට ඇස් වලට හරි ආසයි. මේකප්  කරද්දි කළු කොණ්ඩෙ හරි ලස්සනයි කියලා අතගාලා බැලුවා . එයාලගේ කලාකරුවන් ඇත්තටම මල්ටි මිලියනස්ලා කියලා එයාලා කියන්නෙ. ඒ කලාකරුවන් වුණත් ටිකක් තමන් ගැන ලොකු තක්සේරුවකින් ඉන්න අය කියලා කීවා. එයාලා, එයාලා අතරම ලොකු තරගයක් තියෙනවලු. මේ චිත්‍රපටයේ දිනිඳු මියුසික් ඩාන්සින් දෙකම කළා . දිනිඳුට මියුසික් ඩාන්සින් හොඳට පුළුවන් කියලා දැනගත්තම ඒවටත්  එයාම යොදා ගත්තා. 

ඔයා රඟපාන්නේ කොහොම චරිතයක්ද ?

ගෝත්‍රික නායකයාගේ දුවගෙ චරිතයේ තමයි මම රඟපාන්නේ. ඒක ඒ චිත්‍රපටය ප්‍රධාන චරිතයක්

ඔයාට රුසියාවට යමු කියලා ඒ අය කතා කරේ නැද්ද?

ඔයාට එහෙ ගොඩක් වැඩ තියෙනවා ආවොත් .ඒ නිසා එහෙට එන්න කියලා තමයි කිව්වේ


මට පෙම්වතෙක්  ඉන්නවද ? විවාහක නෑ නේද ?විවාහ වෙන්න කැමතිද? වගේ ප්‍රශ්න අහපු අය  හිටියා.මගේ අම්මත් ගියා මාත් එක්ක රූගත කිරීම් වලට. අම්මගෙනුත් ඇහුවා මාව බඳින්න දෙනවද කියලා. දුවව දෙන්න පුළුවන්ද මම දුවට කැමතියි කියලා එයාලා ඇත්තටමම අහනවා.චිත්‍රපටය ඉවර වෙච්ච ගමන් එහෙ යමු කියලා කියපු අය හිටියා.මාත් එක්ක වැඩ කරපු ආටිස්ලා දෙන්නෙකුගෙන් සහ නිෂ්පාදකවරු දෙන්නෙක්ගෙන් තමා ඒ විවාහ යෝජනා ආවේ . මගෙන් ඇහුවා ඔයා කැමති නැද්ද සුදු අයට අපිට කැමති නැද්ද වගේ ප්‍රශ්න. මම ඉතින් බොහොම අමාරුවෙන් නෑ නෑ එහෙම නෙවෙයි කියලා තේරුම් කරලා ඒ යෝජනා මගහැරියා.


එයාලා සමුගනිද්දී දැනුණේ කොහොම හැඟීමක්ද ?

එයාලා  ඇත්තටම ඇඬුවා. එයාලට හරි දුකයි කිව්වා මාව දාලා යන එක ගැන. Film premiere  එකට අනිවාර්යයෙන්ම එන්න කියලා කිව්වා එක එක තෑගිත් මට දුන්නා


මොනවද ඒ තෑගි?


සිප්පි කටු වලින් හදපු ලස්සන අරුංගල් දෙකක්  දුන්නා. ඒක පබළුව එහෙම දාලා ලස්සනට අලංකාර කරලා .ආයෙ එයාලා මෙහෙන් අරගෙන මැටි පිඟන් .  එයාලා විශ්වාස කරනවා මැටි පිඟන්වලට කෑම බෙදුවම ඒ වගේ විෂ රසායන ඒවට ඇදලා ගන්නවා කියලා.ලී සහ මැටි පිඟන් කෝප්ප   එයාලා මට තෑගි දුන්නා.


ඔයාලා සිංහල කතා කරනවා අහගෙන ඉඳලා එයාලා ඉගෙන ගත්ත සිංහල වචන නැද්ද?

තියෙනවා . සුභ රාත්‍රියක් ආයුබෝවන්, සුභ උදෑසනක් කොහොමද ?හොඳයිද? කියලා කීවා. අපේ අය උගන්නලා එයාලට අම්මට සිරි කියලා. එයාලා මෙහෙදි කන හැම කෑමක්ම රස බලලා ඉවරවෙලා අම්මට සිරි  කීවා. එහෙම කීවේ  රසයි කියන එක අඟවන්න. අපි එයාලගේ භාෂාවෙන් එයාලට කියද්දී එයාලා අපේ භාෂාවෙන් සුභ රාත්‍රියක් කීවා සුභ උදෑසනක් කීවා.
.
ලංකාවේ කෑම බීම එයාලගේ හිතට ඇල්ලුවද?

පොඩ්ඩක් සැර වැඩී නම්  කීවා. එයාලා බත් හරි පොඩ්ඩයි කෑවේ.සැලඩ් කන්න ආසයි. ඒ  ගොල්ලො වැඩිපුරම ආස වුණේ  චිකන් කරියටයි, පපඩම් වලටයි පපඩම්නම් නිකනුත් කෑවා.රුසියානු කෑමත් හදලා කෑම ඔක්කොම එකට කලවමේ තමා කෑවේ.

 

සති එකහමාරක රූගත කිරීම් අතරේ හරිනිට අමතකම නොවෙන අත්දැකීම් තියෙනවද ?

එක දර්ශනයක් තිබුණා මුහුද ඇතුළටම පීනලා යන්න ඕනෑ. එදා මුහුද ටිකක් සැරයි. මම මුහුද ඇතුලටම ඇදිලා වගේ යන්න ගියා ඒ දර්ශන තලයේ හිටපු නළුවො දෙන්නා  හුඟක් උස මහත අය .ඒ අය එකපාරටම අමාරුවෙන් වුණත් මාව ඇදලා ගත්තාඒ. වෙලාවේ නම් ඇත්තටම බය හිතුණා.. ඒත් මට විශ්වාසයක් ඇති වුණා මගේ හිත මට කිව්වා මට මොකුත් වෙන්නේ නැහැ කියලා . රැල්ලක් ආවොත් අල්ල ගන්නවා කියලා කිව්වා .ඒ දර්ශනය දෙතුන් වතාවක් ගන්න වුණා. අනිත් දර්ශනනම් හුඟාක් වෙලාවට එකපාරින් නැත්තම් දෙපාරින් ඉවර කළා කළා. එක දර්ශනයකදී පළවෙනි වතාවෙදි එයාලගේ කැමරා ප්‍රශ්නයක් වෙලා හරි ගියේ නැහැ. දෙවැනි වතාවෙදි හරියටම ගත්තා .මම එකපාරින් ඒ දර්ශනය කළාම   එයාලා මට අත්පුඩි ගැහුවා . ඉර බහිද්දිම මම ඒ දර්ශනය හරියටම අරන් දුන්නම තමයි ඒ අය මට එහෙම ප්‍රතිචාර දැක්වුවේ .අමාරු දර්ශන කරන්නවත් මම වෙනුවෙන් වෙන කෙනෙක් යොදා ගන්න මම දුන්නේ නැහැ.එයාලම මගෙන් ඇහුවා ඔයා වගේ කෙනෙක් හොයාගන්න අමාරුයි දුවන පනින දර්ශන ඔයාටම කරන්න පුළුවන්ද කියලා. ලංකාවෙ අපිට  දුවන්න පනින්න බැරි මොකද.මම සතුටින් ඒවා බාරගත්තා. ඇත්තටම ඒ අය වෙලාවට වැඩ කරනවා .හරිම පිළිවෙලයි . ඒ වගේම එයාලගෙ  කලාකරුවන්ට දෙන විදිහේ ඉස්තරම්ම කෑම අපිට දුන්නා. කිසිම වෙනසක් නොකර සැලකුවා. එයාලා කලාකරුවන්ට හුඟක් ගරු කරනවා.දර්ශනයෙන් දර්ශනයට එයාලා ළඟට ඇවිල්ලා හොඳට කරා කියලා ඒක අගය කරනවා. එයාලා  කලාකරුවන්ගේ සුවපහසුව ගැන හැමතිස්සෙම හිතනවා. නිදහසේ රඟපාන්න පසුබිම හදලා දෙනවා

කොහොමද හරිනි  මේ දවස්වල ජීවිතය?


මම හැමදාමත් ජීවිතේ දිහා බැලුවෙ හරිම සුබවාදී විදිහකට ආදරණීයම විදිහට..මගේ අම්මා තාත්තා ,මල්ලි හැමෝම ඒ විදිහට තමයි ජීවිතය දිහා බලන්නේ සහ මට ජීවිතය දිහා බලන්න පසුබිම සකස් කරලා තිබුණේ. නිරූපණ කටයුතු බොහොම ආසාවෙන් කරගෙන යනවා. කලාව කියන්නේ සිනමාව කියන්නේ මට මගේ හුස්ම වගේ දැනෙන දෙයක්. ඒක නිසා කවදාවත් මම කලාවෙන් හෝ සිනමාවෙන් සමුගන්න එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා.