මං සීමාවකට අනුව තමයි වැඩ භාරගන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'පාර දිගේ' ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයකම මේ දිනවල දකින චාමි ප්‍රියදර්ශනි කලා ක්ෂේත්‍රයට නවකයෙකි. නිරූපිකාවක් ලෙසද කාලයක් තිස්සේ කටයුතු කරන ඇය වෘත්තියෙන් ගුරුවරියක්ද වෙයි.

 
චාමි කියන්නේ වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක්ද?

මම වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් නෙවෙයි. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිදාරණියක්. දැනට මම අභ්‍යාසලාභි උපාධිදාරිණියක් විදිහට රාජ්‍ය ‍සේවයේ නිරත වෙනවා. ඊට අමතරව රංගන ශිල්පිණියක් විදිහටත් කටයුතු කරන ගමන් නිරූපණ ක්ෂේත්‍රය තුළත් කටයුතු කරනවා.
 
ඔබව අපිට දැන් දකින්න පුළුවන් මොන කලා නිර්මාණ හරහාද?

මම දැනට ස්වර්ණවාහිණියේ විකාශය වෙන පාරදිගේ ටෙලි නාට්‍යයේ දකින්න පුළුවන්. පොඩි චරිතයක් වුණත් නාට්‍යය ජනප්‍රිය එකක් නිසා ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි. ඊට අමතරව කලින් මම නාට්‍යය කිහිපයකම රඟපෑවා. නමුත්, තවමත් ඒවා විකාශය වුණේ නැහැ. ඉදිරියේදී ඒ නිර්මාණ හරහාත් මාව දකින්න පුළුවන් වේවි. ඒ වගේම තව ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා.

පොඩි පොඩි චරිතවලට වඩා ලොකුවට යමක් කරන්න අවස්ථාවක් ඔබට තාම ලැබුණේ නැද්ද?

දැනට නම් එහෙම ලොකු අවස්ථාවක් මට ලැබිලා නැහැ. එහෙම අවස්ථාවක් ලැබුණොත් මගේ රංගන හැකියාවේ උපරිමය එම චරිතයට ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඉදිරියේදි එවැනි ලොකු චරිතයක් රඟපාන්න ලැබෙයි කියලා. දැනට එහෙම අවස්ථාවකුත් මට ලැබිලා තියෙනවා.
 
රඟපාන්න ආසද ඔබ?

ඇත්තටම රඟපාන්න ගොඩක් ආසයි මම. පොඩි කාලේ ඉඳලා තිබුණ ලොකුම හීනයක් තමයි රංගනයට සම්බන්ධ වෙන එක. නමුත්, පෙඩි කාලේ මගේ පවුලේ අය කැමති වුණේ නැහැ මම රඟපානවට. නමුත්, පාසල් වේදිකවේ වගේම දහම් පාසලේ පැවති කලා කටයුතුවලට පමණක් සම්බන්ධ වෙලා වැඩ කළා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ තිබුණ කලා කටයුතුවලට දායක වුණා. එහිදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා සහෝදර ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. එතකොට තමයි හිතුණේ රංගනය පැත්තට යොමු වුණා නම් හොඳයි කියලා. ඒ අදහස පෙරදැරි කරගෙන තමයි මම රඟපාන්න ආවේ.

ක්ෂේත්‍රය තුළ විවිධ කතා තියෙනවා. එහෙම වතාවරණයක් මැද තමයි ඔබ නවකයෙක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

ඇත්තටම එහෙම කතා අහලා තියෙනවා. නමුත්, මට නම් තවම එහෙම බලපැමක් ඇති වෙලා නැහැ. නමුත්, සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙකුට ඕනැම දේකට මුහුණ දෙන්න ලැහැස්ති වෙලා ඉන්න ඕනා. ගැණු ළමයෙක් වුණාම සමාජයේ මොනවද වෙන්නේ කියලා දැනගන්න ඕනා. කලා ක්ෂේත්‍රය තුළ විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක මේ දේවල් වෙනවා. ළමයෙක් පාසලට ඇතුළත් කරගනිද්දි පවා අද ලිංගික අල්ලස් ඉල්ලනවා. රැකියාවේ උසස්වීමක් දෙන්න ඔය වගේ ආරාධනා එනවා. ඉතින් ඒ අවස්ථාවලදී අපි ක්‍රියාකරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනා.
 
නවකයන්ට දැන් කලාවට සම්බන්ධ වෙන්න විවිධ අවස්ථා ගොඩනැගිලා තියෙනවා නේද?

ඇත්තටම ඉස්සරට වැඩිය නවකයන්ට මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න පහසුයි. සමාජ මාධ්‍යයන් හරහා තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්. දැනටත් එහෙම දක්ෂතා ඉදිරිපත් කරපු ගොඩ දෙනෙක් අද වෙන කොට මේ කලා ක්ෂේත්‍රයේ ඉහළට ඇවිල්ලා තියෙනවා. රංගනය හදාරන්න වුණත් දැන් ගොඩක් අවස්ථා තියෙනවා. විවිධ පාඨමාලා වැඩමුළු තියෙනවා. ඉතින් ඉස්සරට වැඩිය අද වෙන කොට නවකයන්ට මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න පහසුයි.
 
රඟපාන්න ආවේ ඔබේ ජිවිතේ හොඳම කාලේද?

මීට කලින් රංගනය පිවිසුණා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත්, මම හිතන්නේ නැහැ දැන් වුණත් මම පරාක්කු නැහැ කියලා. මගේ පවුලේ අයගෙන තිබුණ බලපැම් නිසා මට තෙරෙන කාලේදීම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත්, ඉදිරියේදී මම දිගින් දිගටම රංගන ක්ෂේත්‍රය තුළ නියැළෙන්න බලාපොරොත්තු වෙනවා.
 
වැඩක් භාරගනිද්දි වැඩේ ගුණාත්මක බවද එයට ලැබෙන මුදල් ගැනද ඔබ වැඩිපුරම සැළකිලිමත් වෙන්නේ?

මුලින්ම බලන්නේ ඇත්තටම වැඩේ ගුණාත්මක බාවය. මොකද, අපි චරිතයක් භාරගනිද්දි ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්ද කියලා බලනවා. ගුණාත්මක භාවය වගේම අපි චරිතය වෙනුවෙන් කරන කැපවීමට කරන ගෙවිම්වලට සාධාරණයක් කරනවාද කියලා බලන්නත් ඕනා.

නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරද්දි ඔබ යම් සීමාවක සිටිනවාද?

ඔව්, තරමක් දුරට සීමාවන් තියෙනවා. මොකද, මම ගැණු ළමයෙක්. ලංකාවේ සංස්කෘතියට හානියක් වෙන දෙයක් කරන්නේ නැහැ. රංගනයේදී නම් සමහර චරිත භාරගද්දි මොන වගේ චරිතයක්ද මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ කියලා බලනවා. නිරූපණ වැඩ කරද්දි හොට් පොටෝ ෂුට් වගේ දේවල් භාරගන්නේ නැහැ.

සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධීර