ලොකු පැජන්ට්වලට වඩා පිළිගැනිමක් අද පොඩි පැජන්ට්වලට ලැබෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජාතික හා ජාත්‍යන්තර රූපරාජිණි තරග බොහෝමයක් සඳහා සහභාගි වි ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වූ රාධිකා තිළිණි ගුණවර්ධන අද ‘සාරවිට’ තරු කතාබහට අපි සමග මෙසේ සම්බන්ධ වුණේමු. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරමින් සිටියි.

 

ඔබව අපි මුලින්ම අඳුන ගත්තේ නිවේදිකාවක් විදිහට?

එහෙම කිව්වොත් හරි. හැබැයි ඊට කළින් මම පොඩි දෙයක් මතක් කරන්න ඕනා 2007 ‘සිරස කුමරිය’ තරගයට ඉදිරිපත් වීම හරහා තමයි කලා ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ මම සිරසේ කැඳැල්ල වැඩසටහන ඉදිරිපත් කළා. නමුත්, ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කරදිද් තමයි මාව ගොඩක් අය අඳුනගත්තේ.

ඒත්, ඔබේ ජිවිතේ හැරවුම් ලක්ෂය වුණේ රූපරාජිණි තරගවලට ඉදිරිපත් වීම හරහා කිව්වොත් හරි?

ඔව්, මගේ ජීවිතේ වෙනසක් ඇති වෙන්න ගත්තේ පැජන්ට් තරගවලට සහභාගී වෙලා ලබාගත්ත ජයග්‍රහණ හරහා තමයි. පොඩි කාලේ ඉඳලා මම විලාසිතා කරන්න ආසයි. ඒ වගේම තමයි මම ගොඩක් කැමැත්තෙන් හිටිය කවදාහරි ලංකාවේ ජනප්‍රිය කෙනෙක් වෙන්න. මම හිතනවා අද වෙන කොට මම ඒ තැනට ඇවිල්ලා ඉන්නවා කියලා හිතනවා.

ඔබ ඉදිරිපත් වුණ දේශිය හා විදේශිය රූපරාජිණි තරග මොනවද?

මම මුලින්ම සහභාගි වුණේ ‘කැප්රි ක්වීන්’ තරගයට. ඒ තරගයේදී මට ටයිටල් දෙකක් හම්බ වුණා. ‘කැප්රි ක්වීන්’ තරගයේදී මට ජයග්‍රහණයක් හිමි කරගන්න බැරි වුණ එක ගැන ටිකක් විතර දුක හිතුණා. නමුත්, මම රූපරාජිණි තරගයකට ඉදිරිපත් වෙන ආකාරය ගැන දැනුමක් ඒ හරහා ලබාගත්තා. ඊට පස්සේ මම ඉදිරිපත් වුණා 2005 වසරේ තිබුණ ‘මිස් වර්කින්ග් ගර්ල්’ තරගයට. එකේදී මට හම්බ වුණා ‘මිස් පොටෝජනික්’ හා සෙක්න්ඩ් රනර්අප් කියන ටයිටල් දෙක. මේ තරගයේදිත් මට හිමිවුණේ දෙවැනි තැන හින්දා මම හිතුවා කවදාහරි දවසක මම කිරූළක් ගන්නවා කියලා. 2007 වසරේ ‘සිරස කුමරිය’ තරගයට ඉදිරිපත් වුණට පස්සේ ආයෙත් මම විදෙස් ගත වුණා. නැවත ලංකාවට ඇවිල්ලා 2012 වසරේදී මම ආයෙත් සිරස ආයතනයත් එක්ක සම්බන්ධ වෙල වැඩ කළා. නිවුස් ෆස්ට් එක්ක එකතු වෙලා ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කළා. ඔය අතරේ මම 2013 වසරේ තිබුණ ‘මිසිස් වර්ල්ඩ්’ කියන පැජන්ට් එකට ඉල්ලුම් කළා. ඒ තරගයට යොමු වෙන්න සිරස ආයතනය මට උපරිම සහයෝගය දුන්නා. ඔවුන් තමයි මට අනුග්‍රාහක දායකත්වය පවා සැපයුවේ. ඒ පැජන්ට් එකෙන් මම ‘බේස්ට් නැෂනල් කොස්ට්යුම්’ වුණා. ඊට අමතරව ලංකාවට මම රන් පදක්කමක් ගේනවා. රටවල් 42ක් අතරින් තමයි මම මේ ජයග්‍රහණය මගේ මව් රටට ගේනාවේ. මම ඒ වෙලාවේ නම් ගොඩක් ආඩම්බර වුණා. ඔය අතරේ රොසැන් ඩයස් හා වාසනා දන්තනාරයන් කියන දෙන්නා සංවිධානය කළා ලංකාවේ තිබුණ  ’මිසිස් එෂියන්’ පැජන්ට් එක. මම ඒ තරගයටත් ඉල්ලුම් කළා. මොකද, මම වර්ල්ඩ් ටයිටල් එකක් දිනලා තිබුණ නිසා ආසාවක් ඇතිවුණා එෂියන් ටයිටල් එකකුත් දිනන්න. ඒ නිසා මම ඒ තරගයටත් සහභාගි වෙලා ජයග්‍රහණය අත්කර ගත්තා. මැලේසියාවේ තිබුණ තරගයෙනුත් මම තවත් මිණි ටයිටල් දෙකක් දිනුවා ‘මිසිස් එලිගන්ස්’ හ ‘බේස්ට් නැෂනල් කොස්ටියුම්’ කියලා. මම 2005 ඉඳලා 2015 වසර දහයක කාලය තුළ ජාත්‍යන්තර හා ජාතික පැජන්ට් තරග 15ක් ජයග්‍රහණය කරලා තියෙනවා.

ලංකාවේ දැන් ගොඩක් රූපරාජිණි තරග තියෙනවා. ජයග්‍රාහිකාවක් විදිහට ඔබ ඒ තරග ගැන දක්වන අදහස කුමක්ද?

අද නම් හැම තැනම පැජන්ට් තියෙනවා. විවිධ ආයතනවලින් දැන් තරග තියෙනවා ඒ තරගවලින් දිනන් ගැණු ළමයි පිට රටවල්වල තියෙන තරගවලට යොමු කරනවා. මේ කාරණය නිසා ඇත්තටම පැජන්ට් එකක් වින් කරලා එන කෙනාට අද පිළිගැනිම ගොඩක් අඩුවෙලා තියෙනවා. මම පැජන්ට් ජයග්‍රහණය කරන කාලේ මේ තරග සඳහා යොමු වුණේ ඉතා සුළු පිරිසක්. එතකොට අද අහන අහන කෙනා මොකක් හරි පැජන්ට් එකකින් දිනලා තියෙනවා. එහෙම වුණාම අර කිරූළ තියෙන වටිනාකම අද වෙන කොට හීන වෙලා තියෙනවා. අද පොඩි පොඩි පැජන්ට් ගොඩක් ලංකාවේ තියෙනවා. ඒවාත් දැන් අර මිසිස් වර්ල්ඩ්, මිස් වර්ල්ඩ්, මිස් ග්ලෝබල්, මිස් එෂියා, මිසිස් එෂියා වගේ තරගවලට ලැබෙන ප්‍රසිද්ධියම ලැබෙනවා. ඉතින් ප්‍රධාන පැජන්ට්වලින් දිනලා එන කෙනාටත් වැඩිය ප්‍රසිද්ධියක්, පිළිගැනිමක් අර පොඩි පැජන්ට්වලින් දිනලා එන කෙනාට ලැබෙනවා. ඉතින් එතැන මට ලොකු උස් පහත් බවක් පේනවා. ටයිටල් වින් කරලා තියෙන කෙනෙක් හැටියට වගේම අවුරුදු දහයක් මේ තරගවලදි ලැබුණ අත්දැකිම් මත මට හිතෙන දේ තමයි මම ඒ කිව්වේ. සමහර විට මම කියන දේ වැරදි වෙන්න පුළුවන්. මේ මගේ අදහස.

කලාවට සම්බන්ධ වෙන හීනයක් තිබුණද ඔබට?

2007 වසරේ සිරස කුමරිය තරගය ජයග්‍රහණයට කිරිමත් සමග සිරස මාධ්‍යය ආයතනයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඔය කාලේ සිරස ඩ්‍රාමා හදන භූමියක් බවට පත්වෙලා තිබුණා. එතකොට ඒ භූමියේ රැකියාව කරන කොට මට ගොඩක් ආරාධනා ආවා කලාවට සම්බන්ධ වෙන්න. නමුත්, ඒ දේවල් භාරගත්තේ නැත්තේ මම ඒ වෙන කොටත් ජත්‍යන්තර මට්ටමේ ආයතනයක් එක්ක වැඩ කරමින් හිටිය නිසා. ඒ කාලේ මම නිතරම විදෙස් ගත වුණා. මට ලැබුණ ඒ වැඩ භාරගත්ත නම් බොහෝ ඒවා අතරමඟ නවත්වන්න සිදු වෙනවා. ඒ හින්දා මම රංගනය පැත්තට එකතු වෙන්න අදිමදි කළා. නමුත්, මම නිවේදිකාවක් විදිහට දිගින් දිගටම සිරසත් එක්ක වැඩ කළා. දැන් නම් කලාවට මම සම්බන්ධ වෙලා ඉන්නවා.

රඟපාන්න පුළුවන්ද ඔබට?

මම පසුගිය ‘ඉන්ටර්නැෂනල්’ කියන ඩ්‍රාමා එකට සම්බන්ධ වුණා. එහි පළමු කොටස දැන් ඉවරයි. මේ දිනවල එහි දෙවැනි ඩ්‍රාමා එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව තව වැඩ දෙක තුනකට කතා කරලා තියෙනවා. මට රඟපාන්න පුළුවන්ද කියන ප්‍රශ්නේට උත්තරයක් දෙනවා නම් ඇත්තටම අපි සැබැ ජිවිතේ කරන්නෙත් රංගනයක්. සැමියා ඉදිරියේ බිරිඳක් විදිහට රඟපානවා. දරුවන් ඉදිරියේ මවක් විදිහට රඟපානවා. රඟපානවා කියන එක ලොකු අමාරු දෙයක් නෙමෙයි. හිතට අරගෙන දෙබස් ටික හරියට කියන්න පුළුවන් නම් රඟපානවා කියන එක අමාරු දෙයක් නෙමෙයි කියලයි මගේ අදහස.

ඔබ විවාහක කෙනෙක්. විවාහක කෙනෙකුට මේ ක්ෂේත්‍රය සුදුසුද?

තමන් හරි දේ කරනවා නම් තමන් වැරදි දේ කරන්නේ නැත්නම් ඕනැම රස්සාවක් හරියට කරන්න පුළුවන්. තමන් හැම තිස්සේම තමන්ගේ දක්ෂතවය ඉස්මතු කරල වැඩ කරනවා නම් ඒ තුළින් සාර්ථකත්වයක් දකින්න පුළුවන්. හැමදේම තියෙන්නේ තමන්ගේ අතේ තමයි. කලාවට සම්බන්ධ වෙලා වැඩ කරන එක වගේම තමන්ගේ පවුලේ වගකිම් ටික හරියටම ඉටු කරලා මේ හැම දෙයක්ම සමබරව කරගන්න පුළුවන් නම් මම හිතනවා ඕනැම කෙනෙකුට මේ ක්ෂේත්‍රය සුදුසුයි කියලා.

සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධීර