පඩිපෙලෙන් වැටුණු වෙලාවෙ තුවාල වුණා

  • 29-05-2021

රවින්ද විජේරත්නගේ ‘‘සුජාතා’’ ටෙලි මාලාවෙන් රංගනයට පැමිණි මේ පුංචි රංගන ශිල්පිනිය, ඉන් පසුව ආනන්ද අබේනායකගේ තාරා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් සම්මාන පවා හිමිකර ගත්තාය. උදයකාන්තගේ ‘‘බන්ධනය’’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්ද සම්මාන ලැබූ ඇය, සකූගේ කතාව, සහ ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ දේදුනු ආකාසේ චිත්‍රපටයේ රඟපෑව මේ දිනවල හමුවන්නේ ඔහුගේම නිර්මාණයක් වන සිරසේ විකාශය කෙරෙන ‘‘සකූගේ ලෝකය’’ ටෙලි මලාව සමගයි. සකූගේ ලෝකය හැඩ කරන මේ ළමා රංගන ශිල්පිනියගේ ලෝකය මොන වගේද කියා අපි බලමු.

සහේලි කියනවට ද කැමති? සදිත්මා කියනවටද?

සහේලි

ඔයාගේ නමේ තේරුම කියමු?

සඳ මෙන් බබලන.

සහේලිගෙ පවුලේ විස්තර කියමු?

අම්මගෙ නම ඉමානි කළුආරච්චි. තාත්තා වසන්ත සතරසිංහ. තාත්තා රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුවෙක්.

සහේලි ක්‍රිකට් ගහන්නෙ නැහැ?

නැහැ.

පවුලේ ඔයා විතරද?

මට නංගියෙක් සහ මල්ලියෙක් ඉන්නවා.

මේ දිනවල සහේලි ගෙදරට වෙලා මොනවද කරන්නෙ?

සකූගේ ලෝකය ෂූටිං වලට යනවා.

ඉතින් කියන්නකො ෂූටිං කරන විදිය.

කුරුණෑගල කොළඹ අතර රූගත කිරීම් කරන්නෙ. පසුගිය දිනවල කුරුණෑගල හිටියෙ.

කොහොමද ඉස්කෝලේ වැඩ එහෙම?

චුට්ටක් - චුට්ටක් අතපසු වෙනවා. එතකොට උදවු කරන්නෙ ටීචර්ස්ලා සහ යාළුවෝ. ප්‍රින්සිපල් චින්තා මැඩම්වත් මතක් කරන්න ඕනෑ. 

දැන් කීවෙනි පංතියෙද?

8 වසර.

මොන විෂයටද වඩා ආසා?

ඔක්කෝටම ආසයි.
විද්‍යාවට හරි ආසයි.

ගෙදරදි විද්‍යා පරීක්ෂණ එහෙම කරනවද?

මායි නංගියි සමහර වෙලාවට අත්හදා බැලීම් එහෙම කරනවා.

කවදාහරි කවුරු වගේ වෙන්නද ආසා?

හොඳ කෙනෙක් වෙන්න.

‘‘සහේලි’’ මොන වගේද?

සකු වගේ අහිංසකයි කියලා හැමෝම කියනවා. ඒක ඇත්ත.

ගෙදර වැඩත් කරනවද?

අම්මට උදවු කරනවා, නංගිට උගන්වනවා.

කේන්තිත් යනවද?

ලොකුවට යන්නෙ නැහැ. සමහර වෙලාවට යනවා. අපේ නංගි එක්ක විතරක් ටිකක් කේන්ති යනවා.

ගෙදරදි අක්කයි-නංගියි එකතු වෙලා කරන දේවල් මොනවද?

එයා නටන ඒවා වීඩියෝ කරලා ඒවා හදනවා. කෙටි චිත්‍රපටත් හදනවා.

‘‘සහේලිට’’ ක්‍රීඩා පුළුවන්ද?

ක්‍රීඩාවලට එතරම් බර නැහැ. සෞන්දර්ය විෂයන්ට තෝරා ගත්තෙ ඩ්‍රාමා.

සකූට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සකූගේ ලෝකය කවදද යන්නෙ කියලා බලාගෙන හිටියෙ. ‘‘සකූ’’ දැන් ලොකුවෙලා ලස්සන වෙලා කියලා අම්මට කෝල් කරලා කියනවා. නංගිලා මල්ලිලා බොහෝ දෙනෙක් කතා කරලා ‘‘සකූ’’ අක්කා කෝ කියලා අහනවා.

සකූ වෙනුවෙන් ගීත ගයන්නේ කවුද?

සජනි කවිෂා අක්කා. 

සහේලිට සිංදු කියන්න බැරිද?

සකූ තරමටම බැහැ.

රඟපෑම් හැර වෙන මොනවද වඩා පුළුවන්.

ඉස්සර නැටුවා. කොරෝනා නිසා නටාගෙන ආපු නැටුම නැවතුණා. ආයෙත් පටන් ගන්න ඕනෑ.

මේ දක්වා විකාශය වූ කොටස්වලදී රඟපාන්න ගිහින් ‘‘සාකුට’’ වෙච්ච දේවල් කියන්න පුළුවන්ද?

සකූගේ ලොකය 5 වෙනි කොටසේ සකූ මැරෙනවා කියලා පෙන්වන්නෙ. ‘‘සකූ’’ පඩිපෙළින් වැටුණ වෙලාවෙ තුවාල වුණා. ඒක මට හරිම අමාරු වුණා. ඒත් කොහොමහරි වැඩේ ලස්සනට කළා.

සකූගේ ලෝකය සහේලි රඟපාන කී වෙනි නාට්‍යයද?

සුජාතා, තාරා, සකූගේ කතාව, බන්ධනය චිත්‍රපටය, දේදුණු ආකාසේ චිත්‍රපටය, දැන් සකූගේ ලෝකය.

මේ රඟපෑ චරිතවලින් සහේලි වැඩියෙන්ම කැමති?

බන්ධනය ෆිල්ම් එකේ සුමනාට.

දඟ වැඩ මොනවද?

මං හිතන්නෙ මම දඟ නැහැ.

ඔයා ගැන හරියටම දන්නෙ කවුද?

අම්මා තමයි ඉතින්.

සකූගේ අම්මා කියන කතාව

මේ සහේලිට ගෙදරට අමතන්නෙ?

සහේලිම තමයි.

මෙයා රඟපාන්න යොමු කළේ ඇයි?

මුලින්ම වෙළෙඳ දැන්වීම්වලට හිටියේ. මගෙ නංගි ධනංජි තාරුකා රඟපාන නිසා. එයා තමයි මුලින්ම වෙළෙඳ දැන්වීම්වලට යොමු කළේ. ඒ අතරදි තමයි ‘‘සුජාතා’’ රඟපෑමට අවස්ථාව ලැබුණේ.

මෙයාගෙ දකින හොඳම දේ?

එයා පවුලට හරිම ලැදියි. කරන හැම දෙයක්ම අපෙන් අහලා කරන්නෙ. ෆ්‍රිජ් එක ඇරලා මේක කන්නද කියලා පවා අපෙන් අහලා තමයි කෑමක් කන්නෙ.

මොනවද අම්මගෙන් අහලා ඉල්ලන කෑම?

පිට ගියාම කන්නෙම නැහැ. ගෙදරදි චොකලට් කේක් කන්න හරිම ආසයි. මමයි දුවයි එකතු වෙලා කේක් හදන්න පුරුදු වුණා. කොරෝනා කාලයේදී අපි කළේ කේක් හදන එක තමයි.

කාගේ සිංදුවලටද එයා ආසා?

එයාට ගයන්න පුළුවනි. එයා වැඩිපුර උමාරියා සහ අමරදේව මාස්ටර් ගයන ‘‘හන්තාන අරනේ’’ සිංදුවට හරි ආසයි. 

සහේලි වෙතින් දකින විශේෂ දක්ෂතාවය?

රඟපෑමට පොඩි කාලයේ ඉඳලාම එයා දක්ෂයි.

ගෙවී ගිය කාලයේදී එයා ගැන හොඳම මතකය?

එයා සම්මාන ගත්ත අවස්ථාවල සුමති සම්මාන උළෙලෙදි ප්‍රථමව ලැබූ ඒ සම්මානය හරියට දැනුණා. විශේෂයෙන්ම ප්‍රියන්ත කොළඹගේ මහතාව මතක් කරන්න ඕනෑ. එයා සහේලි දුවට හරි ආදරෙයි.

සහේලිගෙ වයස?

මේ අවුරුද්දට අවුරුදු 13යි.

ඉන්නෙ?

බොරැල්ලෙ

පාසල?

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය.

සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත බොහොමයක් 

‘‘සකූගේ ලෝකය’’ නාට්‍යයට ඇතුළත් වෙනවා. ඒ ගීත අතරින් ‘‘සහේලි’’ වඩා කැමති?
එතුමාගෙ ඔක්කොම ගීතවලට ආසයි. ඒ අතරින් ‘‘වරෙං හීන් සැරේ’’ ගීතයට හරිම ආසයි.

ධනංජි තාරුකා, සහේලිගෙ කවුද?

පුංචි අම්මා.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20210528Saheli-2 20210528Saheli-1