මඟුලක් කතා කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20161202sara-1පහුගිය දවසෙ මියගිය විජය නන්දසිරි කියන නළුවා ගැන පොඩි දෙයක් ලියන්න ඕන කියලා හිතුවා. විජය මියගිය මොහොතෙම විජය ගැන ලියන්න කට්ටිය පෝලිමක් හිටියට දැන් විජය ගැන ලියන්න උනන්දුවක් කාටවත් නෑ. තව කවුරුහරි ප්‍රසිද්ධ කලාකරුවෙක් මියයනකම් ඔය ශෝක ප්‍රකාශ ලියන්න බලාගෙන ඉන්න අයට පොඩි විවේක කාලයක් හම්බවෙලා තියෙන්නේ.

විජය නන්දසිරි ගැන ලියන්න හිතුණ හේතුව තමයි මේ දවස්වල තිරගතවෙන විජය නන්දසිරි අන්තිමට රඟපාපු චිත්‍රපටය කියලා කියන ‘64 මායම්’ චිත්‍රපටය බලපු එක, මේ චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹලා වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාවෙන් එළියට ආවට පස්සෙ හැමෝම ඇහුවෙ ෆිල්ම් එක ගැන මොකද කියන්නේ කියලා. මම එහෙම අහපු හැමෝටම කිව්වේ “චිත්‍රපටය ගැන කියන්න මහලොකු දෙයක් නෑ ඒ කොහොම වුණත් මේක බලන්න විජය නන්දසිරි ජීවතුන් අතර නැතිවුණු එකනම් ලොකු දෙයක්” කියලා.

විජය නන්දසිරි කියන්නෙ අතිශය වේගයෙන් වසර කිහිපයක් තුළ සිනමාවේ, වේදිකාවේ, ටෙලි නාට්‍ය‘යේ නැතුව බැරි චරිතයක් වුණු නළුවෙක්. ඒ වේගයටම මිනිහට වැඩක් හම්බවුණා.

ඒ වැඩ හම්බවුණු වේගය වැඩිකමටම විජය නන්දසිරිගෙ රඟපෑමත් ඒ වේගයෙන්ම ඒකාකාරී වුණා. ඒක නිසා අන්තිමට විජයට ලොකු මුදලක් ඉතුරු කරන්න පුළුවන් වුණාම හොඳ රඟපෑමක් ඉතුරු කරලා යන්න බැරිවුණා. ඒකෙ අවාසනාවන්තකම උදාහරණය තමයි අන්තිමට රඟපෑවා කියලා ප්‍රචාරය කරමින් දැන් තිරගතවෙන ‘64 මායම්’ චිත්‍රපටය.

මෑත කාලයේ විජය නන්දසිරිගෙ දියාරුම රංගනයක් දැකපු චිත්‍රපටයක් තමයි ‘64 මායම්’ කියන්නේ. ඇත්තටම ඒක නම් විජය අන්තිමට රඟපාපු චිත්‍රපටිය විජය ජීවතුන් අතර හිටියත් රඟපෑම නවත්තන එක හොඳයි කියලා හිතෙනවා. මොකද ඒ රඟපෑම ඒ තරම්ම චොරයි. චොරයි කියන්නේ චොරේ චොරයි.

විකට නළුවෙක් වුණාට පස්සේ එකම තාලේ චරිත තොග ගණනින් විජයට ලැබීම නිසා විජයටම තමන් කරන චරිතෙ මොකද්ද කියලා පැටළුණා කියලයි අපිට නම් හිතෙන්නෙ. ඒත් මෑත කාලේ විකටයෝ කියලා බිහිවුණු නළුවෝ බුරුත්ත අතරේ විජයට කැපී පේන්න පුළුවන් වුණා.

විජය අන්තිම වතාවට රඟපාපු චිත්‍රපටය කියලා මාර්කට් කරමින් යන ‘64 මායම්’  චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුදේශ් වසන්ත පීරිස්. සුදේශ් කියන්නේ 80 දශකයේ හොඳට දුවපු කොමර්ෂල් ෆිල්ම් හදපු සුනිල් සෝම පීරිස්ගෙ පුතා. හැබැයි අන්තිම සුනිල් සෝම පීරිස් හැදුවෙත් ‘අලී සුරතල්’ ජාතියේ මෙලෝ රහක් නැති චිත්‍රපටි. ‘64 මායම්’ සුනිල් ටී. ප්‍රනාන්දුගෙ 64 වෙනි චිත්‍රපට නිෂ්පාදනය. සුනිල් ටී. ප්‍රනාන්දු තරම් චිත්‍රපටවලට සල්ලි වියදම් කරපු නිෂ්පාදකයෙක් මෑත කාලේ නැති තරම්. සුනිල් කරපු චිත්‍රපට 64 න් ඇත්තටම කටක් ඇරලා චිත්‍රපටි කියලා කියන්න පුළුවන් ඒවා තියෙන්නේ කීයෙන් කීයද කියන එක වෙනම හොයල බලන්න ඕන කාරණයක්. ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබල් එකෙන් චිත්‍රපට හදලා අතිශය වැඩිහිටියන්ට උපරිම වින්දනයක් සපයපු සුනිල් ටී. දැන් එයාගෙ ට්‍රැක් එක ටිකක් මාරු කරලා වෙන වැඩවලටත් අත ගහනවා. එකෙන් මිනිහා තමන්ගේ වැඩිහිටියන්ට පමණයි සිනමා අතීතය අමතක කරවන්න හදනවා වගේ. හැබැයි සුනිල් ටීගෙ මැදිහත්වීම උඩ දක්ෂ තරුණ සිනමාකරුවො කීප දෙනෙකුගෙ අතරමග හිරවෙලා තැබුණු චිත්‍රපටි කීපයක්ම රිදී තිරයට ආවා. කොහොම නමුත් දිගින් දිගටම සිනමාවේ රැඳී ඉන්නත් මොකක්ම හරි කැසිල්ලක් තියෙන්නත් ඕන.

20160830Sara-1

 

සුනිල් ටී.ගෙ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයෙ ආදායමෙන් චිත්‍රපටි සංස්ථාවේ සේවකයන්ට බෝනස් ගෙවපු අතීත කතාවකුත් අපි අහලා තියෙනවා.

විජය නන්දසිරිට  අවසන් කාලයේ සිදුවුණු රංගන අභාග්‍යයට වගකියන්නත් ඕන එයාම තමයි. ඕනෑම කෙනෙක් එකවගේ චරිතයකින් දෙකකින් ජනප්‍රිය වුණාම දිගින් දිගටම ඒ ජාතියේම චරිත ලැබෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ පුද්ගලයා දැනගන්න ඕන එකෙන් තමන්ට ගැළපෙන දේ විතරක් තෝරගෙන කරන්න. එහෙම නැතුව මුදල හෝ වෙනයම් කාරණයක් මුල්කරගෙන දොඩම්ගොඩ බදාගන්න ගියාම වැඩේ දෙල් වෙනවා තමයි.

අන්තිමට ගොඩක් කලාකරුවො පත්වෙන ආර්ථික අපහසුතාව උඩ ඕනෑම චරිතයක් රඟපාන්න පෙළඹෙන්න පුළුවන්. විමල් කුමාර ද කොස්තා ‘ ආටක නාටක’ කියන මෝඩ ජොක්වල රඟපෑම උදාහරණයක් හැටියට කියන්න පුළුවන්. ඒත් අපි දන්න තරමට විජය නන්දසිරිට එහෙම ආර්ථික අහේනියක් තිබුණෙ නෑ. එහෙම වෙලත්  විජය මේ වගේ තැනකට වැටිච්ච එක ගැන අපිට තියෙන්නේ කනගාටුවක්.

‘64 මායම්’ චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්නද්දී බැරි වෙලාවක් විජය නන්දසිරි ජීවතුන් අතර ඉඳලා එයත් ඒකට ඇවිත් චිත්‍රපටිය නරඹලා එළියට එනකොට කවුරු හරි ‘කොහොමද විජය අයියා චිත්‍රපටිය’ කියලා ඇහුවනම් හෘද සාක්ෂියට එකඟව විජයට කියන්න වෙන්නෙ ‘සිකුරු හතේ’ චිත්‍රපටියෙදී නිතරම කිව්වා වගේ ‘මඟුලක් කතා කරනවා’ කියලා තමයි.

ප්‍රියන්ත කොඩිප්පිලි