ජීවිතය එක්තැන් කරන ශිල්පා ෂෙට්ටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉහළ අහසේ සැරිසරමින් සිටින අයෙකු එක්වරම පොළවට ඇද වැටුණ කල කැබලිවලට බිඳී විසිරෙන්නේය. ඒ බිඳුණු කැබලි නැවතත් එක් කර පුරුදු ප්‍රතිරූපය ගොඩ නංවා ගන්නට සුවිසල් ආයාසයක් දැරිය යුතුය. එසේ එක් කර ගත්තේ වී නමුදු කැළැල් වසන් කරන්නට පුළුවන්කමක් නැත. ඒවා වරින්වර වේදනා දෙන්නේය. සිය සැමියා වන කීර්තිමත් ව්‍යාපාරික රාජ් කුන්ද්‍රා, වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටි ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කල ශිල්පා ෂෙට්ටිට ද මුහුණ දෙන්නට සිදු වූයේ එබඳු තත්වයකටය. එහෙත් ඇය සෙමින් සෙමින් යථාර්ථයට මුහුණ දෙන්නට හිත හදා ගත්තාය. මෑතකදී ඇය තමා සහාය විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කරන සුපර් ඩාන්සර් 4 රියැලිටි වැඩ සටහනට ද නැවත සම්බන්ධ වූවාය. ඇය සිය දියණිය සමීශා වඩාගෙන, සිනාමුසු මුහුණින් යුතුව සිටින ඡායාරූපයක් ද අන්තර්ජාලයේ පළ වී තිබිණි. කෙසේ වෙතත් සියල්ල වෙනස් වෙමින් පවතින බව ඇගේ මිතුරියක් ඉඟි කර තිබිණි. රාජ් කුන්ද්‍රා අත්අඩංගුවට පත් වී තිබුණේ ජූලි 19 දාය. ඔහු ඇප ලබා ගන්නට උත්සාහ කළ ද මේ ජාවාරමේ මහ මොළකරු ඔහු බවට සැක කරන මුම්බායි පොලීසිය ඇප ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වා නැත. 
 
ශිල්පා සිය සැමියා සමඟ වාසය කළ නිවසින් ඉවත් වී දරුවන් දෙදෙනා ද  සමඟ වෙනම නිවසක පදිංචි වෙන්නට තීරණය කළ බවට කට කතා පසුගිය දිනවල පැතිර ගොස් තිබිණි. ඒවා වඩාත් වැඩි වූයේ ඇගේ මිතුරියකගේ ප්‍රකාශයක් සමඟය. 
 
“රාජ් කුන්ද්‍රාගේ සිද්ධිය දවසින්දවසම වෙනස් වෙනස් පැතිවලට හැරෙනවා.. ඒක කවදා කොයි විදියට ඉවර වෙයි ද කියලා කියන්න බෑ.. ඇත්තටම ඒක අපිටත් කම්පනයක් වුණා.. ඉතින් ශිල්පාට දැනුණ කම්පනය මොන තරම් ද කියලා අනුමාන කරන්න පුළුවන්නෙ.. අපි දන්න විදියට ඇය රාජ් කුන්ද්‍රා වැරදි විදියට උපයා ගත්තා කියන වත්කම්වලට අත නොතියන්න තීරණය කරලා ඉවරයි.. රියැලිටි වැඩ සටහන්වලට සම්බන්ධ වෙලා ඇය මුදල් උපයනවා.. ඒ වගේම ඇය හුංගම 2 සහ නිකම්මා චිත්‍රපටිවල රඟ පෑවා.. චිත්‍රපටි ක්ෂේත්‍රයේ ඇගේ මිතුරුමිතුරියන් ඇයට උදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා.. තමන් නැවතත් රඟ පාන්න ලෑස්තියි කියලා ඇය කිව්ව ගමන්ම චිත්‍රපටි නිෂ්පාදක අනුරාග් බාසු  වගේම අධ්‍යක්ෂ ප්‍රියදර්ශනුත් ඔවුන් ගේ චිත්‍රපටිවලට ඇයට ආරාධනා කරලා තියෙනවා.. ඇත්තටම රාජ් දිග කාලෙකට ඇතුළට ගියත් සුවපහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් තරමට මුදල් උපයා ගන්න ශිල්පට බැරි වෙන එකක් නෑ..” 
මිතුරිය කියා තිබිණි. 
 
2016 වසරේදී ද ශිල්පා සිය සැමියාගෙන් වෙන් වෙන්නට තීරණය කළ බවට කට කතාවක් ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබිණි. ඒ අවස්ථාවේ ශිල්පා එයට ප්‍රතිචාර දැක්වූයේ කෝපයෙනි. 
 
“ඇත්තටම මේ වගේ කතා හදන්න මිනිස්සුන්ට පිස්සු ද..? මම මගෙ සැමියට ආදරෙයි.. ඔහු මගේ ආත්මගත සහකාරයා.. මම කිසිම කෙනෙකුට කිසිම දෙයක් පැහැදිලි කරන්න ඕන කියලා හිතන කෙනෙක් නෙමෙයි මම.. ඒත් මගේ නිහැඬියාව කටකතා හදන්න දෙන අවසරයක් කියලා හිතලා මාව කේන්ති කරවන්න එපා..”
 
ඇය එකල මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබිණි. 
 
මේ සිද්ධියේදී ඇය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ මුම්බායි පොලීසිය හා ඉන්දියානු අධිකරණය පිළිබඳව විශ්වාසය තමා තුළ පවතින බවය. තමා පිළිබඳව කටකතා හා වැරදි තොරතුරු නොපතුරුවන ලෙස ද ඇය සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියාය. 
“මගේ දර්ශනය තමයි කවදාවත් පැමිණිලි කරන්න එපා.. කවදාවත් හේතු දක්වන්න යන්න එපා කියන එක.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. අපේ පවුලේ අය නීතියට අනුව කරන්න ඕන දේවල් කරමින් ඉන්නෙ.. අම්මා කෙනෙක් විදියට මම හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ මගේ දරුවන්ගෙ ආරක්ෂාව ගැන හිතන්න, අපේ පෞද්ගලිකත්වයට ගරු කරන්න කියලා..” ඇය කියා තිබිණි.