එයා පරිසරයත් එක්ක ඉන්න කැමති කෙනක්. වත්තේ ඉඳිද්දි මම එයාට සෙරෙප්පු දෙකවත් දාන්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොෂාන්.. අපිට චූටි පුතාගේ නම කියන්න?

චූටි පුතාගේ නම මිනෙත් රණවන. දැන් එයාට වයස අවුරුදු දෙකයි මාස නවයයි.

චූටි පුතා දැන් දඟයිද?

ඔව්.. දැන් නම් එයා ගොඩක් දඟයි. හරිම ක්‍රියාශීලීයි. හැම වෙලාවෙම මොකක් හරි වැඩක් කරනවා. උඩ නගිනවා. දුවනවා. ඒ වගේ හරි අපූරු කාලයක් තමයි එයා මේ ගත කරන්නේ.

චූටි පුතා ඉපදෙන්න ළංවෙද්දී රොෂාන් බොහොමයක් වැඩ බාරගත්තෙ නැහැ?

ඔව්.. කුශ්ලානිගේ කුසේ දරු පැටියෙක් ඉන්නවා කියලා ඒ සුබ ආරංචිය ලැබුණු දා පටන් මට එයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න ඕන වුණා. ඒ වෙද්දි මම චිත්‍රපට කිහිපයකටම එකදිගට සම්බන්ධවෙලයි හිටියේ. ඒ කාලෙදි මම 'ඉත්තෝ' නම් ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා හිටියා. ඒකෙ රෑගත කිරීම් කෙරුණෙ මාසයකට දින කිහිපයක් විතරයි. ඒ නිසා කුශ්ලානි එක්ක ඒ මුල් කාලයෙදි මම ළඟින්ම හිටියා. පාස්කු ප්‍රහාරයත් එක්ක, කොවිඩ් වෛරසයත් එක්ක වරින් වර වැඩ කටයුතු නතර වුණා. ඒ හැමදේම එක්ක මට ගෙදර රුඳෙන්න වැඩි අවස්ථාවක් ලැබුණා. රෝහලට ගිහින් වෛද්‍යවරුන් මුණගැහෙන්න තිබුණු හැම දවසකම මම කුශ්ලානිත් එක්ක ඒ දේවල්වලට ගියා. ඒ නිසා පුතා ඉපදෙන්න කලින් වගේම ඉපදුණාට පස්සෙත් කුශ්ලානිගේ ළඟට වෙලා පුතා ළඟට වෙලා ඉන්න මට පුළුවන් වුණා.

චූටි පුතා මුලින්ම කිව්වෙ අම්මද? තාත්තද?

එයා මුලින්ම කිව්වෙ 'අම්මා' කියලයි. එයාට මාස පහේදි විතර එයා 'අම්මා' කියලා කිව්වා. ඒ හැමදේම මම සටහන් කරගෙනයි ඉන්නේ.

පුංචි පුතා කරන දඟ වැඩවලට රොෂාන් නිදහස දීලද තියෙන්නෙ?

ඔව්.. අපි හැමවෙලාවෙම එයා ගැන හොයලා බලනවා. එයා දිහා බලාගෙනයි ඉන්නෙ. හැබැයි දඟලද්දි තහංචි දාන්නෙ නැහැ. එයා ඉපදෙන්නත් කලින්ම අපි පුතාට උඩ තට්ටුවේ 'play room' එකක් හදලයි තිබුණේ. ඒකෙදි නිදහසේ එයාට හිතේ හැටියට සෙල්ලම් කරන්න පුළුවන්. ඕනෑම දෙයක් කරන්න එතන නිදහස තියෙනවා. එතන විතරක් නෙවේ අපේ අනිත් කාමරවලටත් ඇවිත් එයා ඔය පැන්සලකින්, හුණු කූරකින් බිත්ති පුරා ඇන්දා. අපි ඒකට එයාට දඬුවමක් කළේවත්, එපා කිව්වෙවත් නැහැ. එයාගේ නිර්මාණශීලී අදහස්වලට අපි කවදාවත් බාධා කළේ නැහැ. ගෙයක් ආයෙත් තීන්ත ගාලා ලස්සන කර ගන්න පුළුවන්. හැබැයි දරුවෙක්ගේ නිර්මාණශීලීත්වයට බාධා කළොත් ඒක ආයෙත් ගන්න බැහැ. ඒ නිසා එයාට ඕන තරම් ඒ දේවල්වලට නිදහස දීලයි තිබුණේ. දැන් නම් එයා එහෙම වැඩිය බිත්තිවල අඳින්නෙ නැහැ.

රොෂාන්ගේ මිදුලේ තියෙන ගහකොළ පුංචි පුතා හොඳට හඳුනනවා කියලයි ආරංචිය?

ඔව්.. මමයි කුශ්ලානියි ගහකොළවලට හරි ආදරෙයි. කුශ්ලානිගේ අම්මත් ගහකොළවලට හරි ආදරෙයි. පුංචි පුතා චූටි කාලේ ඉඳන්ම ඒ ආදරේ දැක්කා. ගහක් පැළ කරන හැටි, සාත්තු කරන හැටි, ගහකොළවලට ආදරය කරන හැටි අපි එයාට කියලා දුන්නා. උදේට අපි වත්ත අතුගාද්දි එයත් ඇවිත් කොළ එකතු කරනවා. වත්තේ තියෙන පළතුරු ගස් පුංචි කාලේ ඉඳන්ම පුතා හඳුනනවා. පුංචි කාලෙදි අපේ වත්තේ ගහක නමක් කිව්වම එයා ඒ ගහ ළඟට ගියා. ඒ තරමටම එයාට ඒ ගස මතකයි. බිම වැටුණු ලොවි අහුලගෙන එයා කනවා. ඒවාට වුණත් අපි තහංචි දාලා නැහැ. එයා පරිසරයත් එක්ක ඉන්න කැමති කෙනක්. වත්තේ ඉඳිද්දි මම එයාට සෙරෙප්පු දෙකවත් දාන්නෙ නැහැ. වත්ත ටිකක් ලොකු නිසා ඔය පුංචි පුංචි සත්තුත් වත්තේ ඉන්නවා. ඒ නිසාම හිටපු ගමන් පොඩි සෙරෙප්පු දෙකක් දානවා. හැබැයි තණකොළවල ඇවිදින්න මම එයාට කියලා දීලයි තියෙන්නේ. එයාගේ අත්තම්මා (කුශ්ලානිගේ අම්මා) නම් සෙරෙප්පු දෙකක් වැඩි පරිස්සමට දානවා. පුතාට අද සපත්තු, සෙරෙප්පු නැතිවත් පාරක වුණත් යන්න පුළුවන්. සමහර වෙලාවට කුකුලේ පොඩි පොඩි කටු ඇනිලත් තියෙනවා. ඒක පුතා දන්නෙවත් නැහැ. ඒක එයාට ගාණක් නැහැ. සමහර වෙලාවට වත්තෙදි පොඩි කඩියෙක් කාලා මූණ වෙනස් කරගෙන අපි ළඟට දුවගෙන එද්දි තමයි අපිට තේරෙන්නෙ. ඒ වගේ එයා මේ පරිසරයට හරි පුරුදුයි. අපේ කකුල් දෙක මේ පොළොවේ ගෑවෙද්දි අපි පරිසරයත් එක්ක සම්බන්ධ වෙනවා කියලා මම විශ්වාස කරනවා.

පුතාගේ කෑම බීමවලට විශේෂත්වයක් තියෙනවද?

නැහැ. එහෙම නැහැ. අපි කන කෑමම තමයි එයාටත් දෙන්නෙ. විශේෂත්වයක් නැහැ. එයාට දෙන්න පුළුවන් ගුණාත්මක කෑම අපි එයාට ලබා දෙනවා.

දැන් පුතා ළදරු පාසල් යනවනෙ. මුලින්ම පාසලට ගිය දවසේ ඇඬුවද?

මුලින්ම ගිය දවසේ විතරක් නෙමේ පාසල් වරුවක් පුතා ඇඬුවා. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙදි අපි පුතාව ළදරු පාසලට දැම්මා. එදා ඉඳන් වරුවක්ම කුශ්ලානිට එතනට වෙලා ඉන්න සිද්ධ වුණා. මේ අවුරුද්දේ ඉඳන් තමයි පුතා තනියම ඉස්කෝලෙ ඉන්නෙ. හැබැයි ඉතින් සමහරදාට උදේට මූණ ටිකක් වෙනස් කරගෙන තමයි ගෙයින් එළියට යන්නෙ. බොහෝ වෙලාවට දැන් නම් හරිම ආසාවෙන් යනවා.

කුශ්ලානි එක්ක, චූටි පුතා එක්ක අද ගෙවන ජීවිතේ ගැන රොෂාන්ට මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. පවුලක් වුණාට පස්සෙ බලාපොරොත්තු තියෙනවා. පුංචි පුතාව උස් මහත් කරලා, ගුණයහපත් පුරවැසියෙක් කරන්න, එයාට හොඳට උගන්වන බලාපොරොත්තුවත් එක්ක අපිට දැන් වැඩ වැඩියි. දැන් බලාපොරොත්තු එක්ක තමයි ජීවත් වෙන්නෙ. දැන් අපිට වගකීමක් තියෙනවා. ඒ දේට මම හරි ආසයි. 

චූටි පුතා ඉන්න වෙළෙඳ දැන්වීම රූපවාහිනියෙන් දකිද්දි එයා ප්‍රතිචාර දක්වනවද?

අම්මෝ ඔව්.. චූටි කාලේ ඉඳන්ම එයා ඒ වෙළෙඳ දැන්වීම හඳුනනවා. ඒ වෙළෙඳ දැන්වීම පොඩි කාලෙදිත් රෑපවාහිනියේ යද්දි ඒ සද්දය ඇහුණු ගමන් කොහේ හිටියත් රෑපවාහිනිය ඉස්සරහට ඇවිත් බලලා හිනා වෙනවා. පුංචි කාලේ ඉඳන්ම ඒකට දක්වන ප්‍රතිචාරය හරි අපූරුයි. ඒ වෙළෙඳ දැන්වීමේ ඉන්නෙ එයා කියලා පුතා දන්නවා.

දිශානි