මේ තුන් ලෝකෙම නැති තරම් වස විස ප්‍රමාණයක් අද අපිට කන්න සිද්ද වෙලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකාව”ඔහුගේ ජීවිතය විය. ටෙලි නාට්‍යය, සිනමාව තුළද ඔහු දක්වන රංගන කෞශල්‍යය කිසිවෙකුටවත් දෙවැනි නැත. ශක්තිමත් හඬ පෞරුෂය නිසාම ඔහු අද වන විට හඬ කැවීම් ශිල්පියෙකු ලෙස ද බොහෝ දුර පැමිණ ඇත. මේ සෑම දේම කරන අතරේ ඔහු දරුවන් දහස් ගණනකගේ නෙත පාදන වෘත්තියෙන් ගුරුවරයෙකු ද වේ. අපි හමු වූයේ ධර්මප්‍රිය ඩයස් නම්  එ ... අසහාය රංගධරයාය. 

• කලාවටද වැඩිපුරම කැමති ගුරු වෘත්තියට ද ?

අම්මෝ ....අමාරුම ප්‍රශ්නයක් .ඇත්තටම මම කලාවට ගොඩක් ආදරේ. නමුත් ලංකාව වගේ රටක කලාව පමණක් කරලා ආර්ථිකය යහපත් ව පවත්වා ගන්න අමාරුයි. ඒ නිසා  ස්ථීර රැකියාවක් තිබිය යුතුමයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර හා මූර්ති විෂයන්  හැදෑරූ මම අද වන විට චිත්‍ර විෂයත්  , නාට්‍ය සහ රංග කලාවත් උගන්වන  ගුරුවරයකු විදිහට කටයුතු කරනවා .මේ දවස්  පාසැල්  නිවාඩු නිසා පූර්ණ කාලීනව රංගන කටයුතුවල යෙදෙනවා .

• වේදිකා නාට්‍ය ශිල්පියකු වූ ඔබ , ටෙලි නාට්‍යය  රංගනයට දායක වන්නේ කෙසේද ?

එය හරිම විශේෂ විදිහට සිදු වූ දෙයක් .ආරම්භයේ දීම වේදිකා නාට්‍ය   බොහොමයකට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණා .ඔය  කාලයේ දී වේදිකා නාට්‍ය නැරඹීමට විශාල පිරිසක් නැඹුරු වී සිටි කාලයක්. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහතා ඔය කාලයේ දී පුරුද්දක් විදිහට වේදිකා නාට්‍ය බලන්න ඇවිත්, වේදිකා නාට්‍යවල ඉන්න දක්ෂයින්  තෝරලා අරං ඔහුගේ ටෙලි නාට්‍ය නිර්මාණවලට දායක කර ගන්නවා. ඒ විදිහට වේදිකාවෙන් අහුලාගෙන ඇවිත් ටෙලි නාට්‍ය දොරටු  විවර කළේ ඔහු. ඉංගම්මාරුව මගේ ප්‍රථම රූපවාහිනි ටෙලි නාට්‍ය වුණා.

• එදා මෙදා  තුර  ඔබ වඩාත් ජනාදරයට පාත්‍ර වන්නේ ?

කලාවට සම්බන්ධ වූ දා සිට අද දක්වා ම ප්‍රේක්ෂක ආදරයට, ගෞරවයට පාත්‍ර වෙනවා .මා පෞද්ගලිකව හිතෙනව එදා මෙදා තුර එකම තලයක ජනාදරයට පත් වුනා  කියලා .

• සිනමාව තුළින් ඔබේ දක්ෂතා මිනිසුන් දැන හඳුනා ගත්තේ ?

මම හිතන්නේ ‘‘මචං” චිත්‍රපටයේ  විකාශනය වීමත් සමග .ඇත්තම කියනවා නම් මචං චිත්‍රපටිය ජීවිතේ අහඹු ලෙස හමුවූ හැරවුම් ලක්ෂයක් .

• එදා මෙදා තුර ඔබව  වැඩිපුරම වැළඳගත් චරිත මොනවාද ?

එහෙම චරිත නම් බොහොමයක් ම තිබෙනවා. ‘‘ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යයේ ” ජයදේවගේ” චරිතයට එදා ලැබුණු ප්‍රතිචාරය අදටත් අමතක කරන්න බැහැ .එකේ මම රඟපාපු චරිතය ආදරණීය චරිතයක් නොවේ .නමුත් ප්‍රේක්ෂකයා බොහෝ තදින් ඒ චරිත ග්‍රහණය කරගෙන හිටියා .කොච්චර එ  චරිතය වැළඳගත්තාද කියනවනං ඉස්සර මම පාරේ යනකොට  මට  මිනිස්සු ”
අන්න අර කාලකන්නියා යනවා” කියලා මගේ මූණටම කියනවා. ඇත්තටම ඒ චරිතය ඇතුලේ  ජයදේව මැරෙනවා. ඊට පස්සේ මිනිස්සු මහා අනුකම්පාවකින් ඒ චරිතයට ලොකුවට ආදරය කරන්න පටන් ගන්නවා. සමාජයේත් මේ ආදරේ මට නො අඩුව ලැබෙන්න පටන් ගන්නවා.. මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ” ආනන්ද ගෙ” චරිතයටත් ඒ වගේම  ලොකු ආදරයක් ලැබෙනවා.

• රංගනය වැනි  විෂයකින් ඉදිරියට එන්න මොන වගේ කරුණු ද බලපාන්නේ ?

බොහෝ කරුණු බලපානවා. ප්‍රධානම දේ ඕනෑම චරිතයකට පණ පෙවිය හැකි පරිදි පෞරුෂයක්, නිරෝගි කම ක්, යහපත් මානසික සෞඛ්‍යයක් තිබිම  වැදගත්.ඒ වගේ ම  සමාජය ගැන ,රට ගැන, ලෝකය ගැන වගේම පාට පක්ෂ ගැන පවා හොඳ අවබෝධයක් රංගධරයකු ට තිබිය යුතුයි කියලා මං විශ්වාස කරනවා.

• නළුවා කියන භූමිකාව තුළ සුදු වෙන්න කඩවසම් වෙන්න  ඕනේ කියලා සිතුණේ නැද්ද ?

නැහැ ....නැහැ ....මම හැමදාම හිතන්නේ මම මමමයි .ශරීරයේ පාට වෙනස් කළා කියලා හොඳ නළුවෙක් වෙන්න බැහැනේ.  ලෝකයේ ම ජනාදරයට පාත්‍ර වෙලා ඉන්න නළුවන් ගත්තත් ඔවුන් එතැනට ඇවිත් තියෙන්නෙ බාහිර ස්වරූපය වෙනස් කර ගෙන   නොවෙයි. ඔවුන්ගේ රංගනය තුළ දක්වන දක්ෂතාවය නිසා .වර්තමානයේ ඇතැම් අය මොන ලෙඬේ හැදිලා මැරුනත් කමක් නැහැ කියලා ඇතැම් විට බාහිර ස්වරූපය වෙනස් කරගන්න උත්සාහ කරන අවස්ථා අපි දකිනවා. මම නම්  තාම මම වෙනස් විය යුතුයි කියන තැන නැහැ .නමුත් පණපොවන ඕනෑම චරිතයකට ඕන විදිහට ඕනෑම වෙනස් වීමක් මම කරනවා .

• නිරෝගී කම ආරක්ෂා කර ගන්න මොනවද කරන්නේ ?

මේ තුන් ලෝකෙම නැති තරම් වස විස ප්‍රමාණයක් අද අපිට කන්න  සිද්ද  වෙලා තියෙනවා. ඒ නිසා මම පුළුවන් විදිහට වස විසක් නැතුව සකසා ගන්න එළවළු, පලතුරු, පලා වර්ග ටිකක් නිවසේම  වගා කර ගන්න උත්සහ කරනවා. ඒක ශරීර සෞඛ්‍යයට ,වගේ මනසටත් ගොඩක් හොඳයි .ඊට අමතරව ඉතිං ඉඩක් ලැබෙන වෙලාවට ඇවිදින්නත් යනවා . ...

• මානසික සතුට වෙනුවෙන්  මොනවද කරන්නේ ?

චිත්‍රපටි බලන එකත්  පුරුද්දක් විදියට කරනවා. ඊට අමතරව ඉතින් රටේ ලස්සන තැන් බලන්න යන්නත් ආසයි .නිස්කලංකව තැනකට වෙලා හොඳ බර කල්පනාවකට වැටෙන එකත් හිතට මාරම සැනසිල්ලක් .

• ලෝකයේ වැඩිපුර ම ආදරේ කාටද ?

ම්....මම  මටවත් ආදරයක් නැතිකොට මම කාටද ඇත්තටම ආදරේ කියන්නේ .

• ඔබ දක්ෂ නළුවෙක් වෙන්නේ කොහොමද ?

ඒක.... එක රැයකින් සිදු වුණු දෙයක් නොවේ .බොහෝ කැපකිරීම්, අභියෝග ,හැලහැප්පීම් ,හැදෑරීම්   ඒ සියල්ලකම එකතුවකින් ආගමනක්  තමයි  මෙතෙක් අවෙ . රංගධරයා කියන කෙනාට අනිවාර්යෙන්ම ඔහුගේ ප්‍රතිරූපය වැදගත්. එය කළුද ,සුදු ද ,උසද ,මිටිද ,මහතද, කෙට්ටුද කියන එක නොවෙයි .සතත අභ්‍යාස මඟින් ප්‍රගුණ කළ යුතු දක්ෂතාවයන් බොහෝමයකුත්  එහි තිබෙනවා අනිත් දේ තමයි  පරමාදර්ශී චරිතයක් විය යුතුයි රංගධරයා. සෑම චරිතයකටම සජීවීව පණ පෙවීමේ හැකියාවකුත් තිබිය යුතුයි.

• ඔබ යම් කෙනෙක් අනුකරණය කරන්න උත්සහ ගන්නවා ද?

නැහැ .කවදාවත් රඟපෑම වැනි විෂයයක් තුළ අනුකරණය කියන දේ හරිම තාවකාලිකයි. සෑම විටම රංගන ශිල්පියෙක්     තමන්ටම ආවේණික වූ හැකියාවන් හඳුනා ගත යුතු. විශේෂයෙන්ම තමාගේ රංගන ශෛලිය හඳුනා ගත යුතුයි. 

• විලාසිතා කරන්න කැමති ද ?

රඟපාන චරිතයට අවශ්‍ය විදිහට නම් ඕනෑම විලාසිතාවක් කරන්න මම කැමතියි නමුත් සාමාන්‍ය ජීවිතේදී මම හරිම සරල , සැහැල්ලු
බවට ගොඩක් කැමතියි. ඒ නිසාම ඩෙනිමයි ටී ෂර්ට් එකයි තමයි වැඩිපුරම ආස. 

• ආභරණ  පලදන්න  කැමතිද?

නැහැ .මං පිරිත් නූලක්වත් පලඳින්න කැමති නැහැ .ආභරණ  පැළඳීම වදයක් විදිහට දැනෙන්න පටන් ගත්තේ රංගන අභයාස වල යෙදෙන්න පටන් ගත්තට පස්සේ.

• වර්තමානයේ බොහෝ නළුවන් තම වෘත්තිය නිසාම ආඩම්බරයෙන් පසුවනවා .ඔබත් එවැනි චරිතයක්ද ?

අප නියැලෙන වෘත්තීය කුමක් වුණත් සෑම මිනිසෙකුටම පොඩි  ආඩම්බරයක් තිබිය යුතුයි. නමුත් නළුවා කියන තැන ඉඳල ඔලුව ඉදිමුව ගැනීම නම් අනුවණකමක් විදිහටයි මම දකින්නෙ. ඉන්දියාව වැනි රටක තරුවක් වුණොත් ඒ තරුව රැකගන්න ශක්තිමත් සිනමා කර්මාන්තයක් එරට තියෙනවා. නමුත් අපේ වගේ රටක අවුරුදු ගාණක් වෙහෙස වෙලා තරුවක් උනත් ,ඒ තරුව නිමේෂයකින් බිම වැටෙන්න පුළුවන්. ඒ තරමටම අපේ වෘත්තීය අවිනිශ්චිතයි .එවැනි වටපිටාවක ආඩම්බර ව ජීවත් වීම කොහෙත්ම සුදුසු නැති බවයි මම නම් විශ්වාස කරන්නේ .

• ඔබ දක්ෂ හඬ  කැවීම් ශිල්පියෙක්. හඬ ආරක්ෂා කරගන්න  මොනවද කරන්නේ ?

වෛද්‍ය උපදෙස් අනුව කූල් බීම තහනම්. හඬෙහි නිරෝගී කම වෙනුවෙන් සතත අභ්‍යාස නිරතුරුවම කරනවා. ඊට අමතරව ඉතින් හඬ ආරක්ෂා කරගන්න සිදුකරන පලවන ම දේ තමයි නාට්‍ය බස් එකේ එන්ජිමේ සද්දෙට වඩා සද්දෙන් කෑ ගහන එක ,සින්දු කියන එක.

• ජනප්‍රිය කෙනෙක් නිසාම ද බිරිඳ ඔබට  ආදරය කරන්න පටන් ගන්නේ ?

නැහැ .ඇත්තටම අල්ලපු ගෙදර කෙනා වත් මාව අඳුනන්නේ  නැති කාලේ ඇය මට ආදරේ කරේ . ඒ  ආදරේ තාමත් ඒ විදිහටම තියෙනවා. ඇය  අසල්වැසියෙක් .

• සොඳුරු යුවතියන්  සමග රඟපෑමේදී ඔබට ඇයගෙන් තහංචි වැටිලා නැද්ද ?

නැහැ. ඇත්තටම ඇය  බොහොම අවබෝධයෙන් ජීවත් වන කෙනෙක් .

• ජනප්‍රියත්වය වදයක් විදිහට දැනිලා නැද්ද ?

එක නං අහන්න ඕනේ මගේ පුතාලා දෙන්නගෙන් .සාමාන්‍යයෙන් ඉතිං එයාලා මාත් එක්ක එලියට ගියොත් ආපහු ගෙදර ආපු ගමන් කියන්නේ” අපෝ ආයෙ නම්  තාත්තා එක්ක එළියට යන්න බැහැ .හම්බවෙන හම්බවෙන අය  එක්ක කතා කරනවා කියලා .කොහොම නමුත් ඉතින් ඔවුන් දැන් ඒ සියල්ල තේරුම් අරගෙන ඉන්නේ ....

• පිය සෙනෙහස ගැන මොකද හිතෙන්නේ ?

ඇත්තටම වචන වලට පෙරලන්න බැරි අමුතු හැඟීමක්. මහා විශාල අභියෝගයක්. දරුවො දෙන්නා ලොකු වෙනකොට ඒ අය එක් ආදරේ, සෙනෙහස ,වගකීම් ,යුතුකම් බෙදාහදා ගන්න කොට වෙනදට වඩා පිය සෙනෙහස ගැන හදවතට දැනෙන්න පටන් අරන් තියෙනවා .

• අනාගත බලාපොරොත්තුව ?

වේදිකා නාට්‍ය තුනක් අධ්‍යක්ෂණය කරලා තියෙන  මට ලොකු හීනයක් තියෙනවා  චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න .ඒ හීනෙත් ඉක්මනට සැබැවි කියලා මම හිතනවා ....

• සංවේදී උනම දවස ?

ජීවිතේ ගැන බැරෑරුම් ව හිතන්නේ නැති නිසා මම බොහෝ දේවල් සාමාන්‍ය විදිහට හිතන්නේ .ඒත්  වරක් සිග්නිස් සම්මාන උළෙලේදී  මට හිමි සම්මානයක් වෙලාවට ගිහින් ගන්න බැරි වුණා . ඒ වගේමයි 2015 වසරේ දී  රාජ්‍ය නාට්‍යය උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානයත්  ඒ වෙලාවේ දීම ගන්න බැරි වුණා .ඒ ගැන නම් පුංචි පසුතැවිල්ලක් තිබෙනවා.

අසුන්තා එදිරිසූරිය