මගේ නම් අදහස තියෙන විදිහට මිනිස්සු අවුරුද්ද සමරන්න උනන්ඳු වෙන්න ඕනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ දකින අශිකා මතසිංහට මෙවර අවුරුදු කලාපයෙන් අප මෙසේ ඉඩක් වෙන් කළා. අදටත් හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ මිනෝලි මැඩම් ලෙස ඔබ අප කවුරුත් ආදරය කරන අශිකා උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න ඉන්නේ මේ වගේ සූදානමකින්.

අශිකා කොහොමද අවුරුද්දට සුදානම?

මේ පාර අවුරුද්දට ලොකු සුදානමක් නම් නැහැ. පොඩි දෙන්නාගේ උපන්දිනය එනවා අප්‍රේල් 12 වැනිදා. ඒ දෙන්නා තමයි ඉතින් මට අවුරුද්දට ලැබුණ ලොකුම තැගි දෙක. හරියටම සැළසුම් කරලා නැහැ මේ පාර අවුරුද්දට කරන්නේ මොකක්ද කියලා. සැමියාගේ අයියා කාලේකට පස්සේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා. අයියලා ඉන්නේ මාතලේ. ඉතින් එයා කියනවා මේ පාර අවුරුදු සමරන්න අපි එහේ යමු කියලා. එහෙම වුණොත් මෙදාපාර අපි අවුරුද්ද ඉන්නේ මාතලේ.

කැවිලි පෙවිලි එහෙම හැදුවාද?

හැමදාම වගේ ඉතින් මම අවුරුද්දට කොකිස් තමා ගෙදර හදන්නේ. අනිත් කැවිලි පෙවිලි කඩේන් ගන්නවා. අවුරුදු දවසේ ඉතින් කිරිබතක් එක්ක හොඳ රසට ලුණු මිරිසක් මම හදනවා. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් මම ගෙදර කරන්නේ නැහැ.

පවුලේ අයට අලුත් ඇඳුම් ගත්තාද?

ඔව්, සැමියාටයි මටයි දරුවොන්ටයි ඇඳුම් ටිකක් ගත්තා. අලුත් අවුරුද්දට අඳින්න ඕනා හින්දා. ඇත්තටම ලොකුවට ඒවාට අපි වියදම් කළේ නැහැ. අපේ පවුල හැරුණාම මම මගේ අම්මටයි, නංගිලා දෙන්නටයි ඒ අයගේ බබාලටයි ඇඳුම් ගත්තා.

අශිකා මෙදාපාර අලුත් අවුරුද්දට සමරන්නේ ගමේද?

මගේ ගම කොළඹනේ. මගේ සැමියාගේ ගම මාතලේ. ඉතින් එහේ තමා අපි ගමේ කියලා යන්නේ. මෙදාපාර අපි සැළසුම් කරලා තියෙන්නේ මගේ සැමියාගේ අයියාගේ ගෙදර යන්න. එහෙම ගියොත් අපි සමහර විට අවුරුදු දවසේ නුවර වඳින්න යන්නත් හිතාගෙන ඉන්නවා.

රූපවාහිනි නාලිකා සංවිධානය කරපු අවුරුදු උත්සවවලට සහභාගි වුණාද?

ඔව් නාලිකා කිහිපයකම අවුරුදු උත්සවවලට සහභාගි වුණා. ඒ උත්සව ඉතින් අවුරුදු දවසේ මගේ ආදරණිය රසික, රසිකාවියන් බලන්න පුළුවන් වේවි කියලා හිතනවා. කොහොමත් මම හැම අවුරුද්දකටම නාලිකාවල පැවැත්වෙන අවුරුදු උත්සවවලට සහභාගි වෙනවා.

මේ පාර මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න තරම් හොඳ ආර්ථිකයක් නැහැ නේද?

ඔව්. එහෙම පැත්තකුත් තියෙනවා. මගේ නම් අදහස තියෙන විදිහට මිනිස්සු අවුරුද්ද සමරන්න උනන්ඳු වෙන්න ඕනා. මොකද, මේක අපිට අවුරුද්දකට වතාවක් එන චාරිත්‍රයක් නිසා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා කොච්චර නැති බැරිවුණත් හැකි පමණින් මේ උත්සවය හැම දෙනාම සතුටින් සාමකාමිව සමරන්න කියලා.

බුද්ධික සේනාධීර
ඡායාරූප - මේනක පිරිස්