මම තනිකඩ කොල්ලෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නදීමාල් පෙරේරා, නැතිනම් අමල් පෙරේරාගේ පුතා, ඒත් නැතිනම් නැසිගීය මර්වින් පෙරේරා අමරණීය කලාකරුවාගේ මුණුපුරා ගැන අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැහැ. පරපුරේ උරුමය රැගෙන සංගීත ක්ෂේත්‍රයේ නියැලෙන නදීමාල් යනු සැබෑම දක්ෂයෙක් කිව්වොත් නිවැරදියි. පරම්පරාවේ උරුමයට වඩා හැකියාවෙන් පොහොසත් තාරුණ්‍යයේ ඒ අපූරු ගායන ශිල්පියා සහ සංගීත ශිල්පියා ‘සඳැල්ල’ට ආ මොහොතකි මේ. 

නදීමාල් කොහොමද මේ දිනවල දවස් ගෙවන්නේ?

ගෙදරටම වෙලා තමයි ඉන්නේ. ඒ අතරේ සිංදු නිර්මාණය කරමින් දවස ගෙවනවා. 

අලුතින්ම මුදාහැරි ගීත මොනවාද?

2021 ජනවාරියේදී ‘ආදරියේ’ කියන ගීතය යූටියුබ් හරහා මුදා හැරියා. එහි තනුව මගේ. පද රචනයත් මගේ. සංගීතවත් කළේ පසන් ලියනගේ. 

‘ආදරියේ’ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඉතා හොඳයි. හැමෝම හොඳ ප්‍රතිචාර අදහස් දක්වලා තියෙනවා. මිලියනයක් හෙවත් දස ලක්ෂයකට වඩා මේ වනවිට නරඹලා තියෙනවා. 

මේ ‘ආදරියේ’ කළේ කොච්චර කාලයකට පසුවද?

අවුරුදු දෙකහමාරකට පසුව ගීතයක් රිලීස් කළේ. ‘ආදරියේ’ ගීතයට කලින් ‘නුරා වසන්තයේ’ ගීතය මුදා හැරියා. ඒකෙත් මෙලඩි එක මගේ. සංගීතය පසන් ලියනගේ. රචනය උමා අසේනිගේ.

කොහොමද නදීමාල්ගේ සැබෑ ආදරිය?

ආදරය කරන්න තවම විශේෂ කෙනෙක් නැහැ. මං තනිකඩ කොල්ලෙක්. 

ඇයි තාත්තා එක්ක ගීත නොකරන්නේ? 

තාත්තා එක්ක ගීතයක් කිරීමට සූදානමක් තියෙනවා. අපි දෙන්නම බිසී නිසා ඒකට ඉඩක් තවම ලැබුණේ නැහැ. නමුත් මේ ලැබුණු කාලය ප්‍රයෝජනයට ගෙන එය කරන්න සූදානමින් ඉන්නේ. 

වඩා බිසී ඔබ ද? තාත්තා ද?

අපි දෙන්නම බිසී. තාත්තා නම් ඉතින් ඒ කාලයේ ඉඳලාම බිසීනේ. මම මගේ සංගීත කණ්ඩායම වන පොයින්ට් ෆයිව් (Point Five) පවත්වාගෙන යනවා. අපි මේ වනවිට ප්‍රසංග පහක් විතර කළා. ඊට අමතරව අපි වෙඩින් (මංගල උත්සව) සහ වෙනත් ඉසව්වලට දායකත්වය සපයනවා. ඉදිරියේදී ප්‍රසංග ගණනාවක් කරන්න හිතාගෙන ඉන්නේ. 

‘සංගීතය’ ගැන නදීමාල් හිතන්නේ මොන විදිහටද?

මට තේරෙන විදියට සංගීතය හරහා මිනිසුන්ට බොහෝ දේ දනවන්න පුළුවන්. ඒ නිසා මගේ රිද්මය එක්ක මිනිසුන්ගේ හදවතට මනසට කතා කරන්න, වින්දනයක් ලබා දෙන්න උත්සාහ ගන්නවා. කට වචනයෙන් යමක් කියනවාට වඩා මිනිසුන්ට සංගීතයෙන් ඉතා හොඳට ආමන්ත්‍රණය කරන්නට පුළුවන්. 

තාත්තා එක්ක වැඩිපුර කතා වෙන්නේ මොන වගේ දේ ගැනද?

ජීවිතය ගැන, යාළුවෝ ගැන.

‘ජීවිතය’ ගැන එයා හිතන විදිය මොනවගේ කියලද නදීමාල්ට දැනෙන්නේ?

එයා ටිකක් හරි සරල කෙනෙක්. පවුල සහ ඒ සංකල්පය ඇතුලේ ළමයින්ට තමයි මුල් තැන. ඒක අපට දැනෙනවා. යාළුවෝ සහ පවුල මූලික කරගෙන ජීවත්වන චරිතයක්. 

තාත්තා වෙතින් දකින හොඳම දේ මොකක්ද? 

බලාපොරොත්තු නැතුව වෙලාවකට මිනිස්සුන්ට උදවු කරනවා. ආශ්‍රය කරන අය එයා ගැන දන්නවා. හැබැයි නොදන්නා අය තමයි නොදන්නා දේ කතා කරන්නේ. එයා ඇඳගෙන ඉන්න ඇඳුම හරි ගලවලා දෙන ජාතියේ කෙනෙක්. හිතට එකඟව කටයුතු කරන කෙනෙක්. පිටතින් පෙනෙන පෙනුමට වඩා එයාගේ ඇතුලාත්නය හරි මනුස්සකමින් පිරුණු එකක්. 

එයා වෙතින් දකින නරක දේ මොකක්ද?

මම එහෙම දෙයක් දකින්නේ නැහැ. සමහර දේ එයා එයාට කරගන්න දෙයක් වෙන්න පුළුවන්. එයා යාළුවෝ සහ එයාට ආදරය කරන අයට පණ වුණත් දෙන කෙනෙක්.

නදීමාල්ගේ තියෙන හොඳම ගුණාංගය මොකක්ද?

මං එහෙම දන්නේ නැහැ. මාත් හොඳ ඇති. 

ගෙදරදි තාත්තයි ඔයයි සිංදු කියනවද?

ඔව්. වෙලාවක් ආවොත් එහෙම වෙනවා. හැබැයි නිතරම එහෙම නැහැ. 

තාත්තා වඩා ආදරේ නංගිට ද නදීමාල්ට ද?

දෙන්නටම එක වගේ ආදරෙයි. 

නදීමාල් උපයන, හම්බ කරන දේ ගැනත් තාත්තා සොයලා බලනවද?

එ්ක ලොකුවට කරන්නේ නැහැ. මගේ වෘත්තිය සංගීතය. මම හම්බ කරන දේ ගැන සොයලා බලන්නේ නැහැ. එයා ජීවත්වෙලා ඉන්න කල් අපට උදව් කරන්න කැමතියි. මම උදවු කරන්න ලෑස්ති වුණත් තාත්තා අපෙන් උදවු ගන්න යැපෙන්න කැමති නැහැ. 

ලොක්ඩවුන් නිසා ගෙදර ඉන්නකොට තාත්තා කෑම එහෙමත් හදනවද?

තාත්තට හොඳට කෑම හදන්න පුළුවන්. එයා රසටම හදන්නේ කරි වර්ගයි. 

‘විවාහය’ ගැන එහෙම ඔබ කතා කරලද තියෙන්නේ?

ඔව් ඉතින්, මගෙන් අහනවා කවුරුවත් නැද්ද කියලා. නැහැ කිව්වාම ඊට පස්සේ අහන්නේ නැහැ. මට දැන්ම හදිසියක් නැහැ විවාහයට. 

ප්‍රේමය ඉල්ලාගෙන එන තරුණියන්ට ඇයි අකමැති?

අකැමැති නැහැ. කාලය නාස්ති කරන්න මම කැමති නැහැ. මට හිතට දැනෙන්න ඕනෑ. බොරුවට කරන්න සහ බලාපොරොත්තු දෙන්න හොඳ නැහැ. මට ගැලපෙන්නේ නැහැ කියලා හිතුනොත් උත්තරයක් දෙන්න බැහැනේ. 

කොයි වගේ කෙනෙකුටද ආස?

එහෙම කියන්නත් බැහැ. හැමෝම බලාපොරොත්තු වන විදියක් තියෙනවනේ. සර්ව සම්පූර්ණව අපි බලාපොරොත්තු වන කෙනා හොයන්න අමාරුයි. ඒත් අවමය හරි බලන්න ඕනෑ.

‘ආදරය’ කියන දේ මොකක් කියලද හිතන්නේ?

අපට දැනෙන දෙයක්. ආදරය කියන්නේ මිනිස්සු වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා හරි පරිස්සමට කරන්න ඕනෑ. 

නදීමාල්ට යාළුවෝ කතා කරන්නේ? 

නදියා, මාලා. ඒ වගේ තව නම් තියෙනවා.

තාත්තා කතා කරන්නේ?

පුතා.

ඔබ වඩා කැමති ගැයුමටද? සංගීත නිර්මාණයටද?

මුල්තැන ගායනයටයි. සංගීත අධ්‍යක්ෂණය ඉගෙන ගෙන කළ යුතු දෙයක්. නිෂ්පාදන අංශය ගැනත් හිතනවා. ඒ අංශ ඉගෙනීමට හිතාගෙන ඉන්නේ. 

පසුගිය ජීවිතය දිහා හැරී බලද්දී විශේෂයෙන්ම දුෂ්කරතාවලදී සහ අතිශය බැරෑරුම් අවස්ථාවලදී ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් වුණේ කොහොමද?

හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියනවනේ. ඒ වෙච්ච දේ හොඳ පැත්තකට හිතනවා. ඒ නිසා මට වගේම මගේ තාත්තාට ආදරය කළේ හරියටම කවුද කියලා දැනගන්න පුළුවන් වුණා. එහෙම නොවුණා කියලා අපි කා එක්කවත් තරහා නැහැ. අදටත් සමහරු හිතන්න පුළුවන් අපි වැරදි කියලා. ඒත් කලාකරුවන් ලෙස අපට මිනිස්සු පෙරලා තෝරා බේරාගෙන ආශ්‍රය කරන්න බැහැ. අපි හොඳ නම් වරදින්නේ නැහැ. කොහොම වුණත් ඒක මගේ ජීවිතයට ලැබුණු ලොකු අත්දැකීමක්. මට ආදරය කරන පිරිස කොච්චරද කියලා මට දැනෙනවා.

ඒ මිනිසුන්ගේ ආදරය නිසා මම තව තවත් ශක්තිමත් වුණා. තවත් කාලයක් යනකල් ඒ සිදුවීම මට අමතක කරන්න බැරි වේවි. ඒත් මගේ අම්මා තාත්තාගේ ශක්තිය වගේම මට ආදරය කරන බොහෝ පිරිසකගේ ආදරය මට මගේ අනාගතයට ගෙන දුන්නේ මහා ශක්තියක්. ඒ හැමෝටම බොහෝම පින්. මම ඒ හැමෝටම හදවතින්ම ආදරෙයි. 

සඳුන් ගමගේ