හැම රංගනයකදීම මම - මාව දිනෙන් දිනෙත්ව අත්හරිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉසියුම් ලෙස වෙව්ලා ගිය ඇඟිලි අතරෙහි දැහැන්ගත වී මා කියැවූයේ දිනෙත් දිනෙත්ට දිනෙත්ව අහිමි කර ආධ්‍යාත්මිකව සහ භෞතිකව ආත්මීය ආල හුස්මකින් ඒ චරිතය හා ඒකාත්මික වී ඇති අපූරුවයි. සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද ඒ සා ප්‍රේමයකින් චරිතය හා බැඳී යන නළුවන් සිංහල සිනමාවේ විරල වූ යථාර්ථයක් තුළ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 1970 Love story සිනමා වියමනේ දිනෙත්ගේ රංගනයේ ස්වර්ණවත් රේඛාවන් සිංහල සිනමාව කෙරෙහි මගේ ආලවන්ත හැඟීම් තව තවත් ආදරයෙන් පුරවාලීය. 

සීතල නළලත් 
වියළුණු දෙතොලත්
සුවපත් කළ මැන
හාදුවකින් උණුසුම්
පෙම්බරා...
සිරි යහනට හිම පියළි වැටී
මායා සිහිනය පැහැර ගනී

කන්දක් සේ මා තේමා ගීතය තුළ අංශුමාත්‍රික කිළිටක් නැති ප්‍රේමණීය ප්‍රේමාන්විත හැඟුම් සමුදායක් මුව මත තවරාන දිනෙත් පෙම්බරා වෙනුවෙන් දිනෙත්ව දිය කළේ කොහොමදැයි මම නැවතත්, නැවතත්, ඔව් නැවතත් නැවත නැවතත්, තවමත් සිතමින් සිටිමි. ඒ තරම්ම රංගනය තුළ දිනෙත් දිනෙත්ව මඟහැර නොව අත්හැර දමන විලාසයට මම හැමදාමත් පෙම් කරමි. ඉඳින් එ සඳ ඒ දිනෙත් හා කතාබහ මට සොඳුරු තවත් එක් සිනමාමය කියවීමක්ම වැන්න. 

Q 1970 Love story වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර හදවතටම දැනෙන්නෙ කොහොමද?

ඒ චිත්‍රපටය බලපු හැමෝගෙන්ම ලැබෙන්නෙ හිතාගන්න බැරි තරම් අපූරු ප්‍රතිචාර. හැමෝම වගේ කියන්නෙ මගේ විශිෂ්ටම රංගනයන් දැක්ක වෙනස්ම චිත්‍රපටයක් බැලුවා කියලා. හුඟක් අය මට කියපු දෙයක් තමයි ලංකාවෙ ඉන්න සුපිරිම නළුවන් කිහිප දෙනෙක් එකට රඟන, ඒ අය වෙනස්ම චරිත නිරූපණය කරන එකම භූමියක් තුළ හැම රූප රාමුවක්ම වගේ දිගහැරෙන, ආදරය, ත්‍රාසය, භීතිය, කුතුහලය, මේ හැම හැඟීමක්ම ලස්සනට සම්මිශ්‍රණය වුණු චිත්‍රපටයක් අපි ආසාවෙන් නැරඹුවා කියන එකයි. 

Q 1970 Love story නරඹද්දි ඔබේ රංගනයෙන් මා වශී කළ සහ ඔබ කෙතරම් අපූරු නළුවෙක් දැයි යන්න මට තවත් වරක් ඔප්පු කර පෙන්වූ අවස්ථාවක් තමයි ඔබේ ඇඟිලි තුඩු සහ ඇඟිලි, ඔබේ වයස, හැඟීම් සහ ඔබ එතෙක් ගෙවූ ජීවිතය පිළිබඳව නිහඬව දිග කතාන්දරයක් කියමින් වෙව්ලා යන ආකාරය. කොහොමද දිනෙත් ඒ තරමටම ඔබ ඔබව අත්හැරියේ?

අරුණ ජයවර්ධන කියන විචිත්‍රවත් සිනමාවේදියා සමඟ මම මුලින්ම වැඩ කරපු චිත්‍රපටය තමයි ඒ. මගේ තරුණ කාලය සහ වයස්ගත කාලය යන කාල පරාස දෙකම ඒ චරිතය තුළ නිරූපණය වෙනවා. පිටපත කියවද්දි මට හැඟුණා කාලය සමඟ ඒ තරුණයා අසනීප වීම සහ ජීවිතයේ මුහුණ දුන්න තීරණාත්මක සිදුවීම් මෙන්ම මානසිකව ඔහු විඳි යම් පීඩන, ඇබ්බැහි වීම්, මේ සියල්ල රඟපෑම තුළ මට විදාහල හැකි සීමාව හරි ගැඹුරුයි කියලා. ඇත්තටම මට මගේ චරිතය රඟපාන්න තියෙන්නෙ පොඩි වෙලාවක්. රූප රාමු කිහිපයක්. ඒත් ඒ පුංචි කාලය මට මගේ උපරිමය දක්වා ගැඹුරට යන්න ඕනෑ. මම අරුණ අයියගෙන් ඇහුවා කාලයත් සමඟ වියපත් වීම තුළ ඔහු ගෙවපු ජීවිතය ඇඟිලි වෙව්ලා යාම වැනි අභිනයකින් මම පෙන්වන්නද කියලා. අරුණ අයියා කිව්වා හරි මල්ලි ඔයා එහෙම කරන්න කියලා. ඇත්තටම දෙබස් නැති චරිතයක් ආංගික අභිනය තුළින් නිරූපණය කිරීම එක පැත්තකින් සුන්දර සහ වෙනස් අත්දැකීමක්. ආංගික භාෂාව තුළ වචන නැතත් හැඟීම් ප්‍රබල ලෙස ප්‍රේක්ෂකයන්ට දනවන්න පුළුවන්. මගේ සියුම් භාව ප්‍රකාශන කැමරාව තුළට ඒ අයුරින් කාන්දු කර ගන්න චන්න දේශප්‍රිය කැමරා ශිල්පියා දැක්වූ සමත්කමත් සියුම් භාවයන් ග්‍රහණය කර ගනිමින් භාව ප්‍රකාශන එළිදක්වන්න අරුණ අයියා මට දුන්න අසීමිත නිදහසත් තුළ මට පුළුවන් වුණා මට මාව අත්හරින්න. වේෂ නිරූපණයෙන් 75% ක් විතර මානසිකව මාව ඒ චරිතය තුළ ආත්මගත කළා. ඒ සාර්ථක වේෂ නිරූපණය තුළ මට මාව අමතක කරන්න තවත් ලේසි වුණා. හේමාල් රණසිංහ මට පෞද්ගලිකව කතා කරලා කිව්වා ඔයා හරිම තාත්වික විදිහට අත ගැහෙන එක නිරූපණය කළා. මම හොයන්න හැදුවා ඔයාට ඒ අත ගැහෙන එක අමතක වෙන එකම තැනක්වත්. ඒත් මට හොයාගන්න බැරි වුණා කියලා. මම රංගනය තුළ සියුම් හැඩතල හොයන නළුවෙක්.

Q මට කියන්න දිනෙත් රංගනය තුළදි කොහොමද ඔබ ඔබව ඔය තරම්ම ගැඹුරින් අත්හරින්නෙ?

මම ලෝක සිනමාව ගැන මගේම අධ්‍යයනයක ඉන්න කෙනෙක්. මම කරපු දේවදත්තගෙ චරිතයේ ඉඳන් හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. එක චිත්‍රපටයක කළ චරිතයක් තව එකක මා තුළින් දකින්න ලැබුණොත් ඒක නළුවෙක් ලෙස මගේ අසමත් වීමක්. මම හැම චරිතයක් තුළදිම පුදුමාකාර විදිහට ඒ චරිතයට අනුගත වෙන්න, මාව මගෙන් ගලවලා චරිතයට අදාළ ආංගික අභිනයන් ආරෝපණය කරනවා. ඒ චරිතය ගැන, චරිතයට අදාළ චරිත ලක්ෂණ ගැන මානුෂවාදී සහ සමාජීය කියවීමක් මා තුළ තිබෙනවා. සිනමාව ගැඹුරින් අධ්‍යයනය කරද්දි හමුවෙන්නෙ බෞද්ධ දර්ශනයේ ගැඹුරු හරයාත්මක සිද්ධාන්ත. තමන් අත්හැරීම ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි. ඒත් අපි ඉගෙන ගන්න ඕනෑ චරිතය වෙනුවෙන් අපිව අපෙන් ගැලවීමේ ක්‍රමවේදයක්. තමන් ගලවා පැත්තකින් තියලා අවශ්‍ය චරිතය රිංගවා ගැනීම ලේසි පහසු කාර්යයක් නොවුණත් සැබෑ රංගනය තියෙන්නෙ එතන තමයි. මහේන්ද්‍ර පෙරේරා වැනි නළුවන් හම්බවුණාම අපි අතරේ ලොකු සංවාද දිගහැරෙනවා රංගනය ගැන. ඇත්තටම රඟපෑම කියන්නෙ විවිධාකාර මිනිස් චරිත සහ ලෝකයේ සිදුවන සියලු සිදුවීම්හි ප්‍රතිබිම්භගත නිරූපණයක් විදිහටත් අර්ථ දක්වන්න පුළුවන්. ඇත්තටම සිනමාව ගැන ගවේෂණයක යෙදෙද්දි සිනමා පටවල දැක නැති පොතකින් කවදාවත් නොකියවපු සිද්ධාන්ත න්‍යාය හිතේ ඇතිවෙනවා. ඒක හරි අපූරු අත්දැකීමක්. 

Q තමාව අත්හැරීම තුළ සාර්ථක නළුවෙක්, විශිෂ්ට නළුවෙක් සහ නළුවාගේ සැබෑ නම මතකයට මතක් නොකරන නළුවෙක් නිර්මාණය කිරීමේ සියුම් සිද්ධාන්ත මොනවද?

ගොඩක් නළු නිළියන් කරන වැරුද්ද තමා නළුවා විසින් චරිතය ආරූඪ කර ගැනීම. එහෙත් විය යුත්තේ චරිතය විසින් නළුවා ආරූඪ කර ගැනීමයි. ඒක හරිම සියුම් මනෝමය සිද්ධාන්තයන්ගේ සිට භෞතිකය ස්පර්ශ කිරීමක්. මනසේ සිට භෞතිකය දක්වා විහිදී යන ඒ කාර්යය ඉතාමත් ගැඹුරුයි. මම නොවී චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්න ඒ ගැඹුර අප සොයා යා යුතුයි. ලෝකයේ වැඩිම ඔස්කා සම්මාන දිනාගත් නළුවා ලෙස ගෞරවයට පාත්‍ර වන ඩැනියල් ඩේ ලුවිස් කියන නළුවා නිරූපණය කරපු එක් චරිතයක් තමා කකුලෙන් චිත්‍ර අඳින විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක්ගෙ චරිතයක්. ඒ චරිතය තුළ ඔහුගේ විශිෂ්ටත්වය වචනවලින් නිර්වචනය කරන්න හරි අසීරුයි. ඔහුට ලැබුණු සියලු චරිත තුළ ඔහු එවන් විශිෂ්ටයෙක්. බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන තමන් අත්හැරීමේ සිද්ධාන්තය ගැඹුරින් කියවද්දි නළුවෙක් ලෙස චරිතයකට ප්‍රවේශ වෙද්දි තමන් අත්හැරීම කුමක්ද කියන එක මට තේරුම් ගන්න පුළුවන්. 

Q කන්දක් සේ මා චිත්‍රපටය තුළ පෙම්බරාගේ මුහුණ අංශුමාත්‍රයකින්වත් කිළිටි නොවී ප්‍රේමණීය ප්‍රේමයක කැඩපතක් බවට ඔබ පරිවර්තනය කරන්නේත් ඒ අත්හැරීම් තුළ බව මම විශ්වාස කරනවා. මතකද ඒ හැඟීම?

ඒක වෙනස්ම චරිතයක්. ඒ චිත්‍රපටය තුළම මට රඟපාන්න තිබුණේ තත්ත්පර කිහිපයක් වුණත් මට ලැබුණු සහෘද ප්‍රේක්ෂක ප්‍රතිචාර හරිම ප්‍රබලයි. හුඟක් අය කිව්වෙ චිත්‍රපටය බලලා අරගෙන ආව පෙම්බරාගේ මතකය නැවත නැවතත් හදවතට දැනෙන්න පටන් ගත්තා කියලයි. ඒ මොහොතේ මගේ මනස හා බැඳුණු හැඟීම් තමයි ඒ විදිහට ගලාගෙන ගියේ. ගඟකින් ගත්ත වතුර දෝතක් නැවත ආයේ කවදාවත් ගන්න බෑ. චරිතයක් තුළට සමවැදීමත් වරෙක ඒ වගේ. ඒ මොහොත ඒ මොහොත විතරමයි. අන්වීක්ෂයකින් තරම් සියුම් නිරීක්ෂණයකින් නිරීක්ෂණය කළත් රංගනය තුළ ඔබට මාව හොයාගන්න බැරි නම් එතැන තමයි නළුවා නළුවෙක් වෙන තැන. ඒ නළුකම තුළ විඳින ආත්ම තෘප්තිය ජීවිතේ හැමදාමත් රැඳෙන තෘප්තියක්. මම ආසයි හුඟක් වෙනස් අමුතු අපූරු චරිත අස්සෙ ඒ විදිහට රිංගන්න. එවැනි විරල චරිත සිංහල සිනමාව තුළට එනවා නම් මම හිතන්නෙ අපි හුඟක් වාසනාවන්තයි.  

Q 2024 - 35 වැනි සරසවි සම්මාන උළෙලේදී ඔබ 2020 ජනප්‍රියම නළුවා සම්මානයට නිර්දේශ වෙනවා සාම කුමරුගේ කතාව, ශෙලීනා සහ ෆේස් ටු ෆේස් චිත්‍රපට හරහා. සම්මානනීය වීම හදවතට දනවන්නෙ කොහොම හැඟීමක්ද?

2017 වර්ෂයේ හොඳම නැගී එන නළුවා ලෙස ආලෝකෝ උදපාදි චිත්‍රපටය වෙනුවෙන් සරසවි සම්මානය හිමිකරගත් මොහොතේ මට දැනුණු හැඟීම හරිම සුවදායී තෘප්තිමත් හැඟීමක්. සිනමා ජීවිතේ පළමු සම්මානය ලෙස සරසවි සම්මානය හිමිකරගත් ගෞරවය මේ මොහොතේත් හිතට දැනෙනවා. ඒ ගෞරවය වෙනුවෙන් ආදරය මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට බාර දෙනවා. ජයග්‍රහණයක සතුට කියන්නෙ තවත් බොහෝ ජයග්‍රහණ උදෙසා කදිම අභිප්‍රේරණයක්. අපි බලා ඉමු.

I සංජීවිකා