ගණන් නම් නැහැ. සමහරු හිතන්නේ මම ආඩම්බරයි කියලයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021 හිරු අවුරුදු කුමරිය වූයේ ඇයයි. ඇය සුරූපී සිතුමිණි ප්‍රනාන්දුය. ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ හිරු අවුරුදු කුමරිය වීමටත් පෙර සිටය. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිසා වඩාත් හුරු පුරුදු රුවක් වූ සිතුමිණි දෙරණෙ විකාශය වන ධරණි නාට්‍යයේ රිතූ ලෙස රංගනයක් ඉදිරිපත් කළාය. මේ දිනවල හිරු සමග එක්ව ඔවුන්ගේ නිෂ්පාදනයකට රංගනයෙන් දායකව සිටින සිතුමිණි සමග කළ පිළිසඳරකි මේ.

• වයස කියමු?

“20යි.”

• ගම?

“අම්බලන්තොට.”

• කියමුකො පවුලේ විස්තර?

“තාත්තයි අම්මයි මමයි මල්ලිලා දෙන්නයි නංගියි. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. සහෝදර සහෝදරියන් ඔක්කොම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. මාත් උසස් අධ්‍යාපනය හදාරන ගමන් ඉන්නේ. උසස් පෙළ කළේ කලා අංශයෙන්. දැනට පෞද්ගලික සරසවියක ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධියක් හදාරනවා.”

• පාසල ගැනත් කියමු?

“අම්බලන්තොට මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරුවේ.”

• කලාවට සම්බන්ධ වුණේ?

“මුලින්ම සුනිල් ආරියරත්න සර්ගේ චිත්‍රපට දෙකක ඉතා සුළු චරිත එක්ක. යශෝදරා සහ විජයබා කොල්ලය ඒ චිත්‍රපට තමයි මගේ ආරම්භය.”

• කලාවට එන්න විශේෂ හේතුව වුණේ?

“සුනිල් සර්ගේ ෆිල්ම් දෙකට එන්න ලැබුණේ අපේ පාසලේ ටීචර් කෙනෙක් නිසයි. ඒ චරිත සුළු වුණත් ඉන් පසුව කුමාරිකා ඇඩ් එකට දායක වෙන්න ලැබුණා. ඒකෙන් තමයි මාව වැඩි දෙනෙක් දැනගත්තේ. එතැන් සිට දිගටම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. එයින් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ ලංකා සෝයි (CBC), සොෆ්ට්ලොජික්, ඩී.එෆ්.සී.සී. බෑන්ක් ඒ වගේ බොහොමයක් තියෙනවා.”

• ඒ කියන්නේ කෙටි කලකදී වැඩ ගොඩක්?

“ඔව්. වෙළෙඳ දැන්වීම් කරන අතරේයි දෙරණ ධරණි නාට්‍යයේ රිතූ චරිතයට ආරාධනා ලැබුණේ. ඒක තමයි පුංචි තිරයේ මගේ ප්‍රථම රංගනය.”

• කොහොම ද රිතූට ලැබුණු ප්‍රතිචාර?

“රිතූ කියන්නේ හරි දඟකාර චරිතයක්. ඒක ඇත්තටම අභියෝගයක් නොවුණත් සැබෑ ජීවිතයේත් මම ටිකක් ඒ වගේ නිසයි. ඉන් පසුව 2021 හිරු ටීවී අවුරුදු කුමරිය තරගයට සහභාගි වෙලා ප්‍රථම ස්ථානය ලැබුවා.”

• ඊට පෙර අවුරුදු කුමරිය තරගවලට ගිහින් නැද්ද?

“වෙනත් නාලිකාවක තරගයකට සහභාගි වුණා. එහිදී එක් උප අංශයකින් විතරයි ජය ලැබුවේ.”

• හිරු අවුරුදු කුමරිය වීම නිසා මොන වගේ අවස්ථා ද ලැබුණේ?

“එයින් ජයග්‍රහණය කළාම ලැබුණු ප්‍රතිචාර ඉහළයි. හිරු නිෂ්පාදනය කරන අලුත්ම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය ලැබුණා. මේ දිනවල එහි රූගත කිරීම් කරනවා.”

• මොන වගේ චරිතයක් ද?

“චරිතයේ නම මේඝනා. කමල් දේශප්‍රිය මහතා, අවන්ති අපොන්සු මහත්මිය එහි මගේ මව පියා ලෙස රඟපානවා. අයියට ඉන්නේ පුබුදු චතුරංග. අධ්‍යක්ෂණය නිවන්ත සුසාර අයියා. මේඝනාගෙ පවුල නීතියට ලැදි චරිතයක්. නීතිගරුක පවුලක්. ඒ පවුලේ සම්ප්‍රදාය ඉක්මවා යන්න හදන චරිතයක් තමයි මේඝනා. හරිම දඟකාර තරුණියක්. ඒකෙත් අභියෝගයෙක් නොවුණේ සැබෑවටත් මම ඒ වගේ නිසයි.”

• ඇයි ඔච්චර දඟ?

“පාසල් කාලයේ ඉඳලාම එහෙමයි. ඒත් මම සීමාවක හිටියා. මටම සීමාවක් දාගෙන හිටියේ ශිෂ්‍ය නායිකාවක වූ නිසයි. ඕනෑම දෙයක් ගැන සැහැල්ලුවට හිතන්නේ. ජීවිතේ තීරණ ගන්නකොට පරිස්සමින් තීරණ ගන්න කෙනෙක්. ශිෂ්‍ය නායිකාවක වීමට පෙර මම තවත් යාළුවොත් එක්ක පාසලට යද්දි 7.30 පසු වෙලා. ගේට්ටු වහලා තිබුණේ. ආපසු ගෙදර යන්නත් බැහැ. ගියොත් ගුටි. ඒ නිසා ගඩොල් දෙක තුනක් තියලා මායි යාළුවයි ගේට්ටුවෙන් ඇතුළට පැන්නා. ඕක බලාගෙන හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමා අපි දෙන්නාව පැයක් අව්වේ දණ ගස්සවලා තිබ්බා. පහේ පන්තියේ හිටියදී වොෂ්රූම් එකට ගිය වෙලාවක එක ළමයකු තල්ලු කළා. එයාගේ ඔළුව පැලිලා ලොකු ජරමරයක් වුණා. ඉස්සර මට ගොඩක් තරහා යනවා. මේ ක්ෂේත්‍රයට ආවාම තමයි මම ඉවසීම ප්‍රගුණ කළේ. බ්‍රයිඩල් ෆොටෝ ෂූට්වලදී, වෙළෙඳ දැන්වීම්වලදී මට ඒ විනය ඇති වුණා. පසුව රංගනයට ආවාම ඉවසීම වඩාත් ප්‍රගුණ කළා.”

• සිතුමිණි කියන්නේ මැණික්වලට. මැණික් වගේ ගණන් ද?

“ගණන් නම් නැහැ. සමහරු හිතන්නේ මම ආඩම්බරයි කියලයි. ඒත් පසුව ඒ හැමෝම කියන්නේ මම නිහතමානියි කියලයි. ආඩම්බර වන තැන්වලදී ආඩම්බර වෙනවා.”

• ගෙදරදී සිතුමිණි මොන වගේ චරිතයක් ද?

“ටිකක් නපුරුයි. මල්ලිලා නංගිලා දඟ නිසා මමනේ ලොකු අක්කා. ඒ නිසා සැරට ඉන්නේ.”

• ගෙදර වැඩත් කරනවා ද?

“ඔව්. ගෙදර වැඩ හොඳට කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහට එක කෑම වේලක් හරි හදාගන්න පුළුවන්. චිකන් කරිය රසටම හදනවා.”

• යොවුන් ප්‍රේමය ගැන හිතන්නේ කොහොම ද?

“ඒක හරි සුන්දර දෙයක්. ගැහැනු ළමයකුට යොවුන් ප්‍රේමයක් තියෙන්න ඕනෑ. ගැහැනු ළමයකු යොවුන් ප්‍රේමය විඳින්න ඕනෑ. අපේ ගෙදරට කුරුල්ලෝ ගොඩාක් එනවා. මොකද එයාලට අපි කෑම දෙන නිසා. ඒ කුරුල්ලන්ගේ ආදාරයත් හරි සුන්දරයි. කෑම දුන්නත් නැතත් එයාලා අපට ආදරෙයි. මගේ ජීවිතයට තවම ප්‍රේම කුරුල්ලෙක් නැහැ. අනාගතයේදී එනකල් බලා ඉන්නවා.”

• ප්‍රේමය මොන වගේ විය යුතු ද?

“මට දැනෙන විදිහට කිව්වොත් සමහරු ආදරය කරන්නේ එහි තේරුම දැනගෙන නොවෙයි. ආදරය ප්‍රේමය ගැන මාත් තවම හොයනවා. කෙනෙකුට අවංක වෙලා කළ හැකි කැපවීම ආදරය වෙන්න පුළුවන්. අම්මා තාත්තාට කරන ආදරය වෙනස්, සතුන්ට කරන ආදරය වෙනස්. මොන විදිහට කළත් එහිදී අවංක වීම තමයි වැදගත්.”

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

හැඩගැන්වීම – ලංකා ප්‍රනාන්දු

විලාසිතා – චමෝද් ජයවීර